කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කරයි.

 

මෙම ඝාතන සිදුකර ඇත්තේ ෆේබ්‍රියන් ද සොයිසා නම් 19 හැවිරිදි  ශ්‍රී ලාංකිකයකු විසින් බවත් ඔහු අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැනඩාවට පැමිණි ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

සැකකරු තියුණු ආයුධයකින් ඇන ඝාතන සිදු කර ඇති බවද ඔටාවා පොලිසිය ප්‍රකාශ කරයි. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව, දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකි.

මෙම සිද්ධියෙන් දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ධනුෂ්ක වික්‍රමසිංහ නම් අයෙකි. ඔහු මේවනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය යහපත් බවත් ඔටාවා පොලිසිය කියා සිටියි.

ඝාතනය ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7 ට අඩු බවත් මෙය ඉතාමත් ඛේදජනක සිදුවීමක් බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරයි. 

මෙම සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ,

මව - දර්ශනී බණ්ඩාරනායක -  වයස අවුරුදු 35යි 
ඉනූක වික්‍රමසිංහ  - වයස අවුරුදු 07යි
අශ්විනී වික්‍රමසිංහ - වයස අවුරුදු 04යි
රින්යානා වික්‍රමසිංහ - වයස අවුරුදු 02යි
කෙලී වික්‍රමසිංහ  - මාස 02යි 

ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙකි.


සැකකරුට විරුද්ධව මිනීමැරුම් චෝදනා 6 ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කරයි. 

ප්‍රථම වතාවට ඊයේ (07) සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නැවත එළඹෙන 14 වැනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දශක තුනක පමණ කාලයකදී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

 

.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්