ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර

ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය.

ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් නිසි විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව තමන් තනතුරු වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනීතික සහ අත්තනෝමතික ක්‍රියා කර ඇතැයි පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව අප්‍රේල් 08 දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් පෙත්සම් යළි කැඳවන අප්‍රේල් 08 වැනිදා විරෝධතා දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කළ දිසා විනිසුරුවරයා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි ද වගඋත්තරකරුවන් වෙත යැවීමටද නියම කළේය.

දුමින්ද දිසානයාක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර විසින් ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහියංගන ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන නමැත්තන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගිය මාර්තු 30 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්වී තමන් පක්‍ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සඳහන් කරන එම පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පක්ෂයේ විධායක සභාව ගත් එම තීරණය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් තමන් තනතුරු වලින් ඉවත් කිරීමට පක්‍ෂය කටයුතු කිරීම හේතූවෙන් තමන්ගේ කීර්ති නාමයන්ට හානි කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අනීතික සහ අත්තනෝමතික ආකාරයෙන් තමන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙමම පෙත්සම ලබන 08 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කුවේරා ද සොයිසා, චන්දක ජයසුන්දර පෙනී සිටියහ.

නඩු තීන්දුවෙන් පසු ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයට වෙත ගිය දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කිරීමක් කළේය.



(උපුටා ගැනීම- lankadeepa.lk - මනෝප්‍රිය ගුණසේකර)

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්