සාහිත්‍ය කෘතියක අන්තර්ගතය විචාරීමට හා එවැන්නක සමාජ බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා පොලීසියට ඇති විශේෂඥ කුසලතාව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රශ්න කර තිබේ.
දෙමළ සාහිත්‍යෙව්දියෙකු වන දීපචෙල්වන් ප්‍රදීපන්ගේ නවතම කෘතිය සම්බන්ධ පොලිස් ප්‍රශ්න කිරිම් හෙළා දකිමින් එම ව්‍යාපාරයේ හනා ඊබ්‍රහීම් සහ ලසන්ත ද සිල්වා ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් එසේ පොලිස් කුසලතාව ප්‍රශ්න කරයි.
සාහිත්‍යවේදියාගේ කෘතිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකතනය ඔස්සේ විමසීම් සිදුකර තිබු අතර ඔහු කිලිනොච්චි පොලීසියට කැඳවා ද ප්‍රශ්න කර ඇත.
දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචිත “භයගරවාදී” “ත්‍රස්තවාදියා” නවකතාවෙහි අන්තර්ගතය පිළිබඳව පොලිසිය මෙසේ ප්‍රශ්න කර ඇති බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනය කරන්නේ.
ශ්‍රී ලාංකීය දෙමළ සාහිත්‍යයේ පුනර්ජීවනයට තුඩු දී ඇති දීපචෙල්වන්ගේ නිර්මාණ පරිවර්තනය වී ඇති බැවින් සිංහල බසින් කියවන සාහිත්‍යකාමීන්ටද ඔහු ආගන්තුකයෙකු නොවන අතර ඔහුගේ නවතම කෘතියේ සඳහන් කරුණු සැක සහිත බවත් කොටි සංවිධානය නැවත ගොඩනැගීමට එමගින් උත්සාහ ගන්නා බවටත් චෝදනා කර ඇත.
“ශ්‍රී ලංකාවේ පැවති හා පවත්නා දේශපාලන සන්දර්භය පිළිබඳවද අවධානය යොමු කෙරෙන දීපචෙල්වන්ගේ කෘතියට පාදක වන්නේ යාපනය විශ්ව විද්‍යාලයෙහි සිදු වූ ඝාතන හා යුද්ධයට ඍජුව මුහුණ දුන් තරුණයෙකුගේ මනඃකල්පිත චරිතයකි. සාහිත්‍යමය උපකල්පනයක් වන එය හරහා පිළිබිඹු වන්නේ පීඩක දේශපාලන බල සමාජයේ හිංසක රූපයයි. ඒ සම්බන්ධයෙන් කතා කිරීමට නිර්මාණකරුවාට නිදහස තිබිය යුතු අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරන්නේ සැබෑ සංහිඳියාව හා වාර්ගික ඒකාබද්ධතාවට එවැනි නිර්මාණ මගින් සිදුවන භාව විවේචනය වැදගත් වන බවයි.”
දෙමළ සාහිත්‍යෙව්දි දීපචෙල්වන් ප්‍රදීපන්ව ප්‍රශ්න කිරිම අනවශ්‍ය පොලිස් මැදිහත් වීමක් ලෙස සළකා හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සාහිත්‍යවේදියාගේ නිර්මාණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව වැඩිදුරටත් නිවේදනය කරයි.
සබැඳි පුවත් :
දෙමළ මාධ්‍යවේදියකුට එරෙහි මෑත ප්‍රහාරය ‘නිදහස් මාධ්‍යයට මළබෙර වැයීමක්
‘ත්‍රස්තවාදියා’ නවකතාවේ ‘මාරන්’ කවුද? CTID ට ප්‍රශ්නයක්
උතුරේ මාධ්‍යවේදියකුගේ නිවසකට ගිනි ප්‍රහාරයක්






