ඒ අනුව, සැකකරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
පසුගිය මැයි 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස පැවැති සැමරුම් උත්සවයක් අතරතුර රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් සම්බන්ධයෙන් විමල් වීරවංශ ට චෝදනා එල්ල වී තිබුණි.
එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි විමල් වීරවංශ, ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා සහ අනෙක් සැකකරු තලංගම පොලීසිය විසින් අදම කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.
එහිදී දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, දැඩි කොන්දේසි සහිත ශරීර ඇප මත සැකකරුවන් නිදහස් කිරීමට නියෝග කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තා මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.




