ශ්‍රී ලංකා රේගුව විසින් දෙමළ භාෂාවෙන් රචිත ග්‍රන්ථ ද්විත්වයක් දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගැනීම එම කතුවරයාගේ මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වැදගත් තීන්දුවක් ලබා දී ඇත.
සාහිත්‍යයට බිය වීම
ඉන්දියාවේ චෙන්නායි හිදී මුද්‍රණය කර මෙරටට ගෙන්වන ලද පොත් 288 කින් යුත් තොගයක් "ජාතික සහජීවනයට හානි විය හැකිය" යන චෝදනාව මත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, මෙලෙස අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්තේ කිලිනොච්චියේ පදිංචි කතුවර B. පිරදීපන් ගේ ය.(B.Piratheepan)
ආන්දෝලනයට ලක්වූ මෙම පොත් තොගයට මාතෘකා හතරකින් යුතු කෘති ඇතුළත් විය: 'Ippothum Inge Irandu Thesangalthaan', 'Elluttal Nan Yuttam Ceykiren', 'Bayangaravaathi', සහ 'Cyanide'. ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් 'Bayangaravaathi' සහ 'Cyanide' යන කෘති ප්‍රබන්ධ සාහිත්‍ය නිර්මාණ ලෙස වර්ගීකරණය කිරීමෙන් පසුව මුදාහැරීමට කටයුතු කළ ද, 'Ippothum Inge Irandu Thesangalthaan' කෘතියේ පිටපත් 75 ක් සහ 'Elluttal Nan Yuttam Ceykiren' කෘතියේ පිටපත් 147 ක් තවදුරටත් රඳවා තබා ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

වගවීමක් නැතිකම
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු L.T.B. දෙහිදෙනිය ගේ සභාපතිත්වයෙන් පැවැති මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයේදී අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම පැහැදිලි බලප්‍රදේශයක් (Jurisdiction) තහවුරු කර නොගෙන වගකීම එකිනෙකා වෙත පවරා ගනිමින් සිටි බවයි.
රාජ්‍ය ආයතන තුළ දෙමළ භාෂා ප්‍රවීණතාවක් නොමැතිකම සහ පොතක කවරයේ සඳහන් කර තිබූ බෙදා වෙන්කළ ශ්‍රී ලංකා සිතියමක් පිළිබඳව ඇතිවූ ආයතනික බිය මෙම මුල් අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව කොමිෂන් සභාව නිරීක්ෂණය කළේ ය.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස
තම නෛතික විග්‍රහයේ දී මානව හිමිකම් කොමිසම පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව මගින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස සහතික කර ඇති බවත්, එමගින් රජය හෝ මහජනතාව කළඹන සුළු, අසාමාන්‍ය, මවිත කරවන සුළු හෝ ආන්දෝලනාත්මක අදහස් පවා පැහැදිලිවම ආරක්ෂා වන බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු උපුටා දක්වමින් කොමිෂන් සභාව අවධාරණය කළේ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ පුද්ගල වරද, චේතනාව සහ හේතුකාරක බව යන අවශ්‍ය නෛතික සීමාවන් ඔප්පු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.
අපහාස නීතිය අහෝසියි : රේගුවට බලයක් නෑ
තවද, 2002 වසරේදී ශ්‍රී ලංකාවෙන් අපරාධමය අපහාස නීතිය (Criminal defamation) අහෝසි කර ඇති බැවින්, රාජ්‍ය නිලධාරීන්ට හෝ ආයතනවලට අපහාස වන ප්‍රකාශ ඇතුළත් යැයි කියමින් පොත්පත් අත්අඩංගුවට ගැනීමට රේගුවට කිසිදු බලයක් නොමැති බවද කොමිෂන් සභාව පැහැදිලි කළේ ය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අමතරව, මෙලෙස හිතුමනාපෙට දීර්ඝ කාලයක් තිස්සේ පොත්පත් රඳවා තබා ගැනීම 12(2) ව්‍යවස්ථාව යටතේ භාෂාව මත පදනම් වූ නීති විරෝධී තෝරා බේරා ගැනීමක් (තක්සේරු කිරීමක්), 12(1) ව්‍යවස්ථාව යටතේ නීතිය ඉදිරියේ සමානතාව උල්ලංඝනය කිරීමක් සහ 14(1)(එෆ්) ව්‍යවස්ථාව යටතේ කතුවරයාට තම සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට හා මව්භාෂාව භාවිත කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කළේ ය.
සියලු පිටපත් නිදහස් කරන්න
ඊට අනුකූලව, අත්අඩංගුවේ තබාගෙන සිටින අදාළ ග්‍රන්ථ ද්විත්වයේ සියලුම පිටපත් වහාම මුදාහැරීමට පියවර ගන්නා ලෙසත්, ඒ පිළිබඳ නිල නිරීක්ෂණ වාර්තාව 2026 දෙසැම්බර් 02 වන දිනට පෙර ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.
මෙහිදී පැමිණිලිකාර කතුවරයා වෙනුවෙන් නීතිඥ නඩරාජා කන්දීපන්, ආචාර්ය විරංජන් හේරත් සහ නීතිඥ එච්. තමිලවාල් කන්දීපන් පෙනී සිටියහ.
සිංහල පරිවර්තනය කථිකාචාර්ය අනූෂා සිවලිංගම්
anusha@spc.cmb.ac.lk
පුවතට අදාළ තවත් විස්තර:
HRCSL Issues Recommendation on Seizure of Four Books by B. Piratheepan by Sri Lanka Customs



