අම්පාර දිස්ත්‍රික්කයට අයත් නවදින්වෙලි (Navadinveli) ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් 'දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ' අපේක්ෂක

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් විසින් පළ කරන ලද 'නිර්භය පාපෝච්චාරණයක්' නොව ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහි සිය ප්‍රහාරක ශක්තිය පෙරට දමමින් දමිළ ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමේ 'පුරසාරමක්' ලෙස පෙනී යන ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අධිකරණය කරා ද, අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තෙක් ද මේ වනවිට ගමන්ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ 2020 මැතිවරණ සමයෙහි කරුණාගේ ප්‍රකාශය දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත්වෙමින් පවතිද්දී වැඩි වශයෙන් සිංහල-බෞද්ධ පාර්ශ්වයෙන් එම ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතී.

කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රී බෝසෙත් කලහේ පතිරණ විසින් කරුණාගේ ප්‍රකාශයට එරහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකරනු ලැබ ඇත.

මේ අතර කරුණා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස තවත් පුද්ගලයන් සහ සංවිධාන කරන ඉල්ලීම් ද ඒ අතර වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රතිචාරය පළ කරන ලද්දේ එවැනි පරිසරයක් තුළය. මානව හිමිකම් කොමිසමේ 'ට්විටර්' පණිවුඩයෙහි මෙසේ දැක්වෙයි.

Tweet

"දෙමළ විමුක්ති කොටි සංවිධානයේ හිටපු අණදෙන නිලධාරියා මෙන්ම හිටපු ඇමතිවරයකු වූ 'කරුණා'ගෙන් ඔහු විසින් සිදු කරන ලදැයි පැවසෙන අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බව අපේ අවධානයට ලක්ව ඇත. ඔහු විසින් සිදු කරනු ලැබ ඇති, ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයට වැටෙන මහා පරිමාණයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගනු ලැබීම් සම්බන්ධයෙන් ද විභාග කළ යුතුව පවතී.'වගවීම' සියලු ශ්‍රී ලාංකිකයන් කෙරෙහි බල පැවැත්වෙයි."

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලීම් ඉදිරිපත්වෙමින් පවතී.

 

මහින්දගේ ජාතික ලැයිස්තු ආරාධනාව:

කරුණා විසින්ම සඳහන් කරනු ලැබ ඇති පරිදි, "පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් එක්වරක් නොව දෙවතාවක්ම යෝජනා කරනු ලැබ තිබියදීත්," එම පහසු සහ ස්ථිර නියෝජන වරප්‍රසාදය බැහැර කරන මෙම පැරණි කැරලිකරුවා අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ වදිමින් මහජනයා අමතමින් සිටියි.

Karuna SLFP

එවැනි එක් මහජන හමුවක් අමතමින් අදහස් දැක්වූ කරුණා, තමා විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදා භටයන් දහස් ගණනක් මරා දමන ලද ආකාරය සිහිපත් කරන ලද්දේ එම හමුවට සහභාගි වෙමින් සිටි දමිළ ඡන්දදායකයන්ගේ 'මනාපය' ස්පර්ශ කරමින් විය හැකිය.

නවදින්වෙලි මහජන හමුවේ දී කරුණා පහත සඳහන් ප්‍රකාශය කළ බව ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබුණි.

 

''ඔව්කො, මං රෝනාවටත් වඩා භයානකයි''

"කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබ්බා. මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒක ඇත්ත. කොරෝනාවෙන් මෙරටේ මැරිලා තියෙන්නෙ 11 දෙනෙක් විතරයි. මම අලිමංකඩදි එක රැයට දෙදාහක් තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා. තේරෙනවානෙ, එයා කියපු එක හරි. කිලිනොච්චිවලත් කීදාහක්ද ?"

එම ප්‍රකාශයත් සමඟ මතු වූ සමාජ ආන්දෝලනය අතරවාරයේ නැවත ප්‍රකාශයක් කරන කරුණා තම පළමු ප්‍රකාශය බැහැර නොකරමින් එය යුක්තිසහගත කරනු ලැබ තිබෙන්නේ "තමා දැන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිස සිටින හෙයින් අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු නැති" බව කියා සිටිමිනි.

 තමා යුද හමුදාව අවතක්සේරු නොකරන බව, කරුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළ බව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුණි.

 

පළමු පියවර - නිර්දය ප්‍රහාරකයා:

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ (LTTE) සන්නද්ධ අංශයේ නායකයකුව සිටි කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන්, එම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දෙවැනියා මට්ටමින් උපකල්පනය කිරීමක් සිංහල සහ දමිළ සමාජයේ බොහෝ දෙනකු අතර පැවතුනි.

Karuna Bomb

කරුණා විසින්ම ජනමාධ්‍යයට පසුකාලයේ සඳහන් කළ ආකාරයට, ඔහු ද්විතීයික අධ්‍යාපනය ලබමින් සිටින අවධියෙහි කොටි සංවිධානයට බැඳුනේ "සිංහල ආණ්ඩුවේ මර්දනයට එරෙහිවය." ප්‍රභාකරන් විසින් LTTE සන්නද්ධ අංශයට අනුයුක්ත කරමින් විශේෂයෙන්ම නැගෙනහිර පළාත මුදාගනිමින් පාලනය කරනු ලැබීම කරුණාට භාරදුන් අතර, ඔහුගේ ප්‍රහාරක සාර්ථකත්වය වෙනුවෙන් උපහාර දක්වන ලද්දේ ඔහු වන්නියට ගෙන්වා 'කර්නල්' තනතුරක පිහිටුවමිනි.

'නවදින්වෙලි' මහජන හමුවේ දී කරුණා පසුගියදා සිහිපත් කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහි ප්‍රහාර කීපය ප්‍රභාකරන්ගේ අණ පරිදි ඔහු විසින් මෙහෙයවන ලද්දේ එම කාලය තුළය.

''අරන්තලාව භික්ෂු ඝාතනය සහ නැගෙනහිර පළාතේ තමන්ට යටත් වූ නිරායුධ පොලිස් භටයන් 600ක් පමණ මරා දමනු ලැබීම ඇතුළු තවත් ප්‍රහාර කීපයක් ඔහුගේ අණසක යටතේ සිදු කෙරුණ බවට කරුණාට එරෙහිව සිංහල සමාජයෙන් දෝෂාරෝපණ එල්ල විය.''

එපමණක් නොව අරන්තලාව භික්ෂු ඝාතනය සහ නැගෙනහිර පළාතේ තමන්ට යටත් වූ නිරායුධ පොලිස් භටයන් 600ක් පමණ මරා දමනු ලැබීම ඇතුළු තවත් ප්‍රහාර කීපයක් ඔහුගේ අණසක යටතේ සිදු කෙරුණ බවට කරුණාට එරෙහිව සිංහල සමාජයෙන් දෝෂාරෝපණ එල්ල විය.

කරුණා කොටි සංවිධානය නියෝජනය කරමින් විදේශයන්හි පැවැත්වුන සාම සාකච්ඡා කීපයකට ද සහභාගි වී ඇත.

පසුව ඔහු කොටි සංවිධානයෙන් පළාවිත් ශ්‍රී ලංකා රජයට භාර වූ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පදවියකට සහ එම රජයේ ජාතික ඒකාග්‍රතාව භාර නියෝජ්‍ය ඇමති පදවියකට ද පත්කරනු ලැබුණි.

 

දෙවන පියවර - කැරලිකරුවා දේශපාලනයට

කරුණා 'දෙමළ මහජන නිදහස් පක්ෂය' (Tamil Makkal Viduthalai Pulikal - TMVP) යනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇති අතර, නැගෙනහිර පළාතේ තවත් ප්‍රමුඛ ප්‍රහාරකයකුව සිට පසුව නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයකු ලෙස පත් වූ 'පිල්ලෙයාන්' කරුණාගේ 'දෙවැන්නා' ලෙස කටයුතු කළේය.

Karuna Politics

දෙමළ කොටි සංවිධානයේ නිරතවෙමින් සිටියදී විවිධ ''නීතිවිරෝධී'' ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පිරිසක් තවමත් බන්ධනාගාරගත කර සිටියදී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිස නියෝජ්‍ය ඇමති පදවියක් ද හිමිකර ගැනීමට සමත් වූ, LTTE යුද යාන්ත්‍රණයේ නිරතව සිටි පළමු තැනැත්තා කරුණා වෙයි.

 

යුද අපරාධ ?

ඔහු LTTE යුද යාන්ත්‍රණයේ නිරතව සිටි කාලයෙහි මෙන්ම ඉන් පසුවත්, විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ යුද්ධය සඳහා ළමුන් පැහැරගත් බවට 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානය චෝදනා කර ඇත.

"කරුණා අඩුතරමින් 2006 ජූනි මාසයේ සිට ළමුන් පැහැර ගැනීමේ නිරත වූ බව ශ්‍රී ලංකා ආණ්ඩුව දැනසිට ඇතැයි 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඒ සමඟ ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එම වසරේ මාර්තු මාසයේ පටන් "කරුණාගේ බලකායන් මගින් ළමා සොල්දාදුවන් බඳවා ගන්නා බවත් එම ළමුන් පැහැර ගැනීම් පිළිබඳව විභාගයක් ආරම්භ කොට යුද්ධය බල පැවැත්වෙන ප්‍රදේශයන්හි ළමුන්ට නීතියේ රැකවරණය සලසන" ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

දෙමළ කොටි සංවිධානය යුද්ධය සඳහා ළමුන්ගේ කැමැත්ත ඇතිව හෝ බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ජාත්‍යන්තර සංවිධානයන්හි හෙළා දැකීමට මෙන්ම ජනමාධ්‍ය මගින්ද සාකච්ඡාවට ගන්නා ලද කරුණකි.

''කොටි සංවිධානයේ කැරලිකරුවන් වයස අවුරුදු දොළහක් තරම් වන බාල වයසේ පිරිමි සහ ගැහැණු දරුවන් පවා විශාල වශයෙන් බඳවා ගනු ලැබීම නිසැක කරුණකි," BBC ය 2003 වසරේ දෙසැම්බර් මාසයේ වාර්තා කළේය.

 

බාලවයස් කරුවන් යුද්ධය සඳහා බඳවා ගනු ලැබීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් අනුව යුද අපරාධයකි.

බාලවයස් කරුවන් යුද්ධය සඳහා බඳවා ගනු ලැබීම යුද අපරාධයක් වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇත. සියරාලියෝනයේ සිවිල් යුද්ධය පිළිබඳව විභාග කළ විශේෂ අධිකරණයේ අභියාචනා මණ්ඩලය 2004 ජූනි මාසයේ දුන් තීන්දුවක් මගින් ළමා සොල්දාදුවන් බඳවා ගනු ලැබීම යුද අපරාධයක් වන බව තීන්දු කරනු ලැබ ඇත.

LTTE Child

ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය නෛතික පසුබිම එම තීන්දුවත් සමඟ තහවුරු කරනු ලැබුණි.

කරුණා පවසන පරිදි, ඔහුගේ අතීත ඝාතන සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීමට වර්තමානයේ හැකියාවක් නොමැත.

 

ගෝඨාභයගෙන් කරුණාට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්:

සිය අනන්‍යතාව සම්බන්ධයෙන් ප්‍රෝඩා කිරීමේ චෝදනා යටතේ 2007 වසරේ අවසාන භාගයෙහි බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කරුණා එරට අධිකරණයක් විසින් 2008 වසරේ ජනවාරි මාසයේ මාස නවයක සිර දඬුවමකට යටත් කෙරුණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙහි ඔහු සතුව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිකුත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබුණ නමුත් එහි ඔහුගේ නම වෙනුවට ඇතුළත් කරනු ලැබ තිබුනේ ව්‍යාජ නමකි.

එම ගමන් බලපත්‍රය පිළිබඳව විමසීම සඳහා එවකට ලන්ඩන් නගරයේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්ෂේණුකා සෙනෙවිරත්න බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට (FCO) කැඳවන ලද අතර, "එවැනි ගමන් බලපත්‍රයක් ගැන අවබෝධයක් නොමැති" බවට මහ කොමසාරිස්වරිය කළ නිල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුහු කනස්සල්ල පළකර තිබුණි.

Tweete

බ්‍රිතාන්‍ය අධිකරණයේ දී ප්‍රකාශයක් කළ කරුණා කියා සිටියේ එම රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ට ලබාදුන් බවය.

කරුණා බ්‍රිතාන්‍යයේ රැඳී සිටි එම කාලය තුළ ඔහුට එරෙහිව යුද අපරාධ විභාගයක් ආරම්භ කළ යුතුව ඇතැයි මානව හිමිකම් සංවිධාන කියා සිටියහ.

 

ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම:

කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පදවියකට සහ සිය පාලනයේ නියෝජ්‍ය ඇමති පදවියකට පත්කර ගත් අගමැති මහින්ද රාජපක්ෂ 'කරුණාගේ ප්‍රකාශයට' එරෙහිව විපක්ෂයෙන් එල්ල කරෙන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වන ලද්දේ, "හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස විසින් කොටි සංවිධානයට අවි ආයුධ සැපයීම" ගැන සඳහන් කරමින් අදාළ කාරණය වෙනත් දිශාවකට යොමුකරමිනි.

ඉන් පෙර ප්‍රකාශයක් කළ මාතර දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන, "කරුණාගේ ප්‍රහාර යුද්ධයක දී බලාපොරොත්තු විය හැකි දෙයක්," බව ප්‍රකාශ කර තිබුණේ මෙපරිද්දෙනි.

"කරුණා අම්මාන් මහතා ඒ ප්‍රකාශය කරන්නෙ මං හිතන්නෙ ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කරපු ප්‍රකාශයකට. කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකය කියලා කියලා තිබුණා. ඉතිං ඔහු ඒ සඳහා ඔහු කිව්වා-යුද්ධ කාලෙදි ඔහු ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයෙක් හැටියට හමුදාව මෙච්චර ප්‍රමාණයක් ඝාතනය කළා කියලා.

"ඒක රහසක් නෙවෙයි. හමුදාවට ඔහු නැගෙනහිර පළාතේ කළ පහරදීම් ගැන ඉතාමත්ම අවබෝධයෙන් මේ රටේ ජනතාව ඉන්නවා. ඒ නිසා ත්‍රස්තවාදියෙකු හැටියට ඔහු කළ ක්‍රියා කලාපය අපි පෞද්ගලිකව පිළිගන්නෙ නැතිවුණත්, ත්‍රස්තවාදී කණ්ඩායමක් සහ හමුදාවක් අතර යුද්ධ කරනකොට මෙවැනි තත්වයක් ඇතිවෙනවා. ඔහු නායකත්වය දීලා ඔහුගේ ත්‍රස්තවාදී සංවිධානය ජයග්‍රහණය කරන්න, අපි හමුදාවක් හැටියට ත්‍රස්තවාදය පරාජය කිරීමට - ඒ හා සමානව ඒ කාලෙ කටයුතු කළා. ඉතිං මේක යුද්ධයකදී ඇතිවෙන දෙයක්."

 

 ''කරුණාට නීත්‍යානුකූල සමාවක්'' !

හිටපු ඇමතිවරයකු වන එස් බී දිසානායක කරුණාගේ ප්‍රකාශය හෙළා දකින අතරවාරයේ "කරුණාට නීත්‍යානුකූල සමාවක් දී ඇතැයි," ප්‍රකාශ කළ බවක් මාධ්‍ය මගින් වාර්තා කෙරුණි.

කරුණා අම්මාන් කොටි සංවිධානය අත්හැර ආණ්ඩුවේ පාර්ශ්වයට එක්වීම එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුමක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ එය තම ගිණුමට බැර කර ගැනීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටියදී, හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටින්නේ "කරුණා ආණ්ඩුවේ පාර්ශ්වය ගන්නා විට ඔහු සමඟ 150 ක් පමණ කණ්ඩායමක් පැමිණි අතර ඔවුන්ගෙන් ද 80ක් පමණ ළමා සොල්දාදුවන් වූ" බවය.

Karuna Just

පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ෆීල්ඩ් මාෂල්වරයාට චෝදනා කරන ලද්දේ "යුද්ධය ජයග්‍රහණය සඳහා කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන්ගේ සහාය ඉතා වැදගත් වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදු කළ බවට එවකට හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාව යුද අපරාධ නොකළ බවට කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව," පවසමිනි.

 

ජනතා විමුක්ති පෙරමුණ ආදර්ශයට ගැනීම:

තම අතීත ක්‍රියාවන්ට එරෙහිව දැන් නඩු පැවරිය නොහැකි බව කරුණා ප්‍රකාශ කරන අතරවාරයේ ඔහුට රැකවරණය සඳහා ඉදිරිපත්ව සිටින කණ්ඩායම්වල එක් තර්කයක් වන්නේ "ජනතා විමුක්ති පෙරමුණත් මනුෂ්‍ය ඝාතනයේ නිරතව සිටි අතර, එම පක්ෂයේ සාමාජිකයන් දඬුවමින් තොරව දැන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වී සිටින," බවය.

ජනතා විමුක්ති පෙරමුණ කැරලි දෙකකට නායකත්වය දුන් අතර, ඉන් පළමුවැන්න වූ 1971 අප්‍රියෙල් කැරැල්ලේ දී අත්අඩංගුවට ගන්නා ලද කැරලිකරුවන් සහ ආණ්ඩුවට ස්ව-කැමැත්තෙන් භාර වූ දහසය දහසක් පමණ වූ පුද්ගලයන්ගෙන් චෝදනා ලද තැනැත්තන් සාමාන්‍ය අධිකරණයකට හෝ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරනු ලැබීම, අත්හිටවූ සිර දඬුවම් මත මුදා හැරීම හෝ දඬුවම් කරනු ලැබ ඇත.

1971 කැරැල්ලේ 'මහ නඩුවේ' චූදිතයන් අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයාව සිටි නිමලසිරි ජයසිංහ නොහොත් 'ලොකු අතුල' පසුව ආණ්ඩුවේ සාක්ෂිකරුවකු වූ අතර, ඔහු මුදාහරින ලද්දේ අපරාධ යුක්ති කොමිසන් සභාව ඉදිරියට පමුණුවනු ලැබීමෙන් අනතුරුවය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි ඔහු පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ නියෝජ්‍ය ඇමති පදවියක් ද දැරීය.

''එස් බී දිසානායක පවසන පරිදි කරුණා අම්මාන්ට දේශීය හෝ ජාත්‍යන්තර අධිකරණයක් මගින් "නීත්‍යානුකූල සමාවක් ප්‍රදානය කරනු ලැබ" නැත.''

අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ සිර දඬුවම් නියම කරන ලද රෝහණ විජේවීර ඇතුළු සෙසු සාමාජිකයන් නිදහස ලද්දේ, අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පිහිටුවන ලද පනත් 1977 බලයට පැමිණි ජේ ආර් ජයවර්ධන රජය විසින් අහෝසි කොට නෛතික වෙනසක් සිදුකරනු ලැබීම නිසා ඔවුන්ට එරෙහි නඩු තීන්දුව බල රහිත වීමෙන් අනතුරුවය.

එහෙත් එස් බී දිසානායක පවසන පරිදි කරුණා අම්මාන්ට දේශීය හෝ ජාත්‍යන්තර අධිකරණයක් මගින් "නීත්‍යානුකූල සමාවක් ප්‍රදානය කරනු ලැබ" නැත.


භීෂණ සමයේ ඝාතන පිළිබඳව 'සමාව ඉල්ලනවා' - අනුර කුමාර දිසානායක

1989 කැරැල්ලේ දී ජනතා විමුක්ති පෙරමුණට හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට නායකත්වය දුන් කිසිවකු විසින් තමන් විසින් ඝාතනය කරන ලද පුද්ගලයන් කවුරුන්ද? ඔවුන්ගේ සංඛ්‍යාව කොපමණද? යන්න මෙතෙක් ප්‍රකාශ කර නැති අතරම එවැනි ඝාතන අනුමත කිරීමක් ද නොකරයි.

80ව දශකයේ අගභාගයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ද මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වූ බව මීට වසර කිහිපයකට ඉහතදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පළමුවරට පිළිගත් පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියේය.

1989 දී ජනතා විමුක්ති පෙරමුණට සිදුවූයේ 'තමන්ට එරෙහිව එල්ල වූ මර්දනයට මුහුණ දීමට' බව අනුර කුමාර දිසානායක මෙන්ම හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී ද සඳහන් කළේය.

'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය' නායකත්වය දුන් "කීර්ති විජයබාහු" යනු නිශ්චිත පුද්ගලයකු නොව එවකට දේශපාලන ව්‍යාපාරය විසින් භාවිත කරන ලද 'සංකේතාත්මක නාමයක්' වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසයි.

 Karuna Alimankada"මම අලිමංකඩදි එක රැයට දෙදාහක් තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා.."

 

නඩු පැවරිය නොහැකිද?

දේශය සුරැකීමේ විද්වත් එකමුතුව වෙනුවෙන් එහි සභාපති බෝසෙත් කළහෙ පතිරණ විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් කියා සිටින්නේ ''කරුණා අම්මාන්ගේ ප්‍රකාශයට එරෙහිව නිසි නෛතික ක්‍රියාමාර්ග ගැනීම රජය විසින් නොසලකා හැරීම සැලකිල්ලට ගෙන නීතිය ඉදිරියේ සමානාත්මතාව නම් වූ මූලික අයිතිවාසිකම (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය) උල්ලංඝනය වී ඇති බවය.

"මූලික අයිතිවාසිකම් කඩවීමක් පමණක් නොව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද, ICCPR පනත යටතේ ද කරුණා අත් අඩංගුවට ගත හැකි," බව බෝසත් කලහේ පතිරණ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු පවසති.

මෙහි ඉහත සඳහන් කරන ලද පරිදි, "ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයට වැටෙන ඔහු විසින් මහා පරිමාණයෙන් සිදු කර ඇති ළමා සොල්දාදුවන් බඳවා ගනු ලැබීම සම්බන්ධයෙන් ද විභාග කළ යුතුව ඇතැයි," එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියා සිටියි.

Hashim ThaciHashim Thaci has been president of Kosovo since 2016
(කොසොවෝ ජනාධිපති හෂීම් තාසිට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.)

මේ දිනවල එවැනි නඩු පැවරීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුවෙමින් පවතී. එනම්, 'හේග්' නගරයේ විශේෂ ජාත්‍යන්තර නීති නිලධරයකු විසින් කොසොවෝ ජනාධිපති හෂීම් තාසිට (Hashim Thaci) එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනු ලැබීමයි.

ජනාධිපති තාසි ඇතුළු තවත් කණ්ඩායමක් "වධහිංසා සිදුකරනු ලැබීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ මිනීමැරීම් සිය ගණනක් සම්බන්ධයෙන් වගකිව යුතුව ඇතැයි," හේග් විශේෂ අපරාධ අධිකරණ නීති නිලධාරියා පවසයි.

එම අපරාධවලට ඉතිහාසයක් ඇති අතර, එම චෝදනාවලට පදනම් වන්නේ සර්බියාවට එරෙහිව කොසොවෝ නිදහස් අරගලය පෙරට යමින් තිබුණ අවධියයි.

(උපාලි ගජනායක -BBC සිංහල)

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා