යුද්ධයේදී ජීවිත අහිමිවූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහිවීම පිණිස අලුතින් සවි කිරීමට නියමිතව තිබූ
ගලින් කළ සමරු පුවරුවක් ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කිරීම උතුරේ පොලීසිය සහ ආරක්ෂක හමුදාව විසින් සිදු කළ “අධම හොරකමක්” ලෙස  දෙමළ ජනතා නියෝජිතයන් සහ නීතිවේදීහු චෝදනා කරති.
 
 ශෛලමය සමරු ඵලකය අතුරුදහන් වී ඇති අතර වසර දහයක් පුරා නිරුපද්‍රිතව පැවැති මුල්ලිවයික්කාල්  ස්මාරකය කඩා බිඳ දමා විනාශ කර ඇත්තේ වාර්ෂිකව පවත්වනු ලබන මුල්ලිවයික්කාල් අනුස්මරණයට අවහිර කරනු පිණිස ඒ අවට හමුදාවේ විශාල පිරිසක් රැකවල් ලා සිටියදීය.
 
 
අතුරුදහන් ඵලකය පොලිසිය විසින් මේතාක් සොයාගෙන නැතත් මේ අතර මුල්ලිවයික්කාල් සමරුව පැවැත්වීමට බාධා පැමිණවීම සඳහා මුලතිව් පොලීසිය විසින්, හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එස් . රවිකරන්, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායක ඊෂ්වරී මරියදාසන්, දෙමළ ජාතික සන්ධානයේ තරුණ අංශයේ නායක පී. ඉලන්චෙලියන් සහ වසන්තන් පියතුමා ඇතුළු පස්දෙනකුට එරෙහිව, අධිකරණ වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව පළාත්බද මාධ්‍යවේදීහු වාර්තා කරති.
  
මැයි 13 බ්‍රහස්පතින්දා අලුයම එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු  මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන්  විසින්, සමරු ඵලකය අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබේ.
 
යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කොළඹ මාධ්‍යවේදීන්ට පවසා තිබුනේ යුද හමුදාව සිද්ධියට “කොහෙත්ම සම්බන්ධ නැති” නිසා සොරකම සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකරන බවයි.
  
උතුරු නැගෙනහිර මුල්ලිවයික්කාල් සමරු සංසදය විසින් ශෛලමය සමරු ඵලකය සවස දොඹකර ආධාරයෙන් මුල්ලිවයික්කාල්  අනුස්මරණ භූමියට ගෙන විත් තිබුනේ පසුගිය මැයි 12 බදාදා ය.
 
ස්මාරකය බිමට බෑමට කටයුතු කරන මොහොත වන විටත් එහි පැමිණ සිටි රජයේ ආරක්ෂක නිලධාරීන් හා කතෝලික පූජකයන් අතර වාද විවාද පැන නැගී  තිබුනි.
 
 Mulathuv Army
දොඹකර ආධාරයෙන් මුල්ලිවයික්කාල්  අනුස්මරණ භූමියට
 
 
ආරක්ෂක අංශ වල සාමාජිකයන්  එම අනුස්මරණ භූමියේ රැදී සිටීම පිළිබඳව මෙන්ම සමරු ඵලකය රැගෙන ආ වාහනයෙන් බිමට බෑමට ඉඩ නොදීමට ඔවුන් ගත් තීරණයට ද විරෝධය පළ කරමින්, කතෝලික පූජකවරුන් විසින් ඔවුන් ප්‍රශ්න කරනු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
 
 යුද්ධ හමුදාව  උත්කර්ෂයට නංවන  සැමරුම් සහ ඒවා ආශ්‍රිත අනුස්මරණ සඳහා රජයේ අනුග්‍රහයෙන් ඉඩ සලසා දී තිබිය දී, යුද්ධයෙන් මිය ගිය සිය ආදරණීයයන් අනුස්මරණය කිරීමෙන් හා ඔවුනට ගෞරව දැක්වීමෙන් දෙමළ ජනයා වලක්වනු ලැබීම සම්බන්ධයෙන්, කතෝලික පූජකයන් විසින් පොලීසිය හා හමුදාවෙන් ප්‍රශ්න කරන ආකාරය එම වීඩියෝවේ සටහන්ව තිබේ.
 
 කොරෝනා වසංගතය වැළැක්වීමේ නීති උපුටා දක්වමින්, මෙවැනි උත්සවයක් පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවට පොලිසිය තර්ක කළ අතර, තම නීතිඥයන් ඔවුන් සමඟ කතා කරනු ඇති බවට පූජකවරු පොලිසියට පවසන ආකාරයද එම වීඩියෝව තුළ දක්නට ලැබේ.
 
 
 
 
මුල්ලිවයිකාල් ස්මාරකය කඩා බිඳ දමයි :
 
 
කෙසේ නමුත් දැවැන්ත කළුගල් පුවරුව එක රැයක් තුලදී අතුරුදහන් කර තිබෙන අතර, මුල්ලිවයිකාල් ස්මාරකය  කඩා බිඳ දමා තිබේ.
 
 “ත්‍රස්තවාදීන්ගෙන් භූමිය මුදා ගැනීමේ ජයග්‍රහණයක්” ලෙස ආණ්ඩුව විසින් හදුන්වනු ලැබූ ලේ වැකුණු  සිවිල් යුද්ධය අවසානයේ, මීට වසර දොළහකට පෙර මිනිස් සිරුරු වල කොටස් තැන තැන විසිරී තිබූ අයුරු සිහිගන්වමින් පැරණි සමරුවේ කැඩී බිඳී ගිය කොටස් වැලිතලාව මත විසිරී තිබුණි.
 
dfgdf
 
“පොලීසියේ සහ හමුදාවේ ඇස නොගැටී, මෙතරම් විශාල කළුගලක් අතුරුදහන් වුනාය කියන එකෙන් තේරෙන්නේ, එය සොරකම් කර ඇත්තේ ඔවුන් ම බවයි. එය ඔවුන් විසින් කරන ලද පැහැදිලි සොරකමක් මිසක් වෙන කිසිවක් නෙමෙයි. ආරක්ෂාව සැපයිය යුතු පුද්ගලයන්ම සොරකම් කරලා” යි  නීතිඥ කනගරත්නම් සුගාෂ් යාපනයේදී  ප්‍රදේශීය මාධ්‍යවේදීන්ට පැවසීය.
 
යුද්ධයෙන් මියගිය දෙමළ  ජාතිකයන් වෙනුවෙන්, ඔවුන්ගේ ඥාතීන් සහ හිත මිතුරන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන උපහාරයේ අංගයක් ලෙස, මෙම සමරු ඵලකය එකමුතුකමේ සංකේතයක් ලෙසින්, මැයි මස 18 වැනිදා පොදු ස්ථානයක පිහිටුවා තැබීමට සැලසුම් කර තිබුණි.
 
මෙවන් දුක්මුසු, සංවේගාත්මක උත්සව පැවැත්වීම, ලොව පුරා දමිළ ජනයා විසින්, යුද්ධයේ දී ජීවිත අහිමිවූවන්ට සිදු කරන උපහාර දැක්වීමක් ලෙස සලකනු ලැබේ.
 
 
 
 
බුද්ධාගමට වැඩි සැලකිලි:
 
කෝවිඩ්-19 සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් නොතකා, තිහකට ආසන්න බෞද්ධ භික්ෂූ සමූහයකට, බෞද්ධ නටබුන් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි මුවාවෙන්, දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජබිමක් වන කුරුන්තුර්මලෙයි වෙත යාමට පසුගියදා  අවසර දී තිබුනි.
 
 එහිදී හමුදාව සහ පොලිසියේ සහභාගීත්වයෙන් සර්වරාත්‍රික පිරිත්  සජ්ජායනාවක් ද පවත්වා තිබේ.
 
 බෞද්ධ භික්ෂූන්ට සහ යුද හමුදාවට වන්දනාමාන කිරීමට අවස්ථාව ලබා දෙමින්, දෙමළ  ජනයාට එම අයිතීන් ප්‍රතික්ෂේප කිරීමේ පක්ෂග්‍රාහී ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් පොදු ජනතාව සහ දෙමළ ජනතා නියෝජිතයෝ ප්‍රශ්න කර සිටිති. 
 khl
යාපනය සරසවි භුමියේ ඉදිකර තිබු 'මළවුන්ගේ ස්මාරකය' ඩෝසර් කිරීමට පෙර 
 
 
යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාපිත කර තිබු මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකයද  මේ වසර මුලදී  රාජ්‍ය අනුග්‍රහයෙන් එක රැයකින් කඩා බිඳ දමන ලදී.
 
 ස්මාරකය කඩා දැමීම  සරසවි සිසුන් හා දෙමළ  ප්‍රජාව අතර විශාල කෝපයක් ඇති  කිරීමට හේතු වු අතර, අනතුරුව විශ්වවිද්‍යාලය තුළ තවත් එවැනි විශාල ප්‍රමාණයේ ස්මාරකයක් අළුතින් ඉදිකිරීමට බලධාරීන්ට සිදුවිය.
 
යුද්ධය අවසන් වූ දා සිට, දෙමළ ජනයා වාර්ෂිකව සමරනු ලබන  මුල්ලිවයික්කාල් සැමරුම දකුණේ සිංහල ආණ්ඩුවලට ‘ඇහැට කටු අනින්නාක් මෙන්’ වූ අතර, මෙම උත්සවය කඩාකප්පල් කිරීමට ඔවුන් විවිධ අවස්ථාවල උපරිම ලෙස උත්සාහ දරා තිබේ.
  
 කෙසේවෙතත්, ධෛර්ය සම්පන්නව දෙමළ යුද පීඩිතයෝ තම සමීපතමයන් සිහි කිරීමේ වාර්ෂික උළෙල ඉදිරියට ගෙන ආහ. 
 
පසුගිය වසරේදී පවා, කෝවිඩ්-19 හේතු ලෙස දක්වමින් හමුදාව විසින් කළ අනතුරු ඇඟවීම් නොතකා, පනවා තිබූ වසංගත නීති වලට අනුගත වෙමින් ජනතාව විසින් මෙම උත්සවය පවත්වනු ලැබීය.
 
 එහිදී අත් සේදීමට සහ සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර  තිබූ අතර, සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් සිය ගෞරවය දැක්වීමට එක්රැස් වූ ජනතාව කටයුතු කළේය.
 
 යුද්ධයේ අවසන් අදියරේ දී, අහිංසක දෙමළ  ජනයා දහස් ගණනක් ඝාතනය කෙරුණු මුල්ලිවයික්කාල්හි නව   සමරු ඵලකය ස්ථාපිත කිරීමට, කතෝලික පූජකවරුන්, මහජනතාව සහ යුද්ධයෙන් මියගිය අයගේ පවුල්වලින් සමන්විත පොදු එකමුතුවක් විසින් මේ වසරේදී සැලසුම් කර තිබුණි.
 
මේ අතර, පෙර නොවූ විරූ ලෙසින් උතුරු හා නැගෙනහිර කතෝලික රදගුරුවරුන් සිව්දෙනා විසින්, යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවයික්කාල්හි සිදු වූ ඝාතනය  ‘වර්ග සංහාරයක්’ ලෙස නම් කිරීමට කටයුතු කර තිබේ.
 
 
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් යාපනය, මන්නාරම, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ රදගුරුවරුන් විසින් එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මුල්ලිවයික්කාල්  වර්ග සංහාරයේ 12 වන සංවත්සරය සැමරීමට එක්වන ලෙසයි.
 
 “2021 වසරේ මැයි මස 18 වැනි දින, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනයාට, මුල්ලිවයික්කාල්  වර්ග  සංහාරයේ දොළොස්වැනි සංවත්සරය එළඹේ. යුද්ධයේ අවසාන අදියරේ හා ඊට පෙර දශකවල දිවි ගලවා ගත්තා වූ සහ ඒවා අත්වින්දා වූ මිනිසුනි! අවසන් ගෞරව නොදක්වා හදිසි භූමදානයන්ට ලක්කළ සිය ආදරණීයයන් වෙනුවෙන් වැළපෙන්න. ඒ වෙනුවෙන් වෙන් කළ දවසක් පෙන්වා දෙන්නේ, අනුස්මරණය කිරීමේ අයිතිය වින්දිතයන් හටත් ඇති බවයි. වින්දිතයන් යනු තවදුරටත් අකර්මන්‍ය පීඩිතයන් ලෙස නොසිටී. ප්‍රතිකර්ම  සෙවීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වන අය වේ.”
 
 
මැයි 18 අනුස්මරණය කිරීමේ හා යාඥා  කිරීමේ දිනයක් :
 
සිදු වූ අපරාධවලට සාධාරණය ඉටු කිරීම සඳහා තමන් දෙමළ ජනතාව සමඟ එක්වී ඇති බවත්, මැයි 18 අනුස්මරණය කිරීමේ හා යාඥා  කිරීමේ දිනයක් ලෙස සලකුණු කරන බවත් රදගුරුවරු පවසති.
 
 මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවයක් පවත්වා, විශේෂ පහනක් හෝ ඉටිපන්දමක් දල්වා, යුද්ධයෙන් ජීවිත අහිමිවූ දෙමළ ජනයා සිහි කිරීම සඳහා පූජා කරන ලෙස ඔවුන් සියලු පූජකවරුන්, ආගමික ප්‍රජාවන් සහ ආගමික ආයතන භාරව සිටින සියලු දෙනාගෙන් ඉල්ලා ඇත.
 

 
 
 
සබැඳි පුවත් :
 

 

 


 

 THE LEADER TV 

බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!

 

පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්