leader s

වෙනත් අයෙකු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවරිය නොහැකි බව අධිකරණය පෙන්වා දෙයි  


අභියාචනාධිකරණයේ රිට් අයදුම්පතක් තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරේ  


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 25) අවසර ලබා දුන්නේය. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම, ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය නියෝග කළේය.  

මෙම පෙත්සම සලකා බලන ලද්දේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.  

නීතිපති පාර්ශ්වයෙන් මතු වූ මූලික විරෝධතා  

පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මූලික විරෝධතා මතු කළේය. වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීත්‍යනුකූල අයිතියක් (Locus Standi) නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේය.  

එසේම, අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ දැනටමත් රිට් ආඥා පෙත්සමක් විභාග වෙමින් පවතින බවත්, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබා ඇති පසුබිමක මෙවැනි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවත්වාගෙන යා නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැන්වීය. ඊට අමතරව, පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නීතිමය වලංගුභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව යටතේ මෙලෙස අභියෝගයට ලක්කිරීමේ නොහැකියාව ද නීතිපති පාර්ශ්වය විසින් මතු කරන ලදී. 

විනිසුරු මඩුල්ලේ නිරීක්ෂණ හා නෛතික තත්ත්වය  

මෙහිදී පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අදාළ අත්අඩංගුවට ගැනීම තුළින් පෙත්සම්කරුගේ පෞද්ගලික මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේදැයි විමසා සිටියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැරදි ලෙස යොදාගැනීමෙන් පුරවැසියෙකු ලෙස තමන්ගේ ද අයිතිවාසිකම් කඩවන බවත්, මෙය මහජන ශුභසාධන නඩුකරයක් (Public Interest Litigation) ලෙස ගොනු කළ බවත් පෙත්සම්කරු ප්‍රකාශ කළේය.  

එම තර්කය පිළිබඳ කරුණු පැහැදිලි කළ විනිසුරු අචල වෙංගප්පුලි, ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ මහජන ශුභසාධන නඩුකර පිළිගැනීමේ හැකියාව ඇත්තේ අතිශය සීමිත අවස්ථාවලදී පමණක් බවත්, තමන්ට පෞද්ගලිකව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් නොමැති විටෙක වෙනත් අයෙකු වෙනුවෙන් නඩු පැවරිය නොහැකි බවත් පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම අදාළ පාර්ශ්වය දැනටමත් වෙනත් අධිකරණයක පිහිට පතා ඇති පසුබිමක මෙම පෙත්සමට මැදිහත් වීමේ හැකියාවක් නොමැති බව විනිසුරුවරයා අවධාරණය කළේය.  

පෙත්සම ඉල්ලා අස්කර ගැනීම  

පෙත්සම්කාර විශ්‍රාමික හමුදා නිලධාරියා යුද සමයේ රට වෙනුවෙන් කළ සේවය විනිසුරු මඩුල්ලේ ඇගයීමට ලක්වූ අතර, ඔහු නීතිඥවරයෙකු නොවන බැවින් පවතින නීතිමය සීමාවන් නිසි ලෙස වටහා ගැනීමේ වැදගත්කම අධිකරණය විසින් පෙන්වා දෙන ලදී.  

අධිකරණය හමුවේ මතු වූ නීතිමය කරුණු සැලකිල්ලට ගත් පෙත්සම්කරු, අදාළ පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙන නොගොස් ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්