රේගු නිලධාරීන් ආරම්භකර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ ඇතුළත් බහාලුම් තුන්දහස් පන්සියයක්

පමණ මේ වනවිට දින හතරක සිට කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තා වෙයි.

රේගු නිලධාරීන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ, රේගු ත්‍යාග අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.

රේගු ත්‍යාග අරමුදල යොදාගනිමින් රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කරයි.

එම අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට මාර්තු 15 වනදා පස්වරුවේ සිට එළැඹුණි.

මේ අතර, මෙවැනි තීරණාත්මක සමයක් තුළ ක්‍රියාත්මක කර ඇති රේගු වර්ජනය හේතුවෙන් සැලකිය යුතු ව්‍යාපාරික අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇතැයි ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ පිරිස් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම්වත් කර තිබේ.

එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ, වර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය නැව්ගත කිරීම් සඳහා ප්‍රවේශයක් නොමැතිව තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ කර්මාන්ත ශාලා මෙහෙයුම් නවතා දැමීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා වෙත ඔවුන්  යොමුකළ ලිපියේ සඳහන් වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ, ඒ අනුව ජනපතිවරයා ලබාදුන් උපදෙස් මත ගැටලුව සම්බන්ධයෙන් හෙට දිනයේ වෘත්තිය සමිති සමඟ යළි සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

(adaderana.lk)

සබැඳි පුවත් :
රේගු නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත් වෙති

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්