අර පසුගිය සටහනේ පසුවට කියන්නම් කිව්ව කතා ටික කියන්නයි මේක ලියන්නේ.
දේවදාර ගස්වලට ආස වුනාටත් වඩා පෙරේත වුනේ ඇයි කියලම පටන් ගන්නම්.
රාත්‍රී ආහාරයකට ආරාධනාවක් ලැබිලා රුසියාවේ ජීවත් වෙන ලාංකික මිතුරෙකුගේ ගෙදර ගියා අප්‍රේල් මාසේ අග දවසක. ඔහුගේ රුසියානු බිරිඳ කදිම සාම්ප්‍රදායික රුසියානු කෑම මේසයක් සුදානම් කරල තිබුනා. අන්න ඒ කෑම මේසේ කෙළවර ඩිකැන්ටරයක තිබුනේ බිරියෝසා ජූස්*.
බිරියෝසා හෙවත් දේවාර ගස්
දේවදාර ගහට ඉංග්‍රිසියෙන් කියන්නේ බර්ච් කියල නේ. රුසියානුවෝ කියන්නේ බිරියෝසා කියල. සිහින් සුදු පාට කඳක් තියෙන සිහින් කොළ එල්ලා වැටෙන දේවාදාර ගස්, මෙහේ නැති තැනක් නැති තරම්. දේවදාර එහෙම නැත්නම් බිරියෝසා ජූස් එක රුසියානුවන් අතර ජනප්‍රිය පානයක්.
ඔන්න ඔහොමයි බිරියෝසා ජූස් එකතු කරන්නේ...
බිරියෝසා ගහට හානි නොවන විදියට කුඩා සිදුරක් හදලා තමයි මේ ජූස් එකතු කරන්නේ. හරියට අපි රබර් කිරි එකතු කරනවා වගේ... හැබැයි ඒ වගේ ගහ වටේම කපන්නේ නෑ. ගහට වුන හානිය වළක්වන්නත් ක්ලේ වර්ගයක් හෝ ලාටු වර්ගයක් සිදුර වැහෙන්න ආලේප කරනවා.
කොහොම වුනත් බිරියෝසා ජූස් රුසියානුවෝ එකතු කරන්න පටන් ගන්නේ වසන්ත කාලේ ආරම්භ වෙන කොටම. සාමාන්‍යයෙන් මධ්‍යහනත් හවස ඉර බැහැගෙන යන කාලයත් අතර තමයි මේ බිරියෝසා සාරය ගන්නේ. ඒ කාලේට හැමෝම වගේ තමන්ගේ ගෙවල් අවට කැලෑවල තියෙන බිරියෝසා ගස් සිදුරු කරල බෝතල්වලට ජූස් එකතු කරගෙන එනවා. මොකද මුළු වසන්ත කාලේමත් මේ බිරියෝසා සාරය ලැබෙන්නෙ නෑ.
බිරියෝසා ජුස් වතුර වගේ අවර්ණයි. හැබැයි මද පැණි රසයක් තියෙනවා. ඒ රස මොන වගේද කියල කියන්න හරියටම වචන ගලපගන්න මට අමාරුයි. කොහොම වුනත් හුඟාක් රුසියානුවෝ මේ ද්‍රාවණය ගහෙන් ගත්ත විදියට, ඒ මොහොතෙම බොනවා. එහෙම නැත්නම් ඉතින් තුර්කියේ ඉඳලා එන රසම රස පැණි විදින දොඩම් ගෙඩියක යුෂ මුහු කරලත් බොනවා. අන්න එතකොට තමයි කොච්චර බිව්වත් මදි කියල දැනෙන්නේ.
ඒක පුදුම මිහිරි රසයක්... බොන්න බොන්න රී ෆ්‍රෙෂ් ෆීලින් එකක් එන්නේ.
මේ තියෙන්නේ ක්වාස්
රුසියානුවෝ බිරියෝසා ජූස් බොන්නේ ඒකේ තියෙන ගුණේ නිසා කියලයි කියන්නේ. බිරියෝසා ජූස් දින ගණන් තියාගෙන බොන්න බෑ. එහෙම වුනාම අපේ රා වගේ පැහෙන්න ගන්නවා. අන්න එහෙම පැහුනම එකෙන් හදනවා ක්වාස්* (Kvass).
ක්වාස් කියන්නෙ රුසියාවේ අතිජනප්‍රිය බීමක්. රුසියාවේ විතරක් නෙවෙයි නැගෙනහිර යුරෝපේ විශේෂයෙන් පෝලන්තේ, යුක්‍රේනය වගේ රටවල්වල ජනප්‍රිය සාම්ප්‍රදායික බීමක්. ඒකේ රස බොහෝදුරට බියර්වලට සමානයි. ක්වාස් සාමාන්‍යයෙන් හදන්නේ ධාන්‍ය වලින්.
ඒ ඉතින් මම කිව්වේ රුසියානුවෝ බොන හෙල්දි බීම ගැන නේ... දැන් කියන්නේ රුසියානුවන්ගේ ඇල්කොහොල්මය බීම ගැන....
රුසියානු කෑම මේසෙක කලුපාන්, විනේගා වල ඔබලා මාස ගාණක් පරණ කරපු අගුර්සි (ගර්කින්) සුදුලූණූ, ලූණූ කොළ, තක්කාලි, සාලා (ඌරු තෙල් කෑලී) සහ වොඩ්කා නම් වරදින්නේ නෑ ... ( ඒ ගැන වෙනම කියන්නම්...
Excercise කරන්නත් පුලුවන් ... වාඩි වෙලා ඉන්නත් පුලුවන්..රුසියාවේ ඉන්නේ රෑට විතරක් බොන අය නෙවෙයි. ටිකක් වසස්ගත මහත්තුරු නම් උදේම බියර් බෝතලයක් උගුරට දාගෙන දවස පටන්ගන්නවා. රුසියානුවන්ට බොන්න ලංකාවේ අපිට වගේ හැමවෙලේම මිතුරු වළල්ලක් ඕන නෑ.
සමහරු ඉතින් බිරිඳ එක්ක සහකාරිය එක්ක පෙම්වතිය එක්ක එලිමහනේ කතාබහ කරමින් මදුවිතක් තොළගාමින් ළයාන්විත හවස්වරු ගෙවන දසුන් සුලබයි.
හැම ක්වර්තීරා (එපාර්ට්මන්ට්) එකක් ඉස්සරහම දරුවන්ට සෙල්ලම් කරන්න, වැඩිහිටියන්ට වාඩි වෙලා ඉන්න, කුඩා සුන්දර උද්‍යාන තියෙනවා. එහෙම තැන්වලත් කට්ටිය එකතු වෙලා, දරුවන් සෙල්ලම් කරන අතරේ වාහනේ සින්දුවක් දාගෙන බොනවා.
ඒ ඇරුණුම ඉතින් මෙහේ කැලෑවල් තියෙනවා. සති අන්තවල දීර්ඝ නිවාඩු දිනවල රුසියානුවෝ මේ කැලෑවල්වලට එකතුවෙලා ෂශ්ලික් හදනවා... බාබකිව් දානවා... සිංදු දාගෙන පවුල් පිටින් ඇවිත් නටලා කාලා හොඳට මත්වෙලා යනවා.
එහෙමයි කියල නැවුම් හුළං වදින්න කැලෑවේ ඇවිදින්න එන මිනිස්සුන්ට ඇවිදින්න බාධාවක් නෑ. වරුගණන් කැලෑවේ කුරුල්ලන්ගේ සද්ද අහගෙන වාඩි වෙලා ඉන්න ඕන නම් මේ කැලෑවල ඒකටත් බාධාවක් නෑ. තමන්ගේ ගෙවල්වලට ඇවිදගෙන යන කෙනෙක් නම් ප්‍රධාන පාරෙන් නැතුව කෙටි පාරක් හැටියටත් මේ කෑලැවල් පාවිච්චි කරනවා.
මේ ඉතින් කැලෑවේ...
අපිට ලංකාවේ පාලු පාරක ඇවිදිද්දි දැනෙන බය කවදාවත් මේ කැලෑවකදි දැනෙන්නේ නෑ. තනියම වරුගණන් හිටියත් කුරුල්ලන්ගේ සද්ද ඇර වෙන විසිල් සද්දයක්වත් ඇහෙන්නේ නෑ.
මම කැලෑවේ යන්නේ කුරුල්ලන්ට සූරියකාන්ත ඇට අරගෙන... ගිහින් එන්නේ තියෙන තරම් කැලෑමල් කඩාගෙන... ඉතින් මම වගේම ඇවිදින්න එන අයත්, කඩේ ගිහින් බඩු අරන් ගෙදර යන අයත් කැලෑවලදි මුණ ගැහුණම එකිනෙකාට ස්ද්‍රාස්වීතේ * (ආයූබෝවන්) කියන්න අමතක කරන්නේ නෑ.
රුසියානුවන් අතර සාමාන්‍ය විශ්වාසයක් තියෙනවා ඔත්තේ ඉලක්කම්වලින් බොන්න. ඉරට්ටේ ගණන්වලින් බොන එක අසුබයි කියලයි කියන්නේ. ඒත් ඉතින් වාඩිවෙලා කාලය අරන් බොනකොට ගණන් කර කර බොනවා නෙවෙයි. නමුත් හදිසි හමුවීමකදි... සිහියෙන් බොන වෙලාවල්වලදි... අමුත්තෙක් ගෙදරට ආව පළමු දවසේ දි... මේ කාරණාව වලංගුයි.
ඒ පිළිවෙත අනුව, මට රෝමාගේ (ගෙදර අයිතිකාරයගේ) ගෙදර ගිය මුල්ම දවසේ අමුවෙන්ම වොඩ්කා වීදුරු තුනක්ම බීලයි එන්න වුනේ. (කරදරයක් නෑ මම හොඳට ඇවිදගෙන ගෙදර ආවා)
රුසියානුවෝ කවදාවත් සැන්ඩි කර කර බොන්නේ නෑ.
මාර්කට්වල මේ වගේ බිරියෝසා ජූස් විකුණන්න තිබුනට අර නැවුම් බිරියෝසා රස මේකේ නෑ...
වොඩ්කා කියන්නේ රුසියානුවන්ගේ ජනප්‍රියතම බීම. ඒ කිසිම බීමකට පළතුරු යුෂ හෝ වෙන කිසිම දෙයක් මුහු කරන්නේ නෑ... අයිස් කැටයක්වත් ... හැබැයි තමන් කන බොන මේසේ වතුර, පළතුරු යුෂ තියල තියෙනවා. සැර බීම බොන අතරේ වතුරත් පළතුරු යුෂත් තුර්කි දොඩම් කන්නත් රුසියානුවෝ අමතක කරන්නෙ නෑ.
කෑලෑවේ ගිහින් එද්දි මුණ ගැහෙන අය...රෝමගේ ඉස්සරහා ගෙදර ඉන්නේ යූරා. යූරා යුක්‍රේනියන්... හැබැයි ඉතින් කතාවට ගියාම රෝමාට වඩා රුසියන්කාරයා... ඒ වුනාට විහිලුකාරයා... යූරා බොන ඒවා නම් කොහේ යනවද කියන්න අමාරුයි. මොකෝ කොච්චර බිව්වත් මුණේ කිසිම වෙනසක් නෑ.
අපි රෝමගේ ගෙදර ගිහින් තේ බොනව දැක්කොත් යූරා කෑ ගහලා රෝමාගෙන් අහනවා, “මොනවද යකෝ රුසියන්කාරයෝ අමුත්තන්ට තේ දෙනව ද” කියල. ආන්න එහෙමයි රුසියාන්කාරයන්ගේ බීම...
ආයේ දවසක අරන් එන්නම්, සමෝවාර වටේ ඉඳගෙන චායි බොන රුසියානුවන් ගැන තේ කතාවක්... අහ්... තව මගේ ප්‍රියතම අජාරියන් කචාපූරි ගැන රස කතාවකුත්.
(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර - රුසියාවේ සිට..)
(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )







