* මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය 3 වැනි වරටත් සංවිධානය කරන ෆෙඩරේෂන් කුසලාන තරගාවලිය ලබන මස 9 වැනිදා සිට කොළඹදී පැවැත්වෙන අතර, සියලු තරග සජීවීව විකාශය කිරීමට පියවර.
* ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නැගී එන යොවුන් දක්ෂතා සෙවීමේ අරමුණින් වයස් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන ෆෙඩරේෂන් කුසලානයට රුපියල් මිලියන 10ක ආයෝජනයක්.

ශ්‍රී ලංකාවේ නැගී එන පාපන්දු කුසලතා ප්‍රදර්ශනය වන ෆෙඩරේෂන් කුසලාන 2026 (Federation Cup) තරගාවලිය ඔක්තෝබර් 9 සිට 11 දක්වා කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයේදී මහත් උත්සවාකාරයෙන් පැවැත්වෙනවා.
මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය (Manchester Soccer Academy - MSA) තෙවැනි වරටත් සංවිධානය කරන මේ තරගාවලිය සඳහා වයස අවුරුදු 14න් පහළ සහ අවුරුදු 16න් පහළ කණ්ඩායම් 22 බැගින් සහභාගි වීමට නියමිතයි.

මේ තරගාවලිය සඳහා වන වියදම රුපියල් මිලියන දහයක් ලෙස ගණන් බලා තිබෙනවා. තරගාවලියේ ශූරයින්ට රුපියල් ලක්ෂ දෙකක් ද, අනුශූරයින්ට රුපියල් ලක්ෂයක් ද පිරිනමන බවට සංවිධායකයින් දන්වා සිටිනවා.
මීට අමතරව තරගාවලියේ හොඳම ක්‍රීඩකයා, වැඩිම ගෝල්ලාභියා, හොඳම ගෝල් රකින්නා, සාධාරණ ක්‍රීඩා කණ්ඩායම හා නැගී එන දක්ෂතාව ලෙසින් සම්මාන ද ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
“අරමුණ ජාතික මට්ටමට ක්‍රීඩකයින් 20ක් බිහි කිරීමයි” - ප්‍රධාන පුහුණුකරු
2017 වසරේ සිට යොවුන් පාපන්දුවේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් සිටින මැන්චෙස්ට පාපන්දු ඇකඩමියට මේ තරගාවලිය ඔවුන්ගේ ගමනේ ඉතාමත් වැදගත් පියවරක් වී තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වන එම ඇකඩමියේ සභාපති හා ප්‍රධාන පුහුණුකරු ජෝර්ජ් ඔගස්ටීන් මෙසේ ප්‍රකාශ කරනවා.
“මගේ අරමුණ වන්නේ රට පුරා විසිරී ඇති තරුණ පාපන්දු දක්ෂතා සොයාගෙන ඔවුන් සංවර්ධනය කර අවසානයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හැකි ක්‍රීඩකයින් බවට පත් කිරීමයි. මේ ගමන ආරම්භ කළ දිනයේ පටන් ජාතික මට්ටමට ක්‍රීඩකයින් 20ක් පමණ බිහි කිරීමේ ඉලක්කයක් මට තිබෙනවා. අපේ තරුණ ක්‍රීඩකයින්ට නිසි මඟ පෙන්වීම, තරගකාරී පරිසරය හා අවස්ථා ලබා දීම තුළින් ඔවුන් අනාගතයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් නියෝජනය කරන ක්‍රීඩකයින් බවට පත්වනු ඇතැයි මම විශ්වාස කරනවා.”

පසුගිය තරගාවලියේදී Brilliant පාපන්දු ඇකඩමිය අවුරුදු 12න් පහළ ශූරතාව දිනා ගත් අතර මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය අවුරුදු 14න් පහළ සහ 16න් පහළ ශූරතා දෙක ම හිමිකර ගැනීමට සමත් වුණා.
මෙවර තරගාවලියේ සියලුම තරග සජීවීව විකාශය කරන බව ෆෙඩරේෂන් කුසලාන 2026 තරගාවලිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔගස්ටීන් කියා සිටියා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







