නාවල වගුරු බිම් මතින් ඉදිකිරීම්ට යන දැවැන්ත ගුවන් පාලම් නිසා සිදුවිය හැකි පරිසර විනාශය
සම්බන්ධයෙන් මේවනවිට ප්‍රදේශවාසීන් ගෙන් මෙන්ම පරිසරවේදීන් ගෙන් බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ.
ඒ අනුව, මේවනවිට තෙත්බිම් සහ ඒවායෙන් මිනිස් සමාජයට අත්වන ප්‍රතිලාභ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතිකාවතක් ද ආරම්භ වී ඇත.
ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ පරිසරවේදියකු පැවසුයේ, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණ අනුව, කොළඹ තෙත්බිම් වසරකට 1.2% ක භයානක අගයකින් විනාශ මුඛය කරා යන බව පැහැදිලිව පෙනීයන බවයි.
තෙත්බිම් වනාන්තර ගණයට අයත් පරිසරයේ සුන්දර භාවය පවත්වාගෙන යන ජාතික සම්පතක් වේ.
නාවල පාසල් පටුමග සිට කෝට්ටේ අංගම්පිටිය පාර දක්වා :
මෙකී මාර්ගය නාවල පාසල් පටුමග සිට කෝට්ටේ ඓතිහාසික අංගම්පිටිය පාර දක්වා ඉතා දිගු මාවතක් ඔස්සේ තෙත්බිම් වලට දැඩි හානි පමුණුවමින් දිව යයි.
අවුරුදු දහස් ගණනක් තිස්සේ කොළොම්තොට ප්‍රදේශ වාසීන් ස්වභාවික ආපදාවලින් සුරක්ෂිත කරමු කරවූ ඉතා වැදගත් ස්වභාව සෞන්දර්ය දායාදය මෙම මාර්ග ව්‍යාපෘතිය මගින් විනාශ වන බවට පරිසරවේදීන් අනතුරු අඟවති.
තෙත්බිම් වනාන්තර ගණයට අයත් පරිසරයේ සුන්දර භාවය පවත්වාගෙන යන ජාතික සම්පතක් වේ.
අයියනායක දෙවියන්ට කන්නලව්වක් !
සියලූ වනාන්තර වලට වගකියන සහ එම වනාන්තර ආරක්ෂා කරන දෙවි දේවතාවන්ගේ බැල්ම මෙම තෙත් බිම් වලට ද ලැබී ඇති බවට වූ විශ්වාසය මත, පසුගිය සති අන්තයේ නාවල පාසල් පටුමග ඇති වසර සිය ගණනක් පැරණි දැවැන්ත ඇහැටු වෘක්ෂය අසල වැඩ වසන රුක් දේවතාවන් සහ කැලෑවට අධිපති ගම් නියම් ගම් සුරකින අයියනායක දෙවියන් ගේ ආශිර්වාද පතා පූජාවක් පැවැත්විණි.
එම දෙවියන් ග්‍රාමාරක්ෂකයෙකු වශයෙන් ඔවුනගේ වන්දනාවට ලක්වේ.
ජන ජීවිතය හා තදින් බැඳී පවතින වැව, වනය, කුඹුර පමණක් නොව සතා සිවුපාවා පවා එතුමා විසින් ආරක්ෂා කරන්නේ යැයි එම ජනතාව විශ්වාස කරති.
තෙත්බිම ආශ්‍රිත වනාන්තර වලට ආශිර්වාද ලබා දීම මෙම පූජාවෙන් බලාපොරොත්තු වූ බව ප්‍රදේශවාසියකු අප වෙත පැවසිය.
එමෙන්ම මෙම නාවල තෙත් බිම යම්කිසි ආකාරයකින් වැනසීමට කටයුතු කරන කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය නම් ඔවුන්ට ම හානිකර කර්තව්‍යය සිදු කිරීම සිදු කිරීමට නොහැකි වන සේ දේව ආරක්ෂාව ලබාගැනීම මෙම පූජාවේ එක්තරා අරමුණක් වූ බවද ඔහු කියා සිටියේය.
මේවනවිට මෙරට තුල බරපතල පරිසර විනාශයක් සිදුවෙමින් තිබෙන බවට පරිසරවේදීන් හා ජනතාව කරුණු අනාවරණය කල ද ඒ සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ අවධානයක් යොමුනොවන තත්වයක් තුල නොපෙනෙන දෙවිවරුන්ට තම දුක් ගැනිවිලි පවසා කිසියම් හෝ සහනයක් අපේක්ෂා කිරීමට ජනතාවට සිදුව තිබේ.






