ඩොලර් මිලියන 347ක වාරිකය වෙනුවෙන් පැවති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව කල්යයි; සංවර්ධන වියදම් කපාහැර පෙන්වන අයවැය අතිරික්තය රටේ අනාගත වර්ධනයට මරු පහරක් බවට අනතුරු ඇඟවීමක්.
Fitch ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළ ගියද ණය බර තවමත් අනතුරුදායක මට්ටමක; 2027න් පසු ජනප්‍රිය තීරණ ගෙන රට යළිත් ආර්ථික අගාධයකට ඇද නොදමා විනයගරුක ගමනක රැඳී සිටීමේ අභියෝගය රජය හමුවේ.
ආර්ථිකය ස්ථාවරවීම පමණක් ප්‍රමාණවත්ද?
මෑත කාලයේදී එල්ල වූ දරුණු කම්පන දෙකක් වන දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය කඩා නොවැටී තවමත් ස්ථාවරව පවතී. එම ප්‍රකාශය සනාථ කරන නව සාක්ෂි දෙකක් මෙම සතියේ ඉදිරිපත් විය. සැප්තැම්බර් 22 වන දින, Fitch Ratings ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ නැංවීය. මෙය 2020 නොවැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාව එම ණය ශ්‍රේණිගත කිරීම ලබාගත් පළමු අවස්ථාව විය.

ඊට පසු දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායම, විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ සිදුකරන හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් කොළඹදී පැවැත්වූ සාකච්ඡා අවසන් කළේය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වූ පසුව පවා ආර්ථික ස්ථාවරත්වය ඉදිරියටත් පවත්වාගෙන යා හැකිද යන්න තීරණය වන්නේ අපගේ විදේශ සංචිත, බලශක්ති මිල ගණන් සහ රජයේ ආදායම් මාර්ග කොතරම් ශක්තිමත් ද යන්න මතය.
මෙම සංචාරයේ එකඟතා තවමත් අපේක්ෂිත මට්ටමක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පැපජෝර්ජියෝ ප්‍රමුඛ නියෝජිත පිරිසක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා කොළඹ රැඳෙමින් බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටියි. එම සාකච්ඡාවල මූලික අරමුණ වන්නේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ හත්වන සමාලෝචනයත්, 2026 වසර සඳහා වූ IV වන වගන්තියේ උපදේශනය පිළිබඳවත් සමාලෝචනය කිරීමයි. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකින් තොරව මෙම සංචාරය සැප්තැම්බර් 23 වන දින අවසන් විය. සාකච්ඡා ඉදිරි කාලය තුළත් අඛණ්ඩව පැවැත්වෙන අතර, හත්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වයම මේ වන විට ඔක්තෝබර් මාසය පමණ ඉලක්ක කරගෙන සිටී.
ගෝලීය තෙල් මිල කම්පනය හේතුවෙන් අගෝස්තු මාසයේදී මූලික උද්ධමනය වසරින් වසර 8% දක්වා ඉහළ ගියද, අඛණ්ඩව කාර්තු එකොළහක වර්ධනයක් පෙන්නුම් කරමින්, ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඔරොත්තු දෙන බව IMF විස්තර කළේය. අරමුදල විසින් සාමාන්‍යයෙන් හඳුනාගන්නා අහිතකර අවදානම් කිහිපයක් ද පෙන්වා දෙන ලදී. ඒවා අතර මැද පෙරදිග ගැටුමේ කාලසීමාව සහ තීව්‍රතාව, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තියේ වෙනස්කම් සහ එල් නීනෝ සංසිද්ධියේ දිගුකාලීන බලපෑම් ඇතුළත් වේ. අනාගතය දෙස බලන විට, එය ප්‍රමුඛතා තුනක් හඳුනා ගත්තේය: මධ්‍ය කාලීන ආදායම් උපාය මාර්ගය ශක්තිමත් කිරීම, බලශක්ති පිරිවැය යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීමයි.
2023 මාර්තු මාසයේ අනුමත වූ ඩොලර් බිලියන 3 ක පමණ වැඩසටහන යටතේ, මැයි 27 වැනිදා ඒකාබද්ධව සිදු කළ පස්වන සහ හයවන සමාලෝචන අවසන් කිරීමෙන් පසු ලංකාවට මේ වන විට ඩොලර් බිලියන 2.4 ක් පමණ ලැබී ඇත. ඉතිරි මුදල අවසන් සමාලෝචන දෙක අතර සමව බෙදෙන අතර, හත්වන සමාලෝචනය සම්පූර්ණ කළහොත් ඩොලර් මිලියන 347 ක වාරිකයක් අපට හිමි වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා වැඩසටහන

2025 දී ලංකාවේ ආර්ථිකය දෙවන වසරටත් 5% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4% ක් වූ අතර, සමස්ත අයවැය හිඟය 2.3% දක්වා අඩු විය. එහෙත් 2025 නොවැම්බර් අග දිට්වා සුළි කුණාටුව නිසා කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම්වලට ඩොලර් බිලියන 4.1 ක පමණ සෘජු භෞතික හානියක් සිදු වූයේ යැයි ගණන් බලා තිබේ. අනතුරුව අපිට එල්ල වූ කම්පනය වන්නේ, පෙබරවාරි 28 වැනිදා ඇරැඹි මැද පෙරදිග යුද්ධය යි. 2022 අර්බුදයෙන් පසු ලංකාවට එල්ල වූ දරුණුතම බාහිර කම්පනය සුළි කුණාටුව නොව මැද පෙරදිග අර්බුදය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කරයි.
මේ තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලංකාවේ 2026 ආර්ථික වර්ධන අපේක්ෂාව 3% දක්වා පහත හෙළුවේ ය. රජය රුපියල් බිලියන 100 ක සහන පැකේජයක් හඳුන්වා දුන් අතර, ඉහළ යන උද්ධමනය සහ රුපියලේ අවප්‍රමාණය පාලනය කිරීමට මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75% දක්වා ඉහළ දැමීය.
එහෙත් 2026 වර්ෂය තුළ අපගේ ආර්ථික වර්ධන වේගයේ යම් පහළ යාමක් වාර්තා වෙමින් පවතී. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, 2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක් ලෙස වාර්තා වූ ආර්ථික වර්ධන වේගය, දෙවන කාර්තුව වන විට සියයට 4.2ක් දක්වා සියයට එකකට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇත. ආර්ථිකය වර්ධනය වෙමින් පැවතුණ ද, වර්ධනය වන වේගය පහල යාම අපගේ ඉදිරි වැඩසටහන්වලට සහ රටේ අනාගත ආර්ථික දේහයට අහිතකරව බලපානු ඇත.
ඇති වූ ආර්ථික කම්පන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් සහනශීලිභාවයක් තමන්ගේ වැඩසටහන් සහ එකඟතාවයන්වලදී දැක්වුවත්, යම් යම් වාර්තාවලින් හෙළිවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ජනාධිපතිත්වරයා සහ රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර දැනට පවතින සාකච්ඡා වල යම් යම් ගැටලු පැන නැගී ඇති බවයි. විදේශ ගෙවීම් හිඟයන් ඇති නොකිරීම සහ ආනයන සීමා පැනවීමෙන් වැළකී සිටීම යන නිර්ණායක දෙකම ලංකාව උල්ලංඝනය කළ බව මැයි 27 වැනිදා විධායක මණ්ඩලය අවධාරණය කළේය. සයිබර් අපරාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5 ක් අහිමි වීමෙන් පළමු නිර්ණායකය උල්ලංඝනය වූ අතර, මැයි 16 සිට වාහන ආනයන මත 50% ක අධිභාරයක් පැනවීමෙන් දෙවෙනි නිර්ණායකය ද උල්ලංඝනය වුණි.
හත්වන සමාලෝචනයෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
මෙම සමාලෝචනය පදනම් වන්නේ 2026 ජුනි අග ඉලක්ක මතය. පසුගිය සමාලෝචනයේදී, සුළි කුණාටු ප්‍රතිසංස්කරණ වියදම් නිසා ප්‍රාථමික ශේෂයේ අවම සීමාව ද, යුද්ධයේ බලපෑම නිසා ශුද්ධ ජාත්‍යන්තර සංචිත (NIR) ඉලක්කය ද පහළ දමන ලදී. එහෙත් බදු ආදායම් ඉලක්ක තවදුරටත් දැඩි කෙරිණි. සමස්ත ඉලක්කය වන්නේ මෙම වසරේ ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.4% ක් ලෙස පවත්වා ගෙන, 2027 සිට එය නැවත 2.3% දක්වා ඉහළ නැංවීමයි.
රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය: ගමන හොඳයි, ප්‍රවේශමෙන්

වසරේ පළමු අර්ධයේ රුපියල් ට්‍රිලියන 1.24 ක අයවැයෙහි ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වූයේ පෙර වසරට වඩා 44.8% ක වර්ධනයකිනි. බදු ආදායම 25.9% කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.71 ක් වූ අතර, එය මුළු වසරේ ඉලක්කයෙන් දැනටමත් 55.2% කි.
මෙහිදී කරුණු දෙකක් ගැන ප්‍රවේශම් විය යුතුය. පළමුවැන්න කාලයයි. 2026 මුළු වසර සඳහා IMF හි ප්‍රාථමික අතිරික්ත ඉලක්කය රුපියල් බිලියන 509 ක් වුවත්, මුල් මාස හය තුළම එය මෙන් දෙගුණයකටත් වඩා වාර්තා වී ඇත. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ රජය ප්‍රමාණවත් ලෙස වියදම් නොකිරීමයි. ජුනි මුල වන විට රුපියල් බිලියන 1,380 ක ප්‍රාග්ධන අයවැයෙන් භාවිත කර තිබුණේ 17.4% ක් පමණි. එබැවින් මෙම අතිරික්තයෙන් කොටසක් සැබෑ ඉතිරිකිරීමක් නොව, වියදම් කල් දැමීමකි.
දෙවැන්න ආදායමේ සංයුතියයි. 2025 දී රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් වූයේ මූලික වශයෙන් මෝටර් රථ ආනයන මත අය කළ බදු නිසාය. එම ආනයන රැල්ල දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බැවින්, 2026 දී බදු ආදායම 14.0% දක්වා පහත වැටෙනු ඇතැයි පැවසේ. හදිසි ආනයන රැල්ලක් මත පිහිටි ආදායම් පදනමකින් 2.3% ක ප්‍රාථමික අතිරික්තයක් අඛණ්ඩව පවත්වා ගත නොහැක.
බාහිර අංශය: සංචිත තවමත් අවදානම් මට්ටමේ
2026 අගෝස්තු අග වන විට ලංකාවේ නිල සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගියේය. එහෙත් මෙම අගයට, භාවිතයට ගත නොහැකි චීන හුවමාරු (swap) පහසුකම ද ඇතුළත් ය. 2026 අවසානය වන විට සංචිත ඩොලර් බිලියන 8.645 ක් විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන අතර 2027 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.779 ක් අපේක්ෂා කරයි.
මෙම ඉලක්ක සපුරා ගැනීම අතිශය අසීරු තත්ත්වයක් බව සිහිපත් කිරීමට කැමැත්තෙමි. එවිට අපගේ ණය තිරසරභාවය ද බරපතළ ලෙස අර්බුදයට ලක් කරයි. මෙවැනි පසුබිමක් තුළ ණය ආපසු ගෙවීමේ අවිනිශ්චිතතාවය ඉහළ බැවින් ණය තිරසරභාවයේ අවදානම ඉහළ මට්ටමක පවතින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම ප්‍රකාශ කරයි.
ණය ශ්‍රේණිගත කිරීමේ ඉහළ යාමක්, නමුත් එය සම්පූර්ණ තහවුරු කිරීමක් නොවේ
සැප්තැම්බර් 22 වන දින Fitch Ratings ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන නිකුත්කරු පැහැරහැරීමේ ණය ශ්‍රේණිගත කිරීම (Long-Term Issuer Default Rating) ‘CCC+’ සිට ‘B’ දක්වා ඉහළ නංවා, ස්ථාවර ඉදිරි දැක්මක් (Stable Outlook) ලබා දුන්නේය. 2020 නොවැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාව මෙම ණය ශ්‍රේණිගත කිරීම ලබාගත් පළමු අවස්ථාව මෙයයි. Fitch ආයතනය සඳහන් කළේ අඛණ්ඩව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ස්ථායීකරණ ප්‍රතිපත්ති සහ බාහිර මූල්‍යකරණ අවදානම් අඩු කිරීමට උපකාර වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මේ සඳහා බලපා ඇති බවයි. රාජ්‍ය මූල්‍ය හා බාහිර ගිණුම්වල සිදුවූ වැඩිදියුණු කිරීම් මෙන්ම සංචිත මධ්‍යස්ථ මට්ටමකින් නැවත ගොඩනැගීමද ප්‍රධාන සාධක ලෙස සඳහන් කර ඇත.
රාජ්‍ය මූල්‍ය අංශය සම්බන්ධයෙන්, Fitch ආයතනය 2026 වසරේදී රජයේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 92.9% දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කරයි. එය පෙර වසරේ 96.7%ක් විය. ආදායමට සාපේක්ෂ පොලී ගෙවීම් අනුපාතයද 45.6% සිට 41.0% දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේවා සැබෑ වැඩිදියුණු කිරීම් වේ. නමුත් මෙහි සන්දර්භයද වැදගත් වේ.
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 92.9%ක ණය අනුපාතය තවමත් ‘B’ ශ්‍රේණිගත කළ ස්වෛරී රාජ්‍යයන් සඳහා වන 54.7%ක මධ්‍ය අගයට වඩා බෙහෙවින් ඉහළය. ආදායමට සාපේක්ෂව 41.0%ක පොලී ගෙවීම් අනුපාතය සමකාලීන රටවල 12.7%ක මධ්‍ය අගයට ආසන්න වශයෙන් තුන් ගුණයකි. එම වෙනස ඕනෑම නිරීක්ෂකයෙකුගේ අවධානයට ලක්විය යුතු කරුණකි. බාහිර අංශය සම්බන්ධයෙන්, 2026 වසරේදී ජංගම ගිණුම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2%ක හිඟයකට පත්වනු ඇතැයි Fitch අපේක්ෂා කරයි. මෙය අඛණ්ඩව වසර තුනක් පැවති අතිරික්ත තත්ත්වය ආපසු හැරවීමකි. මැද පෙරදිග ගැටුම සමඟ සෘජුවම සම්බන්ධ ඉහළ බලශක්ති මිල ගණන් මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකේ.
රජය නිසි ලෙස මුහුණ නොදෙන අභියෝග

රනිල් වික්‍රමසිංහගේ රජය ලබාගත් පරිදිම ආර්ථික ස්ථාවරත්වය වත්මන් ආණ්ඩුව ද ලබා ගෙන ඇත. එහෙත් සැබෑ ආර්ථික පරිවර්තනයක් සිදු වී නොමැත. එම හිඩැසට වගකිව යුත්තේ පැහැදිලි ප්‍රතිපත්තිමය අසාර්ථකවීම් කිහිපයකි.
පළමු අසාර්ථකත්වය පෙන්නුම් කරනුයේ රජයේ ආදායමේ පවතින අවිනිශ්චිතතාවයයි. 2025 වර්ෂයේ රජයේ ආදායම් වර්ධනය සම්පූර්ණයෙන්ම රඳා පැවතියේ වාහන ආනයන බදු මතය. තිරසර රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට යෝග්‍ය පරිදි රාජ්‍ය ආදායම් මූලාශ්‍ර හඳුන්වා දීමට තවමත් අපි අපොහොසත් වී ඇත. වැට් (VAT) අනුකූලතා හිඩැස් තවමත් පවතී, දේපළ බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ එකඟතාවක් නොමැත, බදු දැල තවමත් පටුය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන රජය මහත් උජාරුවෙන් ප්‍රකාශ කරනුයේ රජය අයවැය අතිරික්තයක් ඇතිකරගෙන ඇති බවයි. එම අතිරික්ත අයවැය ආර්ථික ක්‍රියාකාරකම් සංකෝචනය කරන ආකාරය පිළිබඳ අවබෝධයක් වර්තමාන රජයට නොමැති බව පෙනේ. අයවැය අතිරික්තය වාර්තා කර ගන්නේ ප්‍රාග්ධන වියදම් කැපකිරීමෙන් නම් එය රටේ අනාගත ආර්ථික වෘද්ධිය අඩපණ කිරීමකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ ලෙසට බලශක්ති මිල ගණන්වල ගැලපුම් සිදුවීමක් දක්නට නොලැබේ. බලශක්ති මිල ගණන් තවමත් දේශපාලනීකරණය වී ඇත. සැප්තැම්බර් අග වන විට ඉන්ධන සහනාධාර ඉවත් කරන බවට ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව පොරොන්දු වී තිබුණි. මා සිතන පරිදි එම පොරොන්දුව මතක් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආණ්ඩුව සමඟ සාකච්ඡා කරනු ඇත.
දැනට පනවා ඇති ආනයන අධිභාරය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ පරස්පරතාවක් පෙන්නුම් කරයි. වාහන මත පනවා ඇති 50% ක අධිභාරය මාස තුනකට පමණක් සීමා කරන බව පවසමින් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් සහනයක් ඉල්ලා සිටිය ද, දැන් එය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත. මෙය අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකයක් සෘජුවම උල්ලංඝනය කිරීමකි.
මෙම සංචාරයේ වැදගත්කම
හත්වන සමාලෝචනය අසාර්ථක වීමෙන් හෝ ප්‍රමාද වීමෙන් අහිමි වන්නේ ඩොලර් මිලියන 347 ක වාරිකය පමණක් නොවේ. වඩා වැදගත් වන්නේ, මූල්‍ය වෙළඳපොළට නැවත පිවිසීමට වඩාත්ම අවශ්‍ය මොහොතක සිදුවන එවැනි පසුබෑමකින් ඉදිරි ආර්ථික ස්ථායිතාවයට, ණය ගෙවීමේ හැකියාව දුර්වල කිරීමට මෙන්ම වර්ධනයට බරපතළ ගැටලු මතු කරන බැවිනි.

දැනට සිදුවන සාකච්ඡා දෙස බලා සිටින මට පැවසීමට හැකි වන්නේ මෙම සමාලෝචනයේ වඩාත්ම විය හැකි ප්‍රතිඵලය කොන්දේසි සහිත සමත්වීමකි. පෙර එකඟතාවන්වලට පැමිණීමේදී අපේක්ෂා නොකළ කම්පනයන්ට මුහුණ දී සිටිය ද රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ඇති බව පෙන්වමින් පාසල් සිසුන්ගේ ප්‍රගති වාර්තාවල ලියන පරිදි ප්‍රගතිය සතුටුදායකයි, තවත් උනන්දු වන්න වැනි සහතිකයක් අපට ලැබීමට ඉඩ ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ වැඩසටහන අවසන් වූ පසුවත් මෙම ප්‍රතිසංස්කරණ රැඳී පවතිනු ඇති ද යන්න පිළිබඳව මට ඇත්තේ සැකයකි. ආර්ථිකය ස්ථාවර කිරීම පහසුය. එය දිගු කාලීන ආර්ථික වර්ධනයක් දක්වා පරිවර්තනයට අවශ්‍ය වන්නේ දේශපාලන අධිෂ්ඨානයකි.
තවත් IMF වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක වේද යන්න වෙනමම කරුණකි. එම තීරණය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජයට (GoSL) භාර දී ඇති බව IMF පවසයි. රජය නව වැඩසටහනක් ඉල්ලා තිබේදැයි පැපජියෝර්ජියෝ මහතාගෙන් සෘජුවම විමසන ලදී. ඔහු සඳහන් කළේ එම තේරීම රජය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු සහ නව වැඩසටහනක් අවශ්‍ය බවට රජය තීරණය කරන්නේද යන්න මත රඳා පවතින බවයි. විධිමත් වැඩසටහනක් නොමැති වුවද, මූල්‍ය අංශය පිළිබඳ ඇගයීම් වැනි ක්‍රම හරහා සාමාජික රටවලට සහාය වීමට අරමුදලට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කළේය.
මගේ අදහසට අනුව, තේරීම පහසු එකක් විය යුතුය. අපගේ ආර්ථික ප්‍රකෘතිමත් වීම තවමත් බිඳෙනසුලු තත්ත්වයක පවතී. ආර්ථිකය තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වී නොමැති අතර, ප්‍රධාන දර්ශක කිහිපයක්ම 2018ට පෙර පැවති මට්ටම්වලට වඩා තවමත් පහළින් පවතී. එහෙත්, වර්තමානයේ දක්නට ලැබෙන වැඩිදියුණු වන සංඛ්‍යාලේඛන සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතිමත් වීමක් පිළිබඳ සාක්ෂියක් ලෙස රජය අර්ථකථනය කළ හැකිය. තාවකාලික සහනයක් පමණක් විය හැකි තත්ත්වයක් මත පදනම්ව වැඩසටහනක් මගින් පනවන විනයගරුක රාමුවෙන් ඉවත් වුවහොත්, මූලික ආර්ථික ගැටලුව නැවත මතු වීමට ඉඩ ඇත.එමෙන්ම, එය පෙරට වඩා බරපතළ ලෙස ආර්ථිකයට බලපෑම් කිරීමටද ඉඩ ඇත.
ප්‍රතිසංස්කරණ ගැන කොතරම් කතා කළත්, වත්මන් රජය තවමත් ඒ සඳහා ඇති තම කැපවීම සහ අධිෂ්ඨානය ප්‍රායෝගිකව පෙන්වා නැත. 2027 වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලින් මිදී ජනප්‍රිය තීරණ ගනිමින් මැතිවරණ කරා ළඟා වීමට ආණ්ඩුව සූදානම් වීමේ ඉඩකඩක් පවතින බවට හැඟීමක් අප අතර ජනිත වන්නේ එබැවිනි. එසේ නොවන්නේ නම් විපක්ෂ නායකතුමා පෙන්වා දෙන පරිදි 2027න් පසුව නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අනුප්‍රාප්තික ගිවිසුමකට ගොස් දිගු කාලීන ආර්ථික ගමන්මග යහපත් කරගන්නවා ද යන තේරීම රට හමුවේ ඇත.
(සටහන | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා)
අංශාධිපති,
ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය







