ආණ්ඩුවේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානින් හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල අතර බරපතල මතගැටුම් හටගෙන ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එම තත්වය තුල භාණ්ඩාගාර ලේකම්වරයා ඉවත් කරන්නැයි දැඩි බලපෑමක් එල්ල වී ඇතත්, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මහ මැතිවරණය අවසන්වන තෙක් කල්දමා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම මතගැටුමේ ආසන්නම සිද්ධිය වන්නේ, ඩොලර් බිලියන 4.5ක එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබා ඩොලර් බිලියනයක ණයක් ගන්නා බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (ජුලි 24) රාත්‍රී නිකුත්කළ නිවේදනයයි. 

එක්සත් ජනපද ඩොලර් බිලියන 4.5ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගන්නට යන බවට ප්‍රකාශ කර තිබුනේ භාණ්ඩාගාර ලේකම්වරයා ය. ඒ, economynext.com වෙත ප්‍රකාශයක් කරමිනි.

 
කෙසේවුවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ, මාධ්‍යයන් හි පැතිර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බවයි.

 මෙවැනි පහසුකම් ඉතා සාමාන්‍ය, එසේම අවශ්‍ය වූ විට භාවිතා කළ හැකි ස්වාධීන මූල්‍ය පහසුකමක් වන බව ශ්‍රී ලංකා මහ  බැංකුව අවධාරණය කර සිටී.

නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ගිවිසුමක් :

අවශ්‍ය අවස්ථාවල දී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එළඹි බව මහ බැංකුව පවසයි. 

මෙම පහසුකම ශාස්ත්‍රීය වචනවලින් හැදින්වෙනුයේ, "විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන්" සඳහා වූ එක්දින ප්‍රතිමිලදීගැනුම් පහසුකමක් (Overnight Repurchase Facility) වශයෙනි. ලොව පුරා බොහෝ  මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරාගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිතා කොට ඇත. 

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යූහමය වෙනස්කම් සිදු කිරීමකින් තොරව, අවශ්‍ය අවස්ථාවන්හි දී, කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ  බැංකුවකට මෙම පහසුකම මගින්  ඉඩ සැලසේ.

කොවිඩ්-19 (COVID-19) හා බැඳුණු අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දීමේ සැලසුම්වල කොටසක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව ඉහත කී  ප්‍රතිමිලදීගැනුම් ගිවිසුමට එළඹීමේ දී ඒ සඳහා යෙදවූයේ, ස්වකීය විදේශ විනිමය සංචිතයෙහි ඇතුළත් එක්සත් ජනපද ඩොලර් බිලියනයක් පමණක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් බව පවසන මහ බැංකුව,  මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුවට, අවශ්‍ය අවස්ථාවල දී, එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා අරමුදල් සපයා ගැනීමට පහසුකම් හිමි බව කියා සිටියි.

''කිසිදු ණය ගැනීමක් තවමත් සිදුකර නොමැත.''

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ප්‍රතිමිලදීගැනුම් පහසුකම පියවා දැමූ විට ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව උකස් කළ බැඳුම්කර නැවත අප වෙත නිදහස් කරනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

 එසේ වූ විට ශ්‍රී ලංකා මහ බැංකු සංචිතයෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්,  ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට දැරීමට සිදුවන පිරිවැය වනුයේ සියයට 0.35ක් පමණ වන වාර්ෂික ප්‍රතිමිලදීගැනුම් ගාස්තුව පමණක් බවත් මහ බැංකුව කියා සිටියි.

මේ වන විට ශ්‍රී ලංකා මහ  බැංකුව ෆෙඩරල් සංචිත බැංකුව සමග මෙම ගිවිසුමට එළඹ සිටිය ද කිසිදු ණය ගැනීමක් තවමත් සිදුකර නොමැති බවත්, ඕනෑම අවස්ථාවක දී අදාළ පහසුකමින් ඉවත්වීමේ අයිතිය ශ්‍රී ලංකා මහ  බැංකු අභිමතය යටතේ පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්