leader s

*වත්මන් විස්තීරණ ණය ගිවිසුම නියමිත කාලයේදී අවසන් කර සාමාන්‍ය ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේ සූදානමක්


*ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇතැම් කොන්දේසි නිසා ආර්ථික වර්ධනයේ වාසිය ජනතාවට දීමට ඇති ඉඩකඩ සීමාවන බවට අමාත්‍ය බිමල්ගෙන් කරුණු දැක්වීමක්



ගිවිසුම අවසන් වූ පසු සාමාන්‍ය ගනුදෙනු ඉදිරියට

වත්මන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන නියමිත පරිදි වසර හතරක කාලය සම්පූර්ණ වීමෙන් පසුව, එනම් 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.  

ස්වර්ණවාහිනියේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් වැඩසටහන අවසන් වීමෙන් පසු ණය ප්‍රතිසංවිධානය සඳහා තවත් අලුත් IMF වැඩසටහනකට එළැඹීමේ අවශ්‍යතාවක් රජය මේ මොහොතේ නොදකින බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථික පද්ධතිය තුළ ක්‍රියාත්මක වන රටක් බැවින් IMF සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ රටට ගැළපෙන ආකාරයෙන් සාමාන්‍ය මට්ටමේ මූල්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ඉදිරියටත් පවත්වාගෙන යන බව ද ඔහු පැහැදිලි කළේය.

ණය කොන්දේසි සහ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ

පසුගිය රජය සමයේදී එකඟ වූ ණය ප්‍රතිසංවිධාන කොන්දේසිවල පවතින ඇතැම් ක්‍රමවේද පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය. විශේෂයෙන්ම රටේ ආර්ථිකය වර්ධනය වන විට ඇතැම් පාර්ශ්වයන්ට ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය ඉහළ යන ආකාරයේ කොන්දේසි ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් ඔහු අවධානය යොමු කළේය.

එවැනි කොන්දේසි හේතුවෙන් ආර්ථිකය වර්ධනය කරගැනීමෙන් ලැබෙන සැබෑ ප්‍රතිලාභ සහ සහන රටේ ජනතාව වෙත සෘජුව ලබාදීමට රජයට ඇති මූල්‍ය ශක්තිය සීමා විය හැකි බව පෙන්වා දුන් අමාත්‍ය රත්නායක, එම තත්ත්වයන් මඟහරවා ගනිමින් ජනතාවට සහන සැලසීම සඳහා මූල්‍ය වෙළෙඳපොළ තුළ භාවිත කළ හැකි වෙනත් විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව රජය සොයා බලමින් සිටින බවද පැවසීය. එමෙන්ම ඉදිරි වසර ගණනාව තුළ රට පවතින ණය ගෙවීමේ වගකීම්වලට බැඳී සිටින යථාර්ථය ද ඔහු පිළිගත්තේය.

ඉදිරි ගමන තීරණය කරන්නේ රජයයි

2023 මාර්තු 20 වන දින අනුමත වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න වසර හතරක විස්තීරණ ණය පහසුකම (EFF) 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ ඉදිරියට තවත් සමාලෝචන දෙකක් ඉතිරිව පවතී.

මේ අතර, පසුගිය සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සිදුකළ නිල සංචාරයෙන් අනතුරුව අදහස් දැක්වූ IMF හි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු (Evan Papageorgiou) ප්‍රකාශ කර තිබුණේ, වත්මන් වැඩසටහනෙන් පසු තවත් ඉදිරි වැඩසටහනක් ඉල්ලා සිටින්නේද නැද්ද යන්න තීරණය කිරීම මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු තීරණයක් බවයි. සත්වැනි සමාලෝචනය නිම කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපත්ති සහ රාමුව සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා ඉදිරි කෙටි කාලය තුළදී තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්