වියතුන්  යනු වටිනා කියන පිරිසකි.

රටක ඉදිරි ගමන තීරණය කරන ප්‍රතිපත්ති සම්පාදනයේදී වියතුන්ගේ ගත හැකි මෙහෙය අප්‍රමාණය.

 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා වියත්මඟ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන ලදී.

එයින් සමහරක් වියතුන් රාජ්‍ය ඇමති පදවි වලද තවත් සමහරු ඉහළ තනතුරුවලට ද පත් වූහ.

ඒකත් හොඳය.

 මක්නිසාදයත් ප්‍රේමදාසගේ කාලයේ ලංකාව 
 හංවඩු ගසා තිබුණේ නූගතුන් විසින් උගතුන් පාලනය කරන  රටක් වශයෙනි.

වියතුන් එකවර දේශපාලන පදවිවලට පත් වීමේ අවාසියක් ද ඇත.

බිම් මට්ටමේ සිට පැමිණෙන දේශපාලකයන්ව ලෙහෙසියෙන් ඇන්දවිය නොහැක.

ඔවුහු රාජ්‍ය නිලධාරීන් ගේ සියලුම කපටිකම් අන්ඩපාල වැඩ සියල්ල දැන හැඳින ගෙන ඒවාට මුහුණදීමට හොඳින් තෙම්පරාදු වී සිටිති.

එහෙත් වියතුන්ට මේ අත්දැකීම් විරලය.

රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට ඉතා පහසුවෙන් වියතුන් ඇන්දවිය හැක.

දැනටමත් ඔවුහු එසේ කරමින් සිටිති.

රාජ්‍ය පරිපාලන නිලධාරින් යනු මේ රටේ තිබෙන ලොකුම මාෆියාවයි.

අද මේ රාජ්‍ය පරිපාලන සේවා මාපියාව කරමින් සිටින්නේ තම සාමාජිකයන්ට ලොකුම හැන්දෙන් තනතුරු බෙදා ගැනීමේ කාර්‍ය්‍යයි.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට විවිධ අමාත්‍යාංශ මගින් එවා ඇ‌ති කාඩර් ලිස්ට් පරීක්ෂා කළහො‌ත් තනතුරු සදහා පුද්ගලයින් පත් කර ඇ‌ද්ද එසේත් නැතිනම් පුද්ගලයින් සදහා තනතුරු නිර්මාණය කර ඇ‌ද්ද යන්න සො‌යා බලාගත හැකිය.

රාජ්‍ය පරිපාලන මාෆියාවේ සැබෑ චිත්‍රය එවිට මතුවනු ඇත.

රජයක් කෙරෙහි ජනතාව කලකිරවිය හැකි ප්‍රධානතම පිරිස වශයෙන් මෙම රාජ්‍ය පරිපාලන නිලධාරීන් හදුන්වා දිය හැකිය.

සෑම ක්ෂේත්‍රයක මෙන්ම පරිපාලන සේවා නිලධාරීන් අතරත් සැබෑ මහත්වරුන් සේම අමන පාදඩයින් ද සිටිනා බව අමතක නොකළ යුතුය .

විවිධ චක්‍ර ලේඛන හුවාදක්වමින් වැඩක් කෙරෙන තැනට නොව නොකෙරෙන තැනට ඇදගෙන යාමට ඔවුන්ට බලය හා කපටි කම ඇත.

තුනෙන් දෙකේ බලයක් රජයට ජනතාව දුන්නේ වැඩ  කරන්නටය.

ජනතාවගේ බලාපොරොත්තු කඩ කළ විට එහි ප්‍රතිඵල බලාගත හැක්කේ ඊළඟ  ඡන්දයේදී ය.

වර්තමානයේ අමාත්‍යාංශවලට පත්ව සිටින ඇමතිවරුන්ට තම සේවකයන් සිටින්නේ සතුටින් ද එසේත් නොමැති නම් බරපතල අසහනයකින් ද යන්න සොයා බැලූ විට සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න වටහා ගත හැකි වනු ඇත.

තාප්ප විසිතුරු කළ තරුණයින්ගේ උද්‍යෝගය වියැකී යමින් පවතී.

වැඩ කරන්න 20 අවශ්‍යම නැත.

මන්ද දැන් ඇත්තේ වික්‍රමසිංහ - සිරිසේන ආණ්ඩුවක් නොව රාජපක්ෂ - රාජපක්ෂ ආණ්ඩුවක් බැවිනි.

ද්විත්ව පුරවැසියන් ලවා පක්ෂ හදාගන්න හොඳය.

ද්විත්ව පුරවැසියන් ලවා ජන්ද සටන සංවිධානය කරගන්නත් හොඳය.

එම ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ඒම වැළැක්වීමට කුඩුකේඩුකම් කිරීම අමුම කුහකකමකි.

ජනාධිපතිවරණයට පෙර වියත්මග සංවිධානය විසින් සමීක්ෂණ ගණනාවක් සිදු කරන ලදී. 

සැබැවින්ම වියත්මග සංවිධානය නියම  සමීක්ෂණය පටන් ගත යුතුව ඇත්තේ දැන්ය.

එය තම තමන්ගේ අමාත්‍යාංශවලින්ම පටන් ගතහොත් මේ රාජ්‍ය නිලධාරීන්ගේ ගේම් එක කුමක්දැයි වටහා ගත හැකි වනු ඇත.

අවියත් මග:

මේ අල්ලපනල්ලේ බඩ පපුව පිච්චි ගිය කොටසක් ද සිටිති.

ඒ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ය.

අද අවියත්මග නියෝජනය කරන්නේ ඔවුන්ය.

ජනතාව හුරතලයට කියන්නේ 
'පළා බබාලා'කියාය.

මේ පළා බබාලා භීතියට පත්ව ඇත්තේ පළාත් සභා අහෝසි කරාවි ද යන කාරණය නිසාය.

පළාත් සභා අහෝසි කරනවාට අද වඩාත් විරුද්ධ එදා පළාත් සභා ඡන්දය වර්ජනය කළ 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ය.

ඒ රටට සේවය කරන්නට ඇති කැක්කුම හා උනන්දුව නිසාම විය යුතුය.

පළාත් සභා නැතුවත් රට කරන හැටි මේ පළා බබාලාට නොපෙනීම හතලිස් ඇඳිරිය ටත් එහා ගිය බරපතළ රෝග තත්ත්වයකි.

ඉන්දියාවටත් පළාත් සභා ගැන බරපතළ අමාරුවක් ඇත.

පසුගිය පාලන රජය පරාජයට බියෙන් පළාත් සභා ඡන්දය කල් දමන විට ඉන්දියාවත් වෙනත් අවශේෂ පක්ෂත් ඒ ගැන වචනයක්වත් කතා නොකළහ.

ප්‍රශ්නය පළාත් සභා ඡන්දය කල් දැමූ දේශපාලකයන්ද අද පළාත් සභා ඡන්දය පැවැත්වීමට උනන්දු වීම ය .

කියත් මග:

මේ සියල්ල අස්සේ තවත් පිරිසක් ලස්සනට තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටිති.

ඔවුන් නම් 'කියත්මග ' යි.

කියත්මග සෙට් එක ගානට වනාන්තර ටික සුද්ද කිරීමේ ව්‍යාපෘතිය දියත් කරමින් සිටිති.

මේවා ජනතා විරෝධය ඉහළ නැංවිය හැකි වැඩපිළිවෙලවල් ය.

රජයේ නිලධාරීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ වරදක් වේ නම් ඒවා පෙන්වා දීම සැබෑ වියතුන්ගේ කාර්යභාරයයි.

එසේ නොමැතිව ජාමේ බේරා ගැනීමේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නට ගියහොත් සිදුවිය හැකි ඛේදවාචකය වියතුන්ටවත්  තක්සේරු කරගත නොහැකි වනු ඇත.

මර්වින් සිල්වාගේ දස බලුකම් හමුවේ මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කළේ මුනිවරුන් පරිද්දෙනි.

දුමින්ද සිල්වා ගේ ප්‍රශ්නයේදී කළේ හත්පොලේ ගා ගැනීමටත් එහා ගිය දෙයකි.

2014 අගභාගය වන විට සිදුවූයේ කුමක්දැයි අමතක කළයුතු නැත.

ජනතාවට අවශ්‍ය වූයේ මහින්දට ගහන්න නොවේ.

මහින්ද වටේ ඉන්න එවුන් හට පාඩමක් උගන්වන්න ‍ය.

මේ වන විටත් එවැනි එවැනි පිළිල
අතරින් පතර මතුවෙමින් තිබේ.

 දැන් තියාම ඒවාට නිසි පිළියම් යෙදිය යුතුව ඇත.

2015 දී මහින්ද ගෙදර යැවීමෙන් සිදුකරගත් වරද වසර පහක් යන්නටත් මත්තෙන් නිවැරදි කර ගත්තේ ජනතාව මෝඩ නොවන නිසාවෙනි.

ආණ්ඩුව තුළ සිටින වියත්මග , අවියත්මග මෙන්ම කීයත්මග සෙට් එක වටහාගත යුතු සත්‍යයක්  ඇත.

මොන බලතල සංශෝධනය කළත් ජනතාව අත ඇති කතිරයේ බලය සංශෝධනය කළ නොහැකි ය.

ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවෙන් කිසිදු තනි පක්ෂයකට තුනෙන් දෙකේ බලයක් ලබාගත නොහැකි යැයි කී කතාද සුරංගනා කතා ගණයට මේ රටේ ඡන්දදායකයින් විසින් ඇද දමා ඇත.

වැඩේ පිළිවෙළකට කරගෙන ගියහොත් ගෝඨාභය ආණ්ඩුව ගොඩය.

එසේ නොවුවහොත් විපක්ෂය ගොඩය.

මේවා කියත්මගට අවවාද ය.

අවියත්මගට අනුශාසනා ය. 

වියත්මගට අදහස් ය.

(ඇටමැස්සා )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්