leader s

* සැමියාට ලිහිල් තීන්දුවක් ගැනීමට අධිකරණ සේවකයෙකුට රුපියල් පනස්දහසක අල්ලසක් දුන් බවට චෝදනා

* ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්

 

කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව විනිසුරුවරයා මඟින් සිය සැමියාට ලිහිල් තීන්දුවක් ලබාගැනීමේ අරමුණින් අධිකරණ සේවකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදුන් බවට චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ලබන ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි නමැති සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

 

අධිකරණ කාර්ය සහායකයා සහ වට්ස්ඇප් පණිවිඩ

 

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, කොළඹ අංක 11 මහාධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වෙත අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස විනිසුරුවරයා පෙළඹවීම සඳහා අධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙත මෙම අල්ලස් මුදල ලබාදී ඇති බවයි.

 

අත්අඩංගුවට ගත් අදාළ කාර්ය සහායකයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඒ හරහා හුවමාරු වී තිබූ වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ රැසක් අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේය. ඒ අනුව, පසුගිය අගෝස්තු 14 වනදා පළමු සැකකරු වෙත "චරිත් එන්න" යනුවෙන් පණිවිඩයක් ලැබී ඇති අතර, අගෝස්තු 17 වනදා "මං කරන්න පුළුවන්ද බැරිද කියලා දවස් දෙකකින් කියන්නම්" යනුවෙන් පිළිතුරු ලැබී තිබේ. අනතුරුව අගෝස්තු 23 වනදා "මැඩම් වැඩේ හරි, සල්ලි ටික ලෑස්ති කරලා තියන්න. මං දැන් එනවා" යනුවෙන් පළමු සැකකරු විසින් පණිවිඩයක් එවා තිබූ බව විමර්ශනවලදී හෙළිව ඇත.

 

මෙම ගනුදෙනු සඳහා යම් කේත ක්‍රමයක් භාවිත කර ඇති බවත්, පණිවිඩ රැසක් මකා දමා තිබූ බවත් පැවසූ නිලධාරීන්, මුදල් හුවමාරු කිරීම් තහවුරු කෙරෙන ඉන්වොයිස් පත්‍රිකා ද ඒ අතරින් හමු වූ බව අධිකරණයට දන්වා සිටියේය.

 

අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය මැදිහත්වීම්

 

අධිකරණයක විභාග වන නඩු තීන්දුවකට කිසිදු බාහිර පුද්ගලයෙකුට හෝ පාර්ශ්වයකට බලපෑම් කළ නොහැකි බවත්, මේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සහ විශ්වාසනීයත්වයට බරපතළ හානියක් සිදුවන බවත් විමර්ශන නිලධාරීන් අවධාරණය කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදුකෙරෙන හෙයින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

 

නීතිඥ පාර්ශ්වයේ කරුණු දැක්වීම සහ ඇප ප්‍රතික්ෂේප වීම

 

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඇයගේ දියණිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා (A 4) විදෙස් අධ්‍යාපනය සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලියක පසුවන බවත්, පියා දැනටමත් සිරදඬුවම් විඳින පසුබිමක මව ද රක්ෂිත බන්ධනාගාරගත වීම පවුලේ සාමාජිකයන්ට දරාගත නොහැකි මානසික තත්ත්වයක් නිර්මාණය කරන බවත් සඳහන් කළේය. ඒ අනුව සුදුසු ඕනෑම කොන්දේසියක් මත ඇයට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

 

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, දියණියගේ වයස, විභාග සමත්වීම හෝ විදේශගත වීම සඳහා වීසා ලබාගැනීමේ අවශ්‍යතාව නීතිමය වශයෙන් ඇප ලබාදීම සඳහා සැලකිල්ලට ගත හැකි "සුවිශේෂී කරුණු" නොවන බවයි. ඒ අනුව සැකකාරියගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඇය ලබන මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්