රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය

අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල, මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

එය අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වුණි.

ඊට අමතරව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරමින්, රේගු සේවකයින් අකුරට වැඩ කිරීමද අද ආරම්භ කළේය.


මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට බහාලුම් 4,500ක් පමණ කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තා වෙයි. මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් අලුත් අවුරුදු සමයේ ඇතැම් භාණ්ඩවල හිඟයක් නිර්මාණය විය හැකි බවට වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත රේගු සංගම් අනතුරු අඟවයි.


ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 4.45 දක්වා කාර්යාලයීය වේලාව තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන ඔවුන් පස්වරු 4.45න් පසු අතිකාල සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ද දියත් කිරීමෙන් බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියට දැඩි බලපෑමක් තිබේ.

කොළඹ වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මක වන SAGT, CICT, JCT හා ECT වශයෙන් බහාලුම් පර්යන්ත 4ක් පවතියි.

සාමාන්‍යයෙන් සතියේ දිනවල එක් දිනකදී සියලු වර්ගවල බහාලුම් 2000ක් පමණ එම පර්යන්තවලින් නිෂ්කාශනය කෙරුණත් මේ වනවිට නිෂ්කාශනය කෙරෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, නරක්වන සුළු ආහාරපාන සහ ඖෂධ අඩංගු බහාලුම් පමණි.

ඒ අනුව වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිනකට සෙසු බහාලුම් 1000ත් 1500ත් අතර ප්‍රමාණයක් අතිරික්තයක් ලෙස නිෂ්කාශනය කළ නොහැකිව වරාය තුළ සිරවන බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකා රේගුව දිනකට රුපියල් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රජයට උපයාදෙන අතර සිය වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම ආදායම් සැලකිය යුතු ලෙස පහළ බසිමින් ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමය පැවසීය.

මෙවන් පසුබිමක මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත රේගු නිලධාරීන් අතර අද පස්වරුවේ එම අමාත්‍යංශයේදී සාකච්ඡාවක්  සිදුකළ නමුත් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් විය.

(adaderana.lk)

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්