නාමල් රිමාන්ඩ් කිරීම ගැන කළ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්දැයි සොයන්න විමර්ශන ඇරඹේ.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් පසු අතිරේක මහේස්ත්‍රාත් හමුවේ කරුණු දැක්වීමක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ලබාදුන් නියෝගයක් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකදී විවේචනය කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැයි සොයා බැලීමට ආරම්භ කළ විමර්ශනයට අදාළව, අදාළ ප්‍රකාශයේ සියලු වීඩියෝ දර්ශන පොලිසිය වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මාධ්‍ය ආයතන හතකට නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉදිරියේ කරුණු දක්වමින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.
විමර්ශනයට පසුබිම් වූ කරුණු
ශ්‍රී ලන්කන් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවකු වන නාමල් රාජපක්ෂ ට ඇප ලබා නොදීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය පිළිබඳව ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් පළ කර තිබුණි.
එම ප්‍රකාශය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ගරුත්වයට හානියක් වී ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. ඒ සමඟ අදාළ කතාව ඇතුළත් සංයුක්ත තැටියක්ද (CD) අධිකරණය වෙත භාර දී තිබිණි. අධිකරණ පද්ධතියේ බලයට සහ මහජන විශ්වාසයට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින පොලිස්පතිවරයාට නියම කළේය.
2024 නව පනත යටතේ පරීක්ෂණ
පොලිස් නිලධාරීන් අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙන්වා දුන්නේ, මෙම ප්‍රකාශය හරහා 2024 අංක 8 දරන ‘අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ විනිශ්චය ආයතනයකට අපහාසය කිරීම වැළැක්වීමේ පනත’ යටතේ වරදක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යන බවයි.
ඒ අනුව අදාළ රැලිය වාර්තා කළ විකාශන මාධ්‍ය ආයතන සතු සංස්කරණය කරන ලද සහ නොකරන ලද සියලු වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා, එම දර්ශන විමර්ශන නිලධාරීන්ට ලබා දීමට නියෝග කරමින් විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළේය.







