ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන තේ වගාවට සියවස් ගණනක් දහදිය වැගිරූ මලය කඳුරට දෙමළ ජනතාවගේ ඉඩම් හා නිවාස ප්රශ්නය විසඳනු වෙනුවට වතුකරයේ ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීමේ ගිය ආණ්ඩුවේ යෝජනාව වත්මන් ආණ්ඩුව විසින්ද දිගටම ක්‍රියාත්මක කිරීමට එරෙහිව කඳුකරයේ සිට කොළඹ පැමිණි ක්‍රියාධරයන්ගේ සහභාගිත්වයෙන් අගනුවර විරෝධතාවක් දියත් කර තිබේ.
මලෛයහ සිවිල් සමාජ එකමුතුව විසින් බත්තරමුල්ල, වතු සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඉදිරිපිටදී නොවැම්බර් 3 වැනි අගහරුවාදා දියත් කළ උද්ඝෝෂණයේදී වගකිවයුත්තන්ට බල කර සිටියේ මලෛයහ දෙමළ ප්‍රජාවට අභිමානවත් ජීවිතයක් සහතික කිරීම සඳහාත්, ඔවුන්ගේ ජීවනෝපායන්, ආර්ථික ප්‍රගතිය සහ සමාජ දියුණුව සුරක්ෂිත කිරීම සඳහාත්, ඉඩම් බෙදාහැරීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් සහ සාධාරණ ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙසයි.
'ඉඩම අපේ සංස්කෘතික අයිතියයි. ඉඩම අපේ සමාජීය අයිතියයි. රජයේ ඉඩම් ජනතාව සතු දේලපයි.' යනුවෙන් උද්ඝෝෂකයන් අත වු සිංහල බසින් ලියන ලද විරෝධතා පුවරුවල සදහන්ව තිබුනි.




කැබිනට් අනුමැතියට එරෙහිව නැගෙන කනස්සල්ල
ජනාධිපතිවරයා වෙතද පිටපතක් සහිතව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියක් මගින් විරෝධතාකරුවන් අවධාරණය කර ඇත්තේ මලෛයහ දෙමළ ජනතාව පරම්පරා ගණනාවක් තිස්සේ වතුවල ජීවත්වන අතර, එම ජනතාවගෙන් බහුතරයක් තවමත් ඉඩම් අයිතිය, නිවාස අයිතිය සහ ප්‍රමාණවත් ජීවනෝපාය අවස්ථා නොමැතිව ජීවත්වන බවයි.
මෙවැනි තත්වයක් තුළ, ආණ්ඩුවෙන් පාලනය වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සහ ඇල්කඩුව වැවිලි සමාගම් යටතේ පවතින වගා කටයුතු සිදු නොකරන ඉඩම් පෞද්ගලික ආයෝජකයන්ට දිගුකාලීන බදු පදනම මත ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබීම සම්බන්ධයෙන් මලෛයහ සිවිල් සමාජ එකමුතුව කනස්සල්ලට පළ කර තිබේ.
වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට බලයට පත්වීමට පෙර සපත කළ වත්මන් ආණ්ඩුවත්, පසුගිය ආණ්ඩු සිදු කළ අයුරින්ම එකී පෞද්ගලීකරණ ක්‍රියාවලීන් ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ද මලෛයහ සිවිල් සමාජ එකමුතුව සිය ලිපිය මගින් බලවත් කනගාටුව ද දැනුම් දී ඇත.
2026 ඔක්තෝබර් 26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මගින් රජය නිවේදනය කර තිබුනේ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඉඩම් හා දේපළ 15ක් තෝරා ගත් ආයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවයි.
ඉහත සඳහන් වතුවල ‘දිත්වා’ සුළි කුණාටුවට පෙර සහ පසුව ඇති වූ ස්වාභාවික ආපදාවලින් පීඩාවටපත් ජනතාව අදටත් තාවකාලික කඳවුරුවල රැඳී සිටියදී පීඩාවට පත් ජනතාවට විසඳුම් ලබානොදී, ඉහත සඳහන් වතු ඉඩම් පෞද්ගලික සමාගම්වලට බදු දීමට උත්සාහ කිරීම මලයහ සිවිල් සමාජ එකමුතුව විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
මලෛයහ සිවිල් එකමුතුවේ මූලික ඉල්ලීම් 6
ජනාධිපතිවරයා වෙතද පිටපතක් යොමු කරමින් වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා වෙත මලෛයහ සිවිල් සමාජ එකමුතුවේ විරෝධතාකරුවන් විසින් නොවැම්බර් 3 වැනි අගහරුවාදා යොමු කළ ලිපියක් මගින් පහත දැක්වෙන ඉල්ලීම් බලධාරීන්ගේ අවධානයට යොමු කර තිබේ.
1. ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබාදීමට පෙර, වගා නොකරන රජය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සහ ඇල්කඩුව වැවිලි සමාගම්වලට අයත් ඉඩම් පෞද්ගලික සමාගම්වලට බදු දීම සඳහා ගෙන ඇති කැබිනට් තීරණය ඉල්ලා අස්කර ගැනීම හෝ බලරහිත කොට, එවැනි ඉඩම් බදු දීමේ වැඩපිළිවෙළ වහාම නතර කළ යුතුය,
2. මලෛයහ දෙමළ ජනතාවගේ නිවාස, ජීවනෝපාය, යටිතල පහසුකම් සහ නව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉඩම් අයිතිවාසිකම් තහවුරු කරන රජයේ ප්‍රතිපත්ති රාමුවක් සකස් කළ යුතුය,
3. වගා කටයුතු සිදු නොකරන වතු ඉඩම් දිගුකාලීන බදු පදනම මත මලෛයහ දෙමළ තරුණ තරුණියන්ට ලබාදී, ඔවුන් කුඩා පරිමාණ ව්‍යවසායකයන් බවට පත්කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතුය,
4. මලෛයහ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් හැටන් ප්රකාශනයෙන් සහ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී ජාතික ජන බලවේගය (NPP) ලබාදුන් පොරොන්දු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය,
5. රජය සතු වතු සමාගම් සහ ඇල්කඩුව ඇතුළු අනෙකුත් වැවිලි සමාගම් යටතේ පවතින ඉඩම් මලෛයහ දෙමළ තරුණ තරුණියන්ට ලබාදී, ඔවුන් කුඩා වතු හිමියන් බවට පත්කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත යුතුය,
6. මලෛයහ දෙමළ ප්‍රජාවට අභිමානවත් ජීවිතයක් සහතික කිරීම සඳහාත්, ඔවුන්ගේ ජීවනෝපායන්, ආර්ථික ප්‍රගතිය සහ සමාජ දියුණුව සුරක්ෂිත කිරීම සඳහාත්, ඉඩම් බෙදාහැරීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් සහ සාධාරණ ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
රජයෙන් විමසන ප්‍රධාන ප්‍රශ්න 3
එම ඉල්ලීම් හයට අමතරව රජය වෙත පහත සදහන් ප්‍රධාන ප්‍රශ්න තුනක්ද සිය ලිපිය මගින් විමසීමටත් මලයහ සිවිල් සමාජ එකමුතුව විසින් කටයුතු කර ඇත.
7. වතුවල පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත්වන ජනතාවගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීමට පෙර, එම ඉඩම් වෙනත් ආයෝජකයන්ට බදු දිය හැක්කේ කෙසේද?
8. හැටන් ප්රකාශනයේදී සහ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී ලබාදුන් පොරොන්දු, විශේෂයෙන්ම වතු තරුණයන්ට ඉඩම් ලබාදීමේ පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ කවදාද?
9. වගා නොකරන වතු ඉඩම් පෞද්ගලික සමාගම්වලට බදු දීම වත්මන් NPP රජයේ නිල ප්‍රතිපත්තිය බවට පත්වී තිබේද?
හැටන් ප්රකාශනය සහ මාලිමාවේ පොරොන්දු
2023 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ජාතික ජන බලවේගය විසින් ‘මලෛයගම් 200 මව්බිමට ජවයක් - ගෞරවනීය පුරවැසියෙක්’ මැයෙන් හැටන් නගරයේ DKW ශාලාවේදී එළි දක්වන ලද හැටන් ප්රකාශනයේ සිංහල පිටපතට අත්සන් තබා තිබුනේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු මාලිමාවේ ඉහළ පෙලේ නියෝජිතයන් පිරිසකි.
කඳුකර දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස නිවාස ගැටළුව හදුන්වා දී තිබු එම ප්රකාශනයේ සදහන්ව තිබුනේ 2012/2013 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව ඔවුන්ගෙන් 67.8%ක් තවමත් ජීවත් වන්නේ ලයින් කාමර තුළ වන අතර, ජාතික ජන බලවේගය පාලනයක් විසින් කඳුකර දෙමළ ජනතාව සමෘද්ධිමත් ප්‍රජාවක් ලෙස ඔවුන්ගේ සංවර්ධනයට උපකාර වන නිවාස යෝජනා ක්‍රම මගින් ඔවුන්ට ජීවත්වීමට සුදුසු නිවාස ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරනු ඇති බවයි.
මලෛයහ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට අමතරව වතුකර ප්‍රදේශවල වගා නොකළ ප්‍රදේශ සහ අත්හැර දමා ඇති ඉඩම්, කඳුකර දෙමළ ප්‍රජාවේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගන්නා බවටත් හැටන් ප්රකාශනය හරහා ජාතික ජන බලවේගය විසින් පොරොන්දු ලබා දී තිබුනි.
"ඉඩම් අයිතිය මූලික මානව හිමිකමක්"
ජනාධිපතිවරයා වෙතද පිටපතක් යොමු කරමින් වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා වෙත 2026 නොවැම්බර් 3 වැනිදා යොමු කළ ලිපිය මගින් විරෝධතාවය දියත් කළ මලෛයහ සිවිල් සමාජ එකමුතුව තව දුරටත් අවධාරණය කර ඇත්තේ හුදෙක් ඉඩම් බෙදාදීම පිළිබඳ කාරණයක් පමණක් නොවන මලෛයහ දෙමළ ප්‍රජාවගේ ඉඩම් අයිතිවාසිකම් එම ජනතාවගේ සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික පැවැත්ම තීරණය කරන මූලික සාධකයක් බවයි.
"එපමණක් නොව, මෙය මූලික මානව හිමිකම්, ගෞරවය, සමාජ සාධාරණත්වය, ආර්ථික ස්වාධීනත්වය සහ අනාගත පරම්පරාවල ජීවනෝපායන් සමඟ බැඳී පවතින මූලික ගැටලුවකි."
එබැවින්, ඉහත සඳහන් ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, වතු ඉඩම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීම වහාම නතර කරන ලෙසත්, මලෛයහ දෙමළ ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසත් මලයහ සිවිල් සමාජ එකමුතුව බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා තිබේ.
නොවැම්බර් 3 වැනිදා ඉදිරිපත් කළ ලිපිය මගින් ඔවුන් තව දුරටත් ඉල්ලා ඇත්තේ මෙම කරුණු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක්ද, ගැනීමට නියමිත පියවර විස්තර කෙරෙන ලිඛිත ප්රතිචාරයක්ද, නිල සාකච්ඡාවක් සඳහා දිනයක් සහ වේලාවක්ද ලබා දෙන ලෙසයි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සියවස් දෙකකට අධික කාලයක සිට දහඩිය මුගුරු වගුරන මලයහ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරදෙන බවට දිගින් දිගටම පොරොන්දු දුන් ජාතික ජනබලවේග රජය එම ජනතාව යළි යළිත් රැවටීමකට ලක් කරමින් සිටින බවට පසුගිය සමයේ දී මලෛයහ ජනතාව වීසින් දිගින් දිගටම චෝදනා එල්ල කර තිබුනි.
ඡායාරූප: විජේ මඩසාමි (Vijay Madasam)



