අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 14 වැනිදා මෙරට ප්‍රමුඛ පෙළේ නීතිඥවරයෙකු වූ හිජාස් හිස්බුල්ලා

අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහුගේ ලැප්ටොප් පරිගණකය ද අත්අඩංගුවට ගෙන ඇති බවත් මේවනවිට එහි දත්ත වෙනස් කිරීමේ සුදානමක් පවතින බවත් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සුදානම් වන බවක් ද වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නීතිඥයා අත්අඩංගුවට ගනු ලැබුවේ “පාස්කු ප්‍රහාරයට සම්බන්ධතාවයක්” තිබේ යයි චෝදනා කරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරමින්, ජයනි අබේසේකර විසින් 'සමබිම' ඉරිදා සංග්‍රහය සඳහා ලියන ලද ලිපියක මෙසේ සඳහන් වේ.

 

කවුද මේ හිජාස් හිස්බුල්ලා ?

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ හිජාස්, ඉන් අනතුරුව නීති විද්‍යාලයට ඇතුළත් විය. පසුව ලන්ඩන් නුවර යුනිවර්සිටි කොලීජියේ ආචාර්ය උපාධිය හැදෑරීම පිණිස ඔහුට ශිෂ්‍යත්වයක් ලැබිණ.

“සමාජ සාධාරණත්වය පිළිබඳ ශක්තිමත් අධ්‍යාත්මිකත්වයකින් මෙහෙයවනු ලැබූ ඔහු දුෂ්කර – ඇතැම් විට ජනප්‍රිය නොවූ නඩු කටයුතු බාර ගත්තේ”යැයි ඩේලී එෆ්ටී පුවත්පතට ලිපියක් යොමු කරමින් අමල් ඩී. චිකේරා පවසයි.

හිජාස් යනු “තර්කයෙන් නඩුවක් ජය ගැනීම වෙනුවට යුක්තිය දෙස බැලු‍ නීතිඥයෙකු” බව ඩේලී මිරර් පුවත්පතට ලිපියක් ලියන ගෙහාන් ගුණතිලක පවසයි.

ඔහු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, මානව හිමිකම් තර්ජනයට ලක්වූ බොහෝ අවස්ථා සහ සිදුවීම්වලට එරෙහිව මහමඟ සිටගත් සටන් සඟයෙකු ද සමාජ මාධ්‍ය අවකාශයේ ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටි ක්‍රියාධරයෙකු බව ද මේ බොහෝ දෙනාගේ අදහසයි.

 

ඔහු මොනවද කළේ?

2019 10 26 Hijaz

ඔහු මෑත කාලයේ සමාජ අවධානය දිනාගත් අන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකට අයත් නඩු වෙනුවෙන් පෙනී සිටියේය.

2018 ඔක්තෝබරයේදී දේශපාලන කුමන්ත්‍රණයක් දියත්කළ අවස්ථාවේ හෙවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනීතික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ, පෙත්සම්කරුවෙකු වූ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු ඉතා තර්කානුකූලව කළ කරුණු දැක්වීම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනාගේ දැඩි ප්‍රසාදයට ලක්විය.

අලු‍ත්ගම ජාතිවාදී කෝලාහල පැන නැගුන අවස්ථාවේ පීඩාවට පත් මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු, වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහි අන්දෝලනාත්මක නඩුවේ එම වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද විය.

 

අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම:

Hijaz Hisbullah arrest

අප්‍රේල් මස 14 වන දා සවස් භාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබීය. නීතිඥවරයාගේ පියා විසින් ඉදිරිපත් කරන ලද හේබියස් කෝපුස් පෙත්සමට අනුව, මුදල් ලබාගැනීම පිණිස ATM යන්ත්‍රයක් වෙත යෑම නිසා කෝවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ සම්භාවිතාවක් තිබිය හැකි බවත් ඒ පිළිබඳ ඔහු සමග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පැමිණීමට නියමිත බව ඔහුට පැමිණි දුරකතන ඇමතුමක් මඟින් දන්වා තිබේ.

කෙසේ නමුත් අවසානයේ පැමිණියේ සෞඛ්‍ය බලධාරීන් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය. ඔවුන් ඔහුගේ නිවසට පැමිණි වහාම දෙඅතට මාංචු දමා ඇත.

නිලධාරීන් නීතිඥ හිජාස්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු ඒ වනවිට කටයුතු කරමින් සිටි නඩු කිහිපයක් හා සම්බන්ධ ලිපි ගොනු කිහිපයක්ද සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.

ඉන් අනතුරුව හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය අතර එහිදි තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්නකිරීම් සිදුවිය. එතැන් සිට මේ දක්වාම ඔහු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයේ රඳවා තබාගනු ලැබ සිටියි.

 අප්‍රේල් මස 16 වන දා සිට පුද්ගලිකව කිසිදු ආකාරයකින් සිය නීතීඥයන් හමුවීමට ඔහුට අවස්ථාව ලබාදී නැත. අප්‍රේල් 15 සහ අප්‍රේල් 16 යන දෙදින සිය නීතීඥයා හා සාකච්ඡාකිරීමට ලැබුණු අවස්ථා දෙකෙහිදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ එකී සාකච්ඡාවන් සිංහල බසින් සිදුකිරීමටද බලකිරී තිබේ.

 

නීතිඥ සංගමයේ මැදිහත් වීම:Kalinga Indatissa

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අප්‍රේල් 15 දින පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටියේ,“අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. දැනට ලැබී ඇති තොරතුරු අනුව සඳහන් වන්නේ අත්අඩංගුවට ගැනීම පදනම වී ඇත්තේ ඔහු නීතිඥයෙකු ලෙස ඔහුගේ වෘත්තීය වපසරිය තුළ ඉටු කළ ඇතැම් කාර්යයන් බවයි.”

අදාළ ලිපියෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ බලධාරීන් විසින් නිත්‍යානුකූලව සිදු කරනු ලබන කිසිදු පරීක්ෂණයකට බාධා කිරීමට නීතිඥ සංගමයට කිසිදු අදහසක් නොමැති වුවත් නීතිඥයෙකු වශයෙන් ඔහුට හිමි වෘත්තීය අයිතිවාසිකම් සඳහා නිසි සැලකිල්ල දක්වන ලෙස හා අත්අඩංගුවට ගැනීමට මූලික වූ හේතුන් නීතිඥ සංගමය වෙත දැන්වීමට කටයුතු කරන ලෙසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රතිචාරය :

Jaliya senaratneනීතිඥවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැහැදිලි හේතුවක් ඉදිරිපත් නොකළා වුවද මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අප්‍රේල් 19 වැනිදාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ, නීතිඥවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 2019 අප්‍රේල් 21 වැනිදාවේ සිදුවු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකු හා සම්බන්ධතා පවත්වා ඇති බවට හෙළිදරව් වීමෙන් බවයි.

නීතිඥවරයා තම වෘත්තිය සඳහා සේවාදායකයකු සමග පැවැත් වු දුරකතන සම්බන්ධතාවක් පදනම් කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට එල්ල වන චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි ප්‍රමාණවත් තොරතුරු හා සාක්ෂි පදනම් කරගෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

හේබියාස් කෝපූස් අඥාවක් ඉල්ලීම:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සහ අනීතිකව අත්අඩංගුවට ගත් ඔහු නිදහස් කරන ලෙස හේබියස් කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අප්‍රේල් 17 වැනිදාවේ නීතීඥ සනත් විජේවර්ධන සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ වෙන වෙනම රිට් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

 

සංවිධානාත්මක ප්‍රචාර:

මේ වන විට මෙම පෙත්සම විභාග කරන විනිසුරුවරියන්ට, අභියාචනාධිකරණයේ සභාපතිවරයාට මෙන්ම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන්ට ද එරෙහිව ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ චෝදනා එල්ල කෙරෙමින් තිබේ.

පෙත්සම අධිකරණයේ විමසා බැලීමට නියමිත වූ අප්‍රේල් 30 වැනිදාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමයන් වලට පටහැනිව යමින් නීතිපති දෙපාර්තමේන්තුවට නොදන්වාම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් විසින් රඳවා ගෙන සිටින නීතිඥවරයා නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කිරිමට සුදානම් වන බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණි.

කොරෝනා හේතුවෙන් කොළඹ උසාවි සියල්ලම පාහේ වසා දමා තිබියදී හදිසියේ අභියාචනාධිකරණය කැඳවිම පසුපස “බළල් අතක්” ක්‍රියාත්මක වන බව එක්තරා වෙබ් අඩවියක සඳහන් විය.

 

සභාපති විනිසුරු නවාස් පෙත්සම විභාගයට සහභාගි නොවිය :

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන 'අනිද්දා' ඊ පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, “එම පෙත්සම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අප්‍රේල් 21 දිනය ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියද අධිකරණ වසා තිබුණු හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණ බවත් ඉන්පසු 27 වැනිදා ඉල්ලා සිටියත් එදිනද ලබා නොදුන්” බවයි.

මේ අතර හදිසි කාරණා සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට විධිවිධාන යොදා ඇති බවට චක්‍රලේඛයක් නිකුත් වූ අතර, ඒ අනුව යළිත් කරන ලද ඉල්ලීම සලකා බලා, පෙත්සම විභාග කිරීමට අප්‍රේල් 30 වැනිදා නියම කෙරිණි. සභාපති විනිසුරු නවාස් එම පෙත්සම විභාගයට සහභාගි නොවුණ අතර, කුමුදුනි වික්‍රමසිංහ හා දේවිකා අබේරත්න යන විනිසුරුවරියෝ පෙත්සම විමසීම සිදුකළහ.

එහි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, “එදින පෙත්සම්වල වගඋත්තරකරුවකු වූ නීතිපතිවරයා පෙනීනොසිටි බවයි. අවස්ථා කිහිපයකදීම, ආකාර කිහිපයකින්ම නීතිපතිවරයාට ඒ වන විට දැන්වීම් කර තිබුණු බව, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට කියා සිටියෝය.

ඔවුන් කියා සිටියේ අතින් ගෙනගොස් බාරදීමෙන් මෙන්ම ඊමේල් මාර්ගයෙන්ද නීතිපතිවරයාට දැනුම් දුන් බවයි. නැවතත් නීතිපතිවරයාට දන්වා, පෙත්සම මැයි 5 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළ” බවයි.

එහෙත්, මැයි 5 වැනිදාද පෙත්සම් විභාගයට ගන්නේ නැතැයි පෙත්සම්කරුවන්ට දන්වා තිබුණි. මේ වනවිට විභාගය මැයි 16 දින දක්වා කල් දමනු ලැබ තිබේ.

මේ සංවිධානාත්මක වෙබ් අඩවි ප්‍රචාර මගින් තේරුම් ගත හැකි වන්නේ මේ අත්අඩංගුවට ගැනීමේ පොලිසියේ ක්‍රියාමාර්ග වලට පරිබාහිරව තවත් මාධ්‍ය මෙහෙයුමක්ද කොහේ සිට හෝ ක්‍රියාත්මක කරවන බවයි.

 

නීතිඥ සංගමයට ඉල්ලීම්:

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද ඇතුළු නීතිවේදීන් 158 දෙනෙකු පසුගිය අප්‍රේල් 24 වන දින නීතිඥ සංගමය වෙත ලිපියක් යොමුකරමින් නීති විරෝධී ලෙසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් ඉල්ලීමක් කර තිබුණි.

විශේෂයෙන්ම ඔහුට සිය නීතිවේදීන් හෝ පවුලේ සාමාජිකයන් හමුවීමට අවස්ථාව නොදීම ගැනද බරපතළ අවධානය පලකරන එම නීතිවේදීහු, ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කවර හේතුව නිසාද යන්න හෝ කුමන නීති විධිවිධාන යටතේ ද යන්න ඔහුට නිල වශයෙන් දැනුම් දී නැති බවත් පෙන්වා දෙයි.

“කිසිවෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ආකාරයට ඔහු මෙතෙක් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පමුණුවා නොමැති බව”ත් එම ලිපියේ දැක්වේ.

“සිය සේවාදායකයන්ගේ අතිවාසිකම් ආරක්ෂා කිරීමට සෑම නීතිවේදියෙකුම බැඳී සිටින නමුත් හිජාස් අත්අඩංගුවට ගැනීමේදී ඒ සියල්ල අනතුරේ හෙලා තිබියදීත් නීතිඥ සංගමය ප්‍රමාණවත් පියවර නොගැනීම කෙරෙහි දැඩි අවධානය යොමු වී තිබෙන” බව එම ලිපියේ සඳහන් වේ.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ “නීතිවේදියෙකුට නිදහසේ සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ ලැබෙන බවට විශ්වාසය තහවුරු කරන ලෙස”යි.

 

ඔහුගේ අයිතිවාසිකම්වලට ගරු කරන්න ! - සිවිල් ක්‍රියාකාරීකයන්ගේ ඉල්ලීමක්.

HR

අප්‍රේල් 24 වැනිදාවේ තවත් සිවිල් ක්‍රියාකාරීකයන් පිරිසක්ද ප්‍රකාශයක් නිකුත් කරමින්, “නීතිඥ හිජාස් හිස්බුල්ලාට නීතිඥයන් වෙත ප්‍රවේශ විමේ ඉඩකඩ ලබා දෙන ලෙසත් ඔහුගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් වහා ඔහු මහේස්ත්‍රාත්වරයෙකු වෙත පමුණුවන ලෙස”ත් ඉල්ලා සිටිනු ලැබීය.

මෙයට එරෙහිව නීතිඥ සංගමයේ මැදිහත් වීම වෙනත් අකාරයකට ප්‍රශ්න කෙරෙමින් මැයි 01 වැනිදාවේ නීතිඥ සංගමය වෙත ලිපියක් යොමු කිරීමට තවත් නීතිඥවරු පිරිසක් කටයුතු කර තිබේ.

“අදාළ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ නීතිඥවරයෙකු ලෙස කළ කටයුතු සම්බන්ධයෙන් නොවන බවත් සමස්ත නීති ප්‍රජාවේ මෙන්ම තනි සාමාජිකයින්ගේ ද අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට හා ඉදිරියට ගෙනයාමට නීතිඥ සංගමය කටයුතු කිරීම අගය කළ යුතු නමුත් මෙවැනි මැදිහත්වීම් කළ යුත්තේ නීතිය මගින් පනවා ඇති සීමාවලට අනුකූලව පමණක් බව”ත් එහි සඳහන් වේ.

“පුද්ගලයින්ගේ තරාතිරම නොසලකා සෑම විටම ජාතික ආරක්ෂාව පළමු තැනට පැමිණිය යුතු බව පවසන ඔවුන් මෙය නීතිඥයෙකුගේ සරල ප්‍රශ්නයක් නොවන අතර ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ කාරණයක් වීම”, ඇතුලු‍ කරුණු 22ක් සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමු කරවයි.

 

බලපෑම්වලින් තොර සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි

නීතිඥවරු සහ සිවිල් ක්‍රියාකාරිකයන් විසින් ඉදිරිපත් කර ඇති ලිපි සම්බන්ධයෙන් වන තම ප්‍රතිචාරය මැයි 01 වැනිදාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිය සාමාජිකයින් වෙත යොමු කර තිබුණි.

“විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් නීතිඥ සංගමය විමසිල්ලෙන් පසුවන බවත් සංගමයේ සාමාජිකයින්ගේ නිත්‍යනුකූල සහ සාධාරණ අවශ්‍යතා සම්බන්ධයෙන් හඬ නැගීමට නීතිඥ සංගමය කිසිසේත් පසුබට නොවන බවත් එහි අවධාරණය කර තිබේ.

තවද නීතිඥ හිස්බුල්ලාගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව මෙන්ම කිසිදු වෙනස්කොට සැලකීමකින් තොරව නීතිමය රැකවරණය ලබා ගැනීමේ අවශ්‍යතාව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සංගමය විසින් දන්වා ඇති බව ද එහි සඳහන් වේ.

නිසි අධිකරණයක පැවැත්වෙන සාධාරණ නඩු විභාගයක් ඔස්සේ වැරදිකරු යැයි නිගමන වන තෙක්ම කවර හෝ චූදිතයෙක් වුවද නිර්දෝශී තත්ත්වයෙහිලා සැලකිය යුතු යැයි යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි සේ විශ්වාස කරන බවත් පුද්ගලයෙකුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ බාහිර බලපෑම්වලින් තොරව සාධාරණව පැවැත්වීමේ අවශ්‍යතාවද කිසිසේත් බැහැර කළ නොහැකි” බවත් එහි සඳහන් වේ.

 

ජාත්‍යන්තර ප්‍රතිචාර:

Hijaz Hisbullah IBA

නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම නීතිඥවරයාගේ පියා විසින් ගොනු කරන ලද හේබියස් කෝපූස් පෙත්සම මඟින් අනාවරණය කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන පැවැත්වීමේදී මානව හිමිකම්වලට ගරු කරන ලෙසත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි චෝදනා විමර්ශනය කිරීමේදී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමින් නිවේදන නිකුත් කරනු ලැබ ඇත.

“විනිසුරුවන්ගේ ජාත්‍යන්තර කොමිසම අප්‍රේල් 21 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, බලධාරීන් විසින් ඔහුට එරෙහිව ඇති චෝදනා පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර, නීතිඥයෙකු ලබා ගැනීම සඳහා ඔහුට පූර්ණ හා ක්ෂණික ප්‍රවේශයක් ලබා දිය යුතු” බවයි. එමෙන්ම “අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව තිබේද” යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි.

“බිහිසුණු පාස්කු ඉරිදා ප්‍රහාරයන් විමර්ශනය කිරීම සඳහා රජයට ඇති අවශ්‍යතාවය හා බැඳීම කිසිවෙකු ප්‍රශ්න නොකරයි. නමුත් මෙම පරීක්ෂණ ජාත්‍යන්තර නීතියට හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි පැවැත්විය යුතුයි. එසේම නීතියෙන් නියම කර ඇති පරිදි හිස්බුල්ලාට රිමාන්ඩ් නියෝගයක් ලබා නොදීම සහ ඔහුට නීතිමය උපදෙස් සඳහා පූර්ණ සහ රහස්‍ය ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැකි අතර එය නිදහස සඳහා ඇති අයිතිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමක්” බව විනිසුරුවන්ගේ ජාත්‍යන්තර කොමිසමෙහි ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ෆෙරික් රව්ස්කි අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ “වරෙන්තුවක් නොමැතිව නිවෙසකට ඇතුළුවීම, පරීක්ෂාවට ලක් කිරීම සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අවසර ලබාදීම මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි මෙවැනි ගැටලු‍ රැසක් ඇති හෙයින් එම පනත අහෝසි කර සුදුසු වෙනත් නීතියක් ආදේශ විය යුතු” බවයි.

“රජයේ ක්‍රියාමාර්ග වල පක්ෂග්‍රාහී ස්වරූපය, සුප්‍රසිද්ධ මුස්ලිම්වරුන් අත්අඩංගුවට ගැනීම සහ නැගී එන මුස්ලිම් විරෝධී වෛරී කථන සමඟ මුස්ලිම් ප්‍රජාවේ පුළුල් ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු” බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියාවේ අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිස්බුල්ලා අත්අඩංගුවට ගත් බවට පොලිසිය චෝදනා කරයි. එහෙත් මූලික වශයෙන් ඔහුට හිමි නිසි ක්‍රියාපරිපාටියට අනුකූල අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන” බව එම නිවේදනයේ දැක්වේ.

“හිජාස් හිස්බුල්ලා නිදහස් කිරිමට හෝ ඔහු සම්බන්ධවූවායැයි සැලකිය හැකි කිසියම් අපරාධ වරදක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මතයන්ට අනුව වහාම චෝදනා ගොනු කරන ලෙසත් හිජාස් හිස්බුල්ලා නිදහස් කර යැවීම හෝ ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීම යන මේවා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා අතරතුර සාධාරණ නඩු විභාගයකකට මුහුණ දීමට ඔහුට ඇති අයිතියද, බාධා රහිතව සිය තත්ත්වය සම්බන්ධයෙන් නීතීඥයන්ගේ උපදෙස් ලබාගැනීමට ඔහුට ඇති අයිතියද තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට ඔහුට ඇති අයිතියද ආරක්ෂාකිරීමට කටයුතු කරන” මෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ බලධාරී ආයතන විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති භාවිතකර විවිධ පුද්ගලයන් දඩයම්කිරීමට කටයුතු කළ ආකාරයත්, එහිදී “සන්නද්ධ කණ්ඩායම් සමග එවැනි පුද්ගලයන්ට තිබූ හෝ එසේ තිබුනායැයි ව්‍යාජ ලෙස පෙන්වූ සබඳතා භාවිත කර එකී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත්, එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු නඩු විභාගයක් කිසිදු අධිකරණමය විමර්ශනයකින් තොරව වසර ගණනාවක් ඔවුන් දිගින් දිගටම රඳවා තබාගෙන සිටිමට ඇතැම් අවස්ථාවක කටයුතු කර ඇතැ”යි 2017 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාමාර්ග තුළ මානව හිමිකම් සහ මූලික මිනිස් නිදහස ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම ප්‍රකාශය ඔස්සේ පෙන්වා දේ.

ඒ අනුව නීතිඥ හිජාස් හිස්බුල්ලාට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි පුද්ගලයෙකුට එදිරිව අපරාධ චෝදනාවක් විභාග කිරීමේදී වෙනස්කමකින් තොරව හිමි විය යුතු නීතිමය රැකවරණය පවා අහිමි වී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

 

ආණ්ඩුවේ සද්භාවය :

අඹගමුව ප්‍රා.සභාව කැඩීමට එරෙහි ...

කොරෝනා කාලයේ අවදානමට ලක්වුණේ රටේ සාමාන්‍ය ජන ජීවිතය පමණක් නොවේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස අනතුරුදායක කලාපයක් වෙත ගමන් කරමින් ඇති බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ. නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ සිදුවීම ඊට එක් නිදසුනකි.

මේ කාලයේ අප අත්දකිමින් සිටින බොහෝ දේ සිදුවන්නේ නීතියට පිටිනි. වසංගතය යනු නීතියට පිටින් කටයුතු කිරීමට පොලිසියට හෝ ආණ්ඩුවට ලබා දුන් බලපත්‍රයන් නොවේ.

ප්‍රකාශනයේ නිදහස සීමා කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් අත්අඩංගුවට ගැනීම, සුළු ජාතික ප්‍රජාවන්ට එරෙහිව සිදුවන වෛරී ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර නොගැනීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට එරෙහිව ආසාදිත මුස්ලිම්වරු ආදාහනය කිරීම, පාර්ලිමේන්තුව නැවත කැඳවීම මඟහැරීම පමණක් නොව පනවා ඇති ඇඳිරි නීතිය පවා නොවිසිඳුන ගැටලු‍වකි.

 කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව මහජන ක්‍රියාකාරීත්වයන් සීමා කිරීමට පියවර ගත හැකිය. නමුත් එය සිදුවිය යුත්තේ නිත්‍යනුකූලවය. ඒ ආකාරයටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය. එය ද සිදුවිය යුත්තේ රටේ නීතියට අනුවය.

එහෙත් මේ දෙකම ගැටගැසී ඇත්තේ මැතිවරණය සමග නම් ආණ්ඩුවේ සද්භාවය පිළිබඳ ගැටලු‍වක් පැනනගී.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ හදිසියේ කඩිනම් වීම සහ මැතිවරණය ආසන්නයේදී වීම කුතුහලය දනවන සුළු අතර නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධව දැන් එළිදැක්වෙන කතා, වරක් වෛද්‍ය සාෆි සම්බන්ධ ගොඩ නැගූ කතා මෙන්ම දැයි සැකයක් ඇති වීම අතිශය සාධාරණය.

මේ සැකය නැති කිරීමට නම් මහජනතාවට රට විවෘත කළා මෙන් ආණ්ඩුව, නීතිය සහ ප්‍රජානත්ත්‍රවාදය දෙසට විවෘත විය යුතුය.

(උපුටා ගැනීම් : samabima.com)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්