අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා
වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර වන විට අහිමි වීමේ අවධානමකට ලක්ව ඇත.
 
2050 තෙක් ක්‍රියාත්මක වන ජාතික භෞතික  සැලැසුම් (National Physical Plan) ව්‍යාපෘතිය වෙනුවෙන් අවශේෂ කැලෑ භූමි  නිදහස් කර ගැනීමට ආන්ඩුව සූක්ෂම අයුරින් අවශ්‍ය නීති රීති වෙනස් කරමින් සිටී.
 
 5/2001 චක්‍රලේඛයේ ඉතා වැදගත් සඳහනක් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට තිබූ නොහැකියාවයි.  
 
කැලෑ ඉඩම් ව්‍යාපෘති සඳහා නිදහස් කරන්නේ නම්, ඒ සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව පරිසර අමාත්‍යාංශ ලේකම් වරයාගේ යුත් අන්තර් අමාත්‍යාංශ කමිටුවකට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුව තිබිණි. 
 
මේ නිසාම  දේශපාලකයින් ඒ ඒ ප්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ ඉඩම් මංකොල්ලයන් යම් දුරකට නැවතී තිබුණේ මෙම චක්‍රලේඛය  නිසාය. 
 
නමුත් වත්මන් ආන්ඩුව විසින් මෑතකදී 5/2001 චක්‍රලේඛය අහෝසි කරනු ලැබීමත් සමඟ, ඒවායේ දුර්විපාකයන් අප ඇස් පනා පිටම මේ වන විට අත්විදින්නට සිදුව ඇත. 
 
එහි ප්‍රතිඵලයක් වශයෙන්  රාජාංගනය යාය 01 ළමා මිතුරු පාසලට අයත් "වන අරණ" භූමියත් අලුතින් ගැසට් කල කැලෑ ඉඩම් අතපත් කරගැනීමේ 1/2020 චක්‍රලේඛයේ බිල්ලක් වේවිද ?
 
 
 
 

Ravi 2020.12.31

 
"වන අරණේ" ඉතිහාසය
 
 
රාජාංගනය යාය 01 අංක 442 මහතිඹිරිගොල්ල ග්‍රාමසේවා වසමට අයත් අක්කර 1.5ක පමන වපසරියකින් යුත් මෙම හරිත කලාපය රාජාංගනය මධ්‍යයේ පිහිටි ඉතා වටිනා පරිසර පද්ධතියකි. 
 
වියලි  කලාපීය දේශගුණයට ආවේනික ඉතා වටිනා ශාක, ඖෂධ වර්ග, සතුන්, පක්ෂීන් සහ වර්ණවත් සමනළ විශේෂයන්ගෙන් ගහන වූ මෙම වන භූමිය වසර ගණනාවක් පුරා ප්‍රදේශයේ පාසල් සිසුන්, පරිසර හිතකාමීන් සිය අධ්‍යන කටයුතු සඳහා භාවිතා කරමින් සිටී. 
 
ඒ අනුව එහි වටිනාකම අවබෝධ කර ගත් විද්‍යාලයේ හිටපු විදුහල්පති පූජ්‍ය මහමාන්කඩවල ධම්ම්සිරි ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරුභවතුන්, සිසුන්, හා ප්‍රදේශවාසීන් ගංගා ද්‍රෝනි පරිසර ආයතනය හා එක්ව මෙම අවශේෂ කැලෑ ඉඩම "වන අරණ" නමින් 2017 වසරේදී සංරක්ෂිත කලාපයක් බවට නම් කළහ.
 
 
 
"වන අරණ" ට ප්‍රේත බැලුම්
 
දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට මහගු පිටිවහලක් වූ මෙම අසිරිමත් ක්ෂේමභූමියට මෑතක සිට ප්‍රේත බැල්මක සේයාවක් වැටෙමින් ඇත. 
 
පාසල ආසන්නයේ පදිංචිව සිටින එක්තරා දේශපාලන බත් බැලයෙක් පසුගියදා ප්‍රදේශයේ මරනාධාර සමිතියකට අපූරු යෝජනාවක් ඉදිරිපත්කර ඇත. එනම් "වන අරණ" භූමිය සමිතියට පවරාගෙන එහි කැලය කපා දමා ආර්ථික භෝග වගාවන් සඳහා යොදා ගත යුතු බවයි. 
 
''පාසල ආසන්නයේ පදිංචිව සිටින එක්තරා දේශපාලන බත් බැලයෙක් පසුගියදා ප්‍රදේශයේ මරනාධාර සමිතියකට අපූරු යෝජනාවක් ඉදිරිපත්කර ඇත. එනම් "වන අරණ" භූමිය සමිතියට පවරාගෙන එහි කැලය කපා දමා ආර්ථික භෝග වගාවන් සඳහා යොදා ගත යුතු බවයි. ''
 
එමගින් සමිතියට අමතර ආදායමක් උපයා ගත හැකි බව ඔහුගේ අදහස වී ඇත (දැනටමත් මෙම පුද්ගලයා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව ප්‍රදේශයේ සමහර රජයේ ඉඩම් වල වගා කරමින් සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති). 
 
නමුත් සමිතියේ වැඩි පිරිසක් ඔහුගේ යෝජනාවට විරෝධය පලකර ඇත. 
 
එසේ තිබියදීත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ  මෙම පුද්ගලයා බලවතුන්ගේ පක්ෂ පාතීත්වයන් උපයෝගී කොට ගනිමින් වන භූමිය කොල්ලකෑමට තවමත් අර අදිමින් සිටින බවයි. 
 
මේ බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වූයේ පසුගිය දෙසැම්බර් 22 දින රාජාංගන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම අතරවාරයේ මේ පිළිබඳව සිදු වූ කතා බහේදීය.
 
 ඉඩම් අමාත්‍ය S.M. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම අතරවාරයේ ඉහත පුද්ගලයා දිගින් දිගටම  පවසා සිටියේ මෙම වන භූමිය ප්‍රදේශයට නුසුදුසු බවයි. "වන අරණ" වන මූකලානක් බවට පත්ව ඇති බවත් එය නැවත වන උද්‍යානයක් ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්ය. 
 
වන භූමිය කොල්ලකෑමට ගත් පළමු උත්සාහය ප්‍රදේශ වාසීන්ගේ විරෝධය හමුවේ ව්‍යර්ථ වූ තැන මේ ගෙන එන යෝජනාව ඉතා හාස්‍යජනකය. 
 
ඒ වගේම "වන අරණ"ට යාබද රජයේ කැලෑ ඉඩම් එළි පෙහෙලි කොට වගා කටයුතු සිදු කල බව ඔහුගේ කතාව තුල ඔහු විසින් ම පිළිගනී. 
 
මෙම පුද්ගලයාගේ ප්‍රධාන චෝදනාව වන්නේ "වන අරණේ" සතුන් පැමින තමන්ගේ වගාවන්ට හානි සිදු කරන බවයි. 
 
වන සතුන්ගෙන් සිදු වන වගා හානි ලංකාවටම පොදු වූ සත්‍යයකි. නමුත් ඒවාට වගකිව යුත්තේ අහිංසක වන සතුන් නොව, අනාදිමත් කලක සිට අප රට පාලනය කරන පාලකයින්ගේ අදූරදර්ශි සංවර්ධන සැලසුම්ය. 
 
 
වන සතුන්ගෙන් සිදු වන වගා හානි ලංකාවටම පොදු වූ සත්‍යයකි. නමුත් ඒවාට වගකිව යුත්තේ අහිංසක වන සතුන් නොව, අනාදිමත් කලක සිට අප රට පාලනය කරන පාලකයින්ගේ අදූරදර්ශි සංවර්ධන සැලසුම්ය. 
 
වන සතුන් වගාවන්ට හානි කරන්නේ නම් ඊට සුදුසු තිරසාර විසදුමක් ගැනීම බලධාරීන් සතු වගකීමකි. නමුත් කැලය කැපීම  ඊට කිසිසේත්ම සුදුසු විසදුමක් නොවේ. 
 
එබැවින් පරිසරය ගැන අංශුමාත්‍රයක අවබෝධයක් නැති, සිය කුඩා මොළය පශ්චාත් භාගයේ රදවාගෙන සිටින මෙම පුද්ගලයාගෙන් අප විමසා සිටින්නේ සතුන් නැති "වන අරණ" වන උයනක් කරන්නේ කෙසේ ද යන්න අපට පහදා දෙන ලෙසයි.
 
 
පාසල් නේවාසිකාගාර භූමියට නිවාස සංකීර්ණයක් ?
 
මේ අතරවාරයේ රාජාංගනය යාය 01 අංක 442 මහතිඹිරිගොල්ල ග්‍රාමසේවා වසමේ කැබලි අංක 300 දරන පාසල් ගුරු නිවාස සහිත ඉඩම ("වන අරණ" ට යාබද භූමිය) පවරාගෙන එහි රජයේ නිලධාරීන් සදහා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා වී ඇති බව ප්‍රාදේශීය ලේකම් තුමා විසින් තමන්ට දැනුම් දෙන ලද බව පාසල් සංවර්ධන සමිතිය පවසයි. 
 
පසුව එයට විරෝධය පා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්ට, ඉඩම් අමාත්‍ය S.M. චන්ද්‍රසේනට  සහ කලාප අධ්‍යාපන කාර්‍යාලය ඇතුලු සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කල ද මේ වන තෙක් පැහැදිලි විසදුමක් ලැබී නැති බව පාසල් සංවර්ධන සමිතිය පවසයි. 
 
පාසල් ඉඩමේ නීත්‍යානුකූල බලපත්‍රය මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සතුව තිබියදීත්, එය පාසලට ලබා නොදී සංශෝධනය කිරීමට ඇති බව පවසමින් කල් අරින්නේ පාසල් ඉඩම අත් පත් කරගැනීමේ සැලැස්ම නිසා දැයි ප්‍රදේශ වාසීහු සැක පහල කරති. 
 
ඒ අතරවාරයේ පාසල් සංවර්ධන සමිතියේ සාමාජික G.J. අනුරාධ පුෂ්පකුමාර විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මේ පිළිබඳව තොරතුරු ඉල්ලා  2020/12/24 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ලද අතර, අදාල තොරතුරු සති දෙකක් තුල ලබා දෙන බව දන්වා ඇත. 
 
කෙසේවෙතත් නේවාසිකාගාර භූමියේ ගුරු නිවාස දෙකක් දැනටමත් පාවිච්චි කල නොහැකි තත්වයේ පවතිනා අතර එක් නිවසක පමණක් විද්‍යාලයේ ගුරුවරියක් පදිංචිව සිටී. 
 
හාත්පස භූමියේ මේ වන විටත් සිසුන්, ගුරුභවතුන් සහ දෙමාපියන් එක්ව පලතුරු පැල, පොල්, කජු, මී, අඹ ආදී පැල වර්ග රාශියක් සිටුවා වන වගා ව්‍යාපෘතියක් අරම්භ කර ඇත. 
 
ඒවා සිසුන් සහ දෙමාපියන් එක්ව නඩත්තු කරන ආකාරය සියැසින්ම දැක ගත හැකි විය. 
 
තව ද ඔවුන් පවසන්නේ රජයේ නේවාසිකාගාර ඉදි කිරීම කිසි ලෙසකින් වත් ප්‍රායෝගික නැති බවයි. 
 
මන්ද බොහෝමයක් රජයේ සේවකයින් ප්‍රදේශයේ ස්ථීර පදිංචි කරුවන් බවත්, පිටස්තරින් පැමින රාජකාරී කරන්නන් සදහා අවශ්‍ය නේවාසික පහසුකම් මේ වන විටත් ප්‍රමාණවත්ව පවතින බවයි. 
 
නේවාසිකාගාර ඉදි කිරීමට අවශ්‍යම නම් ඊට ප්‍රමාණවත් ඉඩ පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල භූමියේ ම ඇති බව ඔවුහු පවසති.
 
අපි වෙනුවෙන් "අපි"
 
 
 
දෙපැත්තෙන්ම බැට කන පොදු ජනතාව වන අපි මෙවැනි අර්බුද හමුවේ කිසිදු විටෙක දේශපාලන පක්ෂ පාට සමඟවත්, පුද්ගලයින් සමඟවත් වෛර බැද ගත යුතු නැත. 
 
මන්ද ඔවුන් හරහා අප වෙත මෙලෙස දෛනිකව ප්‍රක්ෂේපනය වන්නේ අප ජීවත් වන පීඩාකාරී ක්‍රමයේම යථාර්ථයයි. 
 
එබැවින් මෙම පීඩාකාරී දේශපාලන ක්‍රමය හදා වඩා කවා පොවා ඇති දැඩි කරන තාක්, එහි දුෂ්ඨ ඵල විපාකයනට පොදු ජනතාව ලෙස අපට මුහුන දීමට සිදු වනු ඇත. 
 
"වන අරණ"ට සහ පාසලේ දේපල වලට අත්වීමට යන ඉරනම, අද රටේ සිදුවන විනාශකාරී සංවර්ධන ක්‍රියාදාමයට සාපේක්ෂව අංශුමාත්‍රයකි. එහෙත් සමස්තයට එරෙහි අරගලය පැන නගින්නේ ම ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සිදු වන මෙවැනි ක්ෂුද්‍ර අරගලයන්ගේ අඛණ්ඩතාවයෙනි.
 
 
"මේ මිහිතලය මත ඇති අවසන් වෘක්ෂයත් කපා දැමූ පසු, අවසන් ගංගාව ත් සිදී ගිය පසු, අවසන් සත්වයාත් මිය ගිය පසු, මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව"
- රතු ඉන්දියානු නායක සියැටැල් 
(රවීන්ද්‍ර කාරියවසම්) 
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
Ravui Aiya
 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්