ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ සබා ගැබෙහි විරාජමාන වන විසිතුරු ධජ පන්තිය ද සබය ආලෝකවත් කරන මනහර නෙරළු තුරු හිස් සිහිගන්වන ලඹ දෙන යෝධ පහනද – ප්‍රධාන පිවිසුම් දොරටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කළ රිදී ඇගෑ ද්වාර ඵලකද්වය නිර්මාණය කළ අසහාය කලාකරුවා කළුතර විමල් වික්‍රමසුරේන්ද්‍රයන් ය.

මෙරට පළාත් සභා කීපයකම සෙංකෝල ඔහුගේ නිර්මාණයන්‍ ය. ඒ නිසාම ඔහුගේ නිවස "සෙන්කෝල ගෙදර " ලෙස හැඳින්වීමට කළුතර ජනතාව පුරුදුවී සිටියහ.

ඔහු විසින් නිර්මාණය කරන ලද උස අඩි හයහමාරකින්ද පළල අඩි හයහමාරකින්ද යුත් ටොන් දෙකක් බර සාම්ප්‍රදායික තේජවන්ත සිංහ ප්‍රතිමාවක් ජනාධිපති කාර්යාල අභ්‍යන්තරයේ දෙස් විදෙස් රාජ්‍ය අමුත්තන්ගේ මන නුවන් ඇදගනිමින් තිබේ.

1936 දෙසැම්බර් 16 වැනිදා ජන්ම ලාභය ලැබූ වික්‍රම සුරේන්ද්‍රයන් අයත් වන්නේ අපේ ඓතිහාසික අවුකන පිළිමය නෙළු අනුරාධපුර මහමෙව්නාවේ සමාධි පිළිමය නෙළු දඹුලු ලෙනේ ප්‍රතිමා පන්තිය නෙළු විශ්වකර්ම කලා පරපුරට බවට සැකයක් නැතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර පසුගියදා ප්‍රකාශකර තිබිණ.
image ddff409f17
පාසල් අධ්‍යාපනයෙන් පසු 1956 දී කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා සූරීන් අධිපති පදවිය උසුලන අවදියේ රජයේ ලලිත කලායතනයේ චිත්‍ර කලාව කැටයම් කලාව හා මූර්ති කලාව ප්‍රගුණ කරන සමයේ කළ ප්‍රාර්ථනය ඔහු විසින් නිර්මාණය කරන ලද සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ගේ දුෂ්කර ක්‍රියා ප්‍රතිමාව කළුතර බෝධිය විහාරයේ විද්වතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙමින් වැඩ සිටී.

එසේම වතිකානයේ වැඩ වෙසෙන ශුද්ධ වූ පාප් වහන්සේ සමස්ත ලෝක වාසීන්ට ආශිර්වාද කරනු පිණිස සුරත දරා සිටින යෂ්ටි හිස දැක්වෙන කුරුසියේ විසල් අනුරුවක් නිර්මාණය කර ප්‍රදානය කර ඇත. එම මාහැඟි අවස්ථාව ඔහුට උදාකරදී ඇත්තේ ඇන්ස්ලම් පෙරේරාය.

එසේම මාලිගාවත්ත ප්‍රදීප මාවතේ ඉදිකළ අප ස්වාමි දුවගේ දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ වන්දනාවට වඩා හිඳුවා ඇත්තේ සුරේන්ද්‍රයන් තඹ තහඩුවෙන් නිර්මාණය කළ ජේසු ස්වාමිදරුවන්ගේ ප්‍රතිමාවකි. එය මෙරට මෙන්ම විදේශිකයන්ගේද මහත් ප්‍රශංසාවට පාත්‍ර වී ඇත.

ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාකරුවකු අතින් මෙවන් ප්‍රතිමාවක් නිර්මාණය කිරීම වූ කලී හුදෙක් කලා කෘතියක් නිර්මාණය කිරීමක් පමණක් නොවේ. එම සංසිද්ධිය සාමයික සහජීවනය ද තහවුරු කිරීමක් සේ සැලකේ.

මේ නිර්මාණයට අත ගැසීමට පෙර ක්‍රිස්තුන් වහන්සේගේ චරිත ගණනාවක් පරිශීලනය කර, උන්වහන්සේගේ සුවිශේෂී චරිත ලක්‍ෂණද දේශනාවේ හරයද, ප්‍රමුඛ දේහ ලක්‍ෂණද හඳුනාගෙන, බර්ට්රම් දබරේරා පියතුමන් විසින් ඉතාලියෙන් ගෙන්වා දෙනු ලැබූ කුඩා කුරුසියේ රිද්මය අනුව අඩි 4x4 ගේජ් 18 පැතලි තඹ තහඩු ගණනාවකින් මේ ප්‍රතිමාව නිමකර තිබේ.

මෙහිදී මේ රුව හැඩගැන්වීමට මිටි පහර ලක්‍ෂ හයහමාරක් පමණ ගසන්නට සිදුවූ බව ඔහු මාධ්‍යවෙත සිහිපත් කර තිබිණ. ඒ සඳහා එදා වියදමින් රුපියල් තිස් පන් දහසක් පමණ වෑල්ඩින් පමණක් භාවිත කර තිබේ. නොකඩවා මාස තුනකට අධික කාලයක් මේ සඳහා ඔහු සෙසු ශිල්පීන් සමග ගතකර ඇත.

කලාවත්, තාක්‍ෂණයත්, විද්‍යාවත් කාර්මික ඥානයත් එක්තැන්වීමෙන් නිර්මිත මේ ක්‍රිස්තුන් වහන්සේගේ මේ ප්‍රතිමාව හා සමසුන් කෘතියක් සමස්ත ආසියාවේම නැති බවත්, යුරෝපයේ හෝ එවැන්නක් ඇත්නම් එකක් හෝ දෙකක් පමණ වෙතියි පවසති.

යුදෙව්වන් ක්‍රිස්තුන් වහන්සේට දුන් තරම් කටුක දුක් වේදනා මේ ප්‍රතිමාව නිර්මාණයේදී තමන්ද විඳි බවත් කලකට ඉහත ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර වෙත පවසා තිබිණ.

සුරේන්ද්‍රයන්ගේ විශ්වකර්ම නිපුණතා දුටු දේශීය මෙන්ම විදේශීය අනුග්‍රාහකයන් කිහිපදෙනෙකු ඔහුට එතෙර පදිංචියට පැමිණෙන ලෙස ආරාධනා කළද ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේ තමන් උපන් මවුබිම තරම් උතුම් වාසභූමියක් මේ මිහිපිට වෙනත් නැතැයි කියමිනි.

 මෙරට කලාකරුවන් සඳහා පිදෙන සෑම සම්මානයකින්ම පිදුම් ලබා ඇති විශිෂ්ඨතම කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතාගේ දේහය කළුතර දූව පංසල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද  (18) සවස 6.00 ට වස්කඩුව ආදාහනාගාරයේදී සිදු කෙරේ.

 
(උපුටා ගැනීම්)
පාර්ලිමේන්තු සබා ගැබ කැටයමින් සැරසූ කලාකරුවා -(තිලකරත්න කුරුවිට බණ්ඩාර)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්