ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක්

(රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පවසයි.

ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවැනි වාර්තාව අද (01) පාර්ලිමේන්තුවේදී  සභාගත කරමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ඒ බව කියා සිටියේය.

මේ වසරේ ජනවාරී පළමු වැනිදා වැට් බදු වැඩි කිරීම සිදු කළේ රු.බි. 600 ක් රජයට එකතු කර ගැනීමේ අරමුණෙන් බවත්, පසුගිය අවුරුදු පහ තුළ ඉහත ආයතන විසින් එකතු කර නොගත් බදු ආදායම් ප්‍රමාණය රු. බි. 656 ක් බව ද ඔහු පැවසීය.

කෝටි 100 ට වැඩි බදු පැහැර හැර ඇති ප්‍රමාණය 92ක්  බවත්, කෝටි 50-100 අතර 104 දෙනෙකු සිටින බවත්,  මිලියන 300-400 අතර 57 දෙනෙකු සිටින බවත්, මිලියන 50-100 අතර 630 දෙනෙකු සිටින බවත් මිලියන 10 - 50 අතර 3108 දෙනෙකු සිටින බව ද සභාපතිවරයා හෙළි කළේය.


යුක්ති සහගත නැහැ

රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ 4479 දෙනෙකුගෙන් අදාළ බදු ආදායම් අය කර නොගෙන රටේ සමස්ත ජනගහනයෙන් කිරිපිටි, සීනි, වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ඇතුළු සියලු දේ සඳහා වැට් බදු අය කිරීම යුක්ති සහගත නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදි.

ආනයන අපනයන ගැන ද කතා කළ පාඨලී චම්පික රණවක 2023 දී රු. 92ට ගෙන්නවන ලද බී ළූනු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු. 365 කට අලෙවි කොට ඇති බවත් ඒවා පාරිභෝගිකයා අතට පත්වනවිට කිලෝවක මිල රු. 700කට ආසන්න වන බව ද පෙන්වා දුන්නේය.

අර්තාපල් කිලෝවක් රු. 110 කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු. 840 කට බව ද පැවසූ මන්ත්‍රීවරයා ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිප දෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8000ක්  බවද ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති බව ද ප්‍රකාශ කළ අතර, එවැනි ආනයනය කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කොට සභාගත කළේය.

ජාවාරම්කාර මත්පැන් ව්‍යාපාරිකයන් ගැන ක්‍රම සහ විධි කාරක සභාවෙන් හෙළිදරව් කළ පසු 2023  සැප්තැම්බර් මාසයේදී පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම කෝටි 100 කින් වැඩි වූ බව ද ඔහු කියා සිටියේය.

දොම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හොර ස්කාගාරයක් වටලා එහි සේවය කළ සේවකයින් 18 දෙනෙකු බන්ධනාගාර ගත කොට තිබුණද ඒ ආයතනයේ හිමිකරුවන්ට එරෙහිව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද සඳහන් කළේය.


ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් සැකසීමට යෝජනා

බංග්ලාදේශය වැනි රටවල් පවා මේවනවිට ඩිජිටල් බැංකු දහයක් පමණ පවත්වාගෙන යන බවත් සියලු ගනුදෙණු බැංකුකරණය වීම තුළින් බදු ආදායම් එකතු කරගත හැකි ආකාරය පැහැදිලිව ලබාගත හැකි බවත් ශ්‍රී ලංකාව තුළද ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් සැකසීමට යෝජනා කරන බව ද එමගින් දැනට බදු පැහැර හැරීම් කරන ලක්ෂ දහයකගෙන් බදු අයකර ගැනීමට රජයට හැකි වන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

අස්වැසුම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී මහත්ම මහත්මීන්ගේ ශක්තිය භාවිත කිරීම  සුදුසු බව පැවසු චම්පික රණවක මන්ත්‍රීවරයා එමගින් අස්වැසුම වැඩසටහනෙන් ලබාදෙන මුදල් වැඩදායක දෙයකට වැය කරනවාද නොඑසේනම් අයහපත් දෙයකට යෙදවීම වළක්වා ගැනීමට හැකිවන බව ද සඳහන් කළේය.

ඉන්දියාවේ නිවසේ ගෘහ මූලිකත්වය දරන මව වෙනුවෙන් ආධාර කාඩ් පතක් ලබා දෙන බවත්, එමගින් බැංකුව හරහා වියදම් සිදු කිරීම නිසා ඒවා වියපැහැදම් කළේ කුමකටද යන්න සොයා බැලිය හැකි බව ද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

(චතුරංග මේදිස්)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්