leader s

*විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය 2/3 බහුතරයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක්


*අධිකරණ සංවිධාන පනත සාමාන්‍ය බහුතරයෙන්: විවාදය 24 සහ 25 දෙදින තුළ

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීම වෙනුවෙන් රජය ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් විශේෂ අර්ථනිරූපණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.

විනිසුරු මඬුල්ලේ තීන්දුව සහ විශේෂ නිර්දේශ

මෙම සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ගොනුකළ පෙත්සම් 67ක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත්තේ, මෙම කෙටුම්පතෙහි අන්තර්ගත කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකට යොමු කළ යුතු මට්ටමේ කරුණක් නොවන බවයි. ඒ අනුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ හැකි බව දැනුම් දී ඇත.

මීට අමතරව, පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන්ට අදාළව ඉදිරිපත් කර තිබූ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම් දී තිබේ.




යෝජිත සංශෝධනයේ පසුබිම

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා මෙම පනත් කෙටුම්පත් ද්විත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා කර ඇත. අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම, පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් රඳවා ගැනීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම පියවරෙහි මූලික අරමුණ බව රජයේ ස්ථාවරයයි.

නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන කරළියේ සංවාදය

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීති සහ දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව අතර පුළුල් සංවාදයක් නිර්මාණය විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු වෘත්තීය කණ්ඩායම් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ පෙන්වා දුන්නේ මෙවැනි වෙනසක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී සමතුලිතතාවට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවයි.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) ප්‍රකාශ කර ඇත්තේ, මෙම සංශෝධනය මගින් පද්ධතියේ ප්‍රවර්ධන අවස්ථා අඩාල වන බැවින් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී ද ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විවාදය එළඹෙන 24 සහ 25 දෙදින

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගෙන ඇති තීරණය අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙදින පාර්ලිමේන්තු විවාදය එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතනින්

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්