leader s

* පුද්ගල යැපීම්වලින් මිදී අනුග්‍රාහකයන් සොයා වෘත්තීය මට්ටමට නොපැමිණියහොත් පාපන්දු සමාජවලට අත්වන්නේ රත්නම් සමාජයේ ඉරණම බවත්, වයස් කාණ්ඩ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමට ඇකඩමි නිසි නියාමනයක් යටතට පත් කරන බවත් පාපන්දු සභාපති ජස්වර් උමාර් පවසයි.

* වසර 31කට පසු සාෆ් කුසලානය යළි මෙරටට ගෙන ඒමේ සූදානම මෙන්ම යොවුන් ලෝක කුසලාන ඉලක්ක කරගත් 'පාපන්දු පාස්පෝට්' ජාතික වැඩපිළිවෙළ ගැන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ප්‍රධානියා ක්‍රීඩා අමාත්‍යාංශයේදී හෙළි කරයි.

 

මෙරට පාපන්දු ඇකඩමි වෘත්තීය මට්ටමට පිවිසීමට නම් ඔවුන් ස්වඋත්සාහයෙන් අනුග්‍රාහකයින් සොයාගෙන ඉදිරියට යා යුතු බවත් කලින් කලට පැමිණෙන සභාපතිවරුන්ගේ මුදල් මත යැපීම හේතුවෙන් දිවයිනේ ඉහළම තලයේ සිටි පාපන්දු ක්‍රීඩා සමාජ අද අක්‍රියව ඇති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පෙන්වා දෙනවා.

 

2026 ෆෙඩරේෂන් කුසලාන (Federation Cup) තරගාවලිය හඳුන්වා දීම පිණිස ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ පැවති මාධ්‍ය හමුව මෙරට පාපන්දු පුහුණුකරුවන් හා තරග විනිසුරුවන්ට පණිවුඩයක් ලබා දීම සඳහා ද වේදිකාව කරගත් ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා, පාපන්දු පුහුණුකරුවන් හා විනිසුරුවන් විනයගරුකව හැසිරෙන්නේ නැත්නම් ඔවුන්ගේ දරුවන් ද කිසිදිනෙක විනයගරුක වන්නේ නැති බවත් ඔවුන්ගේ පියා, ගුරුවරයා හා මිත්‍රයා වන පුහුණුකරුවා ආදර්ශමත් පුද්ගලයෙකු විය යුතු බවත් ප්‍රකාශ කළා.

 

පුහුණුකරුවන් මෙන්ම තරග විනිසුරුවන්ගේ ද වැරදිවලට පාපන්දු ක්‍රීඩා‌ රාමුව ඇතුළත දඬුවම් ලබා දෙන බවට ඔහු කියා සිටියේ පසුගිය දිනවල තරග බිමේ හටගත් විනිසුරු ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

 

“ඉදිරියේදී විනිසුරු ප්‍රශ්න එයි කියලා මම හිතන්නේ නැහැ. මේ ප්‍රශ්න ඇතිවන්නේ අලුත් නීති ගැන අප්ඩේට් වෙලා නැති නිසයි. පසුගිය තරග කිහිපයක සමහර විනිසුරුවන්ගේ ප්‍රශ්න තිබුණා. ඒවාට දඬුවම් කරනවාට වඩා අවබෝධය ලබා දීමයි වැදගත් වන්නේ.”

 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගය ඇතිව ෆෙඩරේෂන් කුසලාන තරගාවලිය තෙවැනි වතාවටත් සංවිධානය කරන්නේ මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය (Manchester Soccer Academy) යි. ශ්‍රී ලංකාවේ මතුවී එන පාපන්දු සහජ කුසලතාවෙන් කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර පාපන්දු පිටිය නැවත වතාවක් වර්ණවත් වෙමින් ඔක්තෝබර් 3 හා 4 යන දිනවල මේ වයස අවුරුදු 14න් හා 16න් පහළ තරගාවලිය පැවැත්වෙනවා.


වයස අවුරුදු 15න් පහළ FIFA ලෝක කුසලානය

 

“පාපන්දුව අද නොයෙකුත් ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. එහි අලුත්ම හඳුන්වා දීම තමයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ප්‍රථම වතාවට ලබන වසරේ පවත්වන වයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා ලෝක කුසලාන තරගාවලිය. ඊට සූදානම් වීම සඳහා මෙවැනි අවුරුදු 14න් පහළ තරගාවලියන් වැදගත් වනවා. මේ ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ සිට හැම අවුරුද්දෙම පැවැත්වෙනවා. මෙහි තිබෙන වාසිය තමයි FIFA ට අයත් රටවල් 211 ට ම මීට සහභාගි වීමට අවස්ථාව ලැබීම. ඒ අනුව ලංකාව පුංචි රටක් වුනත් අපේ දරුවන්ටත් වර්ල්ඩ් කප් එකකට සෙල්ලම් කරන්න අවස්ථාවක් තියෙනවා.”

 

වයස අවුරුදු 17න් පහළ සහ 20න් පහළ ලෝක කුසලාන තරගාවලියන් පැවැත්වීමටත් FIFA අදහස් කර තිබෙන බැවින් ෆෙඩරේෂන් කුසලානය වැනි අවුරුදු 14න් හා 16න් පහළ තරගාවලියන් සංවිධානය කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සිදු කරන්නේ එම තරගාවලියන්ට සූදානම් වීම බවත් ජස්වර් උමාර් පැවසුවා.

 

ෆෙඩරේෂන් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මැදිහත් වන්නේ එහි ලාංජනය දියත් කිරීමට සහ ‘ෆෙඩරේෂන් කුසලානය’ යන නාමය භාවිතා කිරීමට අවසරය ලබා දෙමින් පරිපාලනය හා තාක්ෂණය පැත්තෙන් සහයෝගය ලබා දීමට පමණක් බව පාපන්දු සභාපතිවරයා සඳහන් කළා.

 

“මේවා පෞද්ගලික ක්‍රීඩා සමාජ නිසා අපි ඔවුන්ට සල්ලි දෙන්නේ නැහැ. නමුත් අපි පාපන්දු ඇකඩමි පුරුදු කරන්නේ තමන් වෘත්තීය මට්ටමට යාමට නම් ඔවුන් අනුග්‍රාහකයින් සොයාගෙන ඉදිරියට යන ලෙසටයි. මීට හේතුව තමයි අපි ක්‍රීඩා සමාජවලට මුදල් දීලා දීලා ලෝක පාපන්දුවේ අන්තිම මට්ටමේ මෙතෙක් කල් සිටීම. එක් සභාපති කෙනෙක් මුදල් දෙයි, තවත්‌ කෙනෙක් නොදේවි. මේ නිසා අපේ නම ගිය ඉතාම හොඳ පාපන්දු සමාජ අද අකාර්යක්ෂම වෙලා හෝ නැතිවෙලා ගොස් තිබෙනවා. ඔවුන් මේ තත්ත්වයට වැටී තිබෙන්නේ එක පුද්ගලයෙක් වටා පැවතුනු නිසායි. රත්නම් ක්‍රීඩා සමාජයටත් සිද්ධ වීගෙන යන්නේ එයයි. ඒකෙ හංගන්න දෙයක් නැහැ. අපි ඒ ක්‍රමයෙන් බැහැරව ගිහින් මේ සිස්ටම් එක හදන්න උත්සාහ කළ යුතුයි.”

 

මේ අනුව, ජෝර්ජ් ඔගස්ටීන් ගේ සභාපතිත්වයෙන් යුත් මැන්චෙස්ට පාපන්දු ඇකඩමිය ෆෙඩරේෂන් කුසලාන තරගාවලිය සඳහා අනුග්‍රාහකයින් සොයා ගැනීමට සමත්ව සිටින අතර රන් අනුග්‍රාහකයින් ලෙස Galaxy Lanka Carz සහ MI. Lanka (Pvt) Ltd. ආයතන ද, රිදී අනුග්‍රාහකයා ලෙස Bridal Fabrics ද, තරගාවලියේ හවුල්කරුවන් ලෙස Petta Computers, Mathale Transport, Beldon හා Startell Gadgets (Pvt) Ltd. ද ඉදිරිපත්ව සිටිනවා.

 

දුර පළාත්වල ඇකඩමි මේ තරගාවලියට සහභාගි වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ජස්වර් උමාර් මෙසේ කරුණු පැහැදිලි කළා: “එතන ඒගොල්ලන්ගේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි, අපි සම්මේලනයක් හැටියට වගකීම බාර අරගෙන තියෙනවා ඒ ප්‍රදේශවල මේ ආකාරයේ තරගාවලියන් පවත්වන්න. ලබන මාසයේ සිට නගර 55ක මේ විදියට අලංකාර ලෙස තරගාවලියන් පවත්වනවා.”

 

ජාතික පාපන්දු කණ්ඩායමේ ඉලක්කයන් හා ඉදිරි සැලසුම් පිළිබඳවත් ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා මෙහිදී කරුණු දක්වා සිටියා.

 

“අවුරුදු දෙක තුනක් තිස්සේ අපේ තිබුණු ඉලක්කයක් තමයි සාෆ් කුසලානය නැවත දිනා ගැනීම. ඒ වෙනුවෙන් ස්ථාවර අඩිතාලමක් දමා තිබෙනවා. නොවැම්බර් 4 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වනවා සාෆ් තරගාවලිය. ඊට පෙර එකම ජාත්‍යන්තර අවස්ථාව තියෙන්නේ සැප්තැම්බර් හා ඔක්තෝබරයේ. දැනටමත් අපේ කණ්ඩායම සීෂෙල්ස් ගොස් තිබෙනවා. ලබන 27 හා 30 දිනවල සීෂෙල්ස් සමග තරග දෙකකුත්, ඔක්තෝබර් 3 හා 5 දිනවල මොරිෂස් රාජ්‍යය සමග තරග දෙකකුත් වශයෙන් තරග හතරකට අපි සහභාගි වෙනවා. අපේ ජාතික කණ්ඩායම අවසන් වශයෙන් සූදානම් කරන තරගයි මේ. ඊට සති තුනකට පසුව සාෆ් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වසර 31කට පසුව ඒ කුසලානය යළි ශ්‍රී ලංකාවට ගෙන එයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා!”

 

ශ්‍රී ලංකා පාපන්දුවේ ධනාත්මක නැගිටීම

 

“ශ්‍රී ලංකා පාපන්දුව පසුගිය දෙවසර තුළ ඉතාමත් කැපී පෙනෙන හා ධනාත්මක අයුරින් ඉහළ නැග තිබීම මධ්‍යයේ ෆෙඩරේෂන් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඉතාමත් වැදගත් වනවා. අපේ ලෝක ශ්‍රේණිගත කිරීම ඉහළ නැග ති‌බෙනවා. අපි තරග බොහොමයක් දිනා ගෙන තිබෙනවා. අපේ කණ්ඩායම ශක්තිමත්ව සිටිනවා. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සුවිශේෂී සලකුණක් බවට පත්ව තිබෙන්නේ සමාජයේ කතාබහට ලක්වෙමින්. ඒ අතරම ඊළඟ පරම්පරාවත් ගොඩනැගීම අපේ වගකීම වී තිබෙනවා. ඒ නිසා දේශීය පාපන්දුව හා විශේෂයෙන් යොවුන් පාපන්දුව ගොඩනැගීමේදී මේ තරගාවලිය ඉතාමත් වැදගත් වනවා.”

 

“ෆෙඩරේෂන් කුසලානයෙන් ඔබ්බට යාමේදී ඊළඟ මාසය තුළ අපේ අවධානය යොමු වන්නේ අවුරුදු 14න් පහළ, 16න් පහළ හා 19න් පහළ තරුණ තරගාවලියන් කෙරෙහියි. අවුරුදු 14න් පහළ බාලිකා තරගාවලියක් ද ආරම්භ කිරීමට අපට උවමනා වී තිබෙනවා. මෙහි ඉලක්කයවී තිබෙන්නේ ලබන වසරේ පැවැත්වෙන FIFA අවුරුදු 15න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියයි.”

 

ක්‍රීඩා දිවියක් නියමාකාර ලෙස ආරම්භ වන පදනම පාපන්දු ඇකඩමිය වන බැවින් මේ ආයතන ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව උමාර් මහතා කියනවා. “එතැනින් තමයි සිහින ඇරඹෙන්නේත්, කුසලතා ආරම්භ වන්නේත්, නිපුණත්වය පටන් ගන්නේත්. ඒ නිසා ඇකඩමි විසින් නිවැරදි දේවල් කිරීමත්, නියම පුහුණුවක් ක්‍රීඩකයින්ට ලබා දීමත් වැදගත් වනවා. එය සාර්ථක කර ගැනීම සඳහා අපි විවිධ අයුරින් ඇකඩමිවලට සහාය ලබා දෙනවා. ඒ අනුව අපි සියලුම ඇකඩමි නියාමනය කරමින් ඒවා වර්ග තුනක් යටතේ ලියාපදිංචි කරනවා. Football Passport ලෙසින් අපි හඳුන්වන ජාතික ජාලකයේ මේ ඇකඩමි ක්‍රීඩකයින් ලියාපදිංචි විය යුතුයි” ජස්වර් උමාර් වැඩි දුරටත් සඳහන් කරනවා.

 

 

warnan Gunasekara (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්