වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ, නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජල මට්ටම් අඩුවීමක් මේ වනවිට නිරීක්ෂණය වන බවයි.
විශේෂයෙන් කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශය හැර අනෙකුත් ස්ථානවල ජල මට්ටම් පහළ යමින් පවතින බවද ඔහු පැවසීය.
කෙසේවෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි දිනවලදී නැවතත් වැසි ලැබීමේ හැකියාව පවතින බැවින්, මෙම තත්ත්වය තාවකාලික විය හැකි බවද හෙතෙම අවධාරණය කළේය.
දැනට ප්‍රධාන ජලාශ 73න් 18ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18ක් වාන් දමමින් පවතින බවද වාර්තා වේ.
එහෙත් මෙම ජල මුදාහැරීම් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය නොවන බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා ඉදිරි තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.
මේ අතර, දැදුරුඔය ජලාශයේ විවෘත කර තිබූ සියලු වාන් දොරටු අද (14) පෙරවරු 7.00ට වසා දැමූ බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය සහ වැසි තත්ත්වය ඉහළ යා හැකි බවද නිවේදනය කර තිබේ. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළං නිරිත දෙසින් පැ.කි.මී. 25ත් 35ත් අතර වේගයෙන් හමනු ඇත.
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 2.5ත් අතර ඉහළ යා හැකි බවද අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ අවදානමක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
(සටහන | ගිම්හාන් ද සිල්වා )




