'සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය' විසින් සංවිධානය කරන ලද විපක්ෂයයේ එකමුතුවක් සඳහා වන සාකච්ඡා මාලවේ ආරම්භක සාකච්ඡාව
හිටපු කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද (ජුලි 17) වන දින කොළඹ 05 ජානකී හෝටලයේදී පැවැත්විණ.
එහිදී සාකච්ඡාව සඳහා පදනම්වූ ලියවිල්ල කරු ජයසූරිය විසින් සභාගත කරනු ලැබිය.
මේ හමුවේ පළමු වටය මාධ්‍යයට නිරාවරණය වූ අතර දෙවන වටය මාධ්‍යයට විවර නොවූ අභ්‍යන්තර සාකච්ඡාවක් විය.
ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය දෙදෙනා අතර මෙවැනි දේශපාලනික හමුවක් සිදුවුයේ පළමු වතාවටය.
විපක්ෂනායකවරයා ඇතුළු එම අවස්ථාවට සහභාගී වූ විපක්ෂයේ පක්ෂ නායකයින් අදහස් දැක්විය.
සමස්ත විපක්ෂය එකමුතු කිරීම අවශ්‍යයි - විපක්ෂ නායක

19 වන සංශෝධනය ඉරා දමමින් 20 වන සංශෝධනය ගෙන ආ මේ ආණ්ඩුව අද වන විට රටේ පුරවැසියන් ගේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් ද උල්ලංඝණය කරමින් තිබෙන බව මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසිය.
පරිසර විනාශය, සමුද්‍රීය ජෛව පද්ධතිය විනාශයට ලක් කිරීම, ධීවර ජනතාව බරපතල අර්බුද ගණනවකට ඇද දමද්දී අදූරදර්ශී තීරණ නිසා නිර්මාණය කරන ලද පොහොර අර්බුදය ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇතැයි විපක්ෂ නායකවරයා කියා සිටියේය.
වසරකට වැඩි කාලයක් ජනතාවට සුරංගනා කතා කියමින් සුර සැප විඳි ආණ්ඩුවේ ප්‍රබලයින් මේ රටේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන්නට නිසි වැඩපිළිවෙළක් හෝ සකස් කිරීමට අපොහොසත්ව ඇති බවත්, ගුරුවරුන් ගේ ගැටළු ගණනාවක් නිසා අධ්‍යාපනය එහෙම පිටින්ම අර්බුද ගණනාවක සිර කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එවන් ප්‍රශ්න ගණනාවක් ආණ්ඩුවේ අත්තනෝමතික භාවය නිසා ඇතිවී තිබෙද්දී ඊට එරෙහිව හඬ නගන ජනතාව මර්ධනය සඳහා එදා ඇඳිරි නීතිය හදිසි නීතිය යොදා ගත්තා සේ මෙදා කෝවිඩ් නිරෝධායන නීතිය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
තමන්ගේ අඩුපාඩු වසා ගැනීමට ජනතාව වෙත මර්ධනය දියත් කිරීමට මේ අසමත් ආණ්ඩුව කටයුතු කිරීමට එරෙහිව සමස්ත විපක්ෂය එකමුතු කිරීමට කරු ජයසූරියගේ නායකත්වයෙන් හා මගපෙන්වීමෙන් 'සාධාරණ සමජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ගෙනයන මෙම උත්සහය මේ මොහොතේ අතිශය වැදගත් බව පැවසු විපක්ෂ නායකවරයා, එය සාර්ථක කරගැනීමට අප සියලුදෙනා කැපවෙමු යයි මෙහිදී යෝජනා කර සිටියේය.
සිය කතාවෙන් පසු විපක්ෂ නායකවරයා රැස්වීම සභාවෙන් පිටවගිය අතර ඉන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයෙන් පසු පක්ෂ නායකයින් සභාව ඇමතිය.
ජාතික ප්‍රතිපත්ති මාලවක් අවශ්‍යයි - චම්පික

පාඨලී චම්පික රණවක
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේ සඳහන් කළේය.
''මූල්‍යම වශයෙන් රට පත්ව ඇති අසාර්ථකත්වය කෙරෙහි මේ මොහොතේ අප සියලු දෙනාම අවධානය යොමු කල යුතුයි. රට ඉතා විශාල මූල්‍යම බංකොලොත්භාවයක් අභියස තිබෙන්නෙ. මේ සඳහා විපක්ෂය විදිහට අප ජනතාවට විශ්වාස කල හැකි ප්‍රායෝගික විසඳුම් සහිත ජාතික ප්‍රතිපත්ති මාලවක් අවශ්‍ය වෙනවා. අප එය නිර්මාණය කරගත යුතුයි.
ජනතාව දිනෙන් දින පෙළන මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය එකමුතුව පෙළගැසිය යුතුයි. ඒ සඳහා නයකත්වය දෙන්න සුදුසුම් කෙනා කරු ජයසූරිය මහතායි. අපිට මතකයි දින 52 වෙලාවෙ එතුමන් අපට දක්වපු නායකත්වය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වටා එකතුව අපි ඉදිරියට යමු කියලා මම යෝජනා කරනවා.''
හරි දැක්මකින් හරි කාලරාමුවකට වැඩකරමු - රාජිත

රාජිත සේනාරත්න
රැස්වීම ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරතන් මෙසේ පැවසිය.
''අපි මේ රටේ ඊළඟ මැතිවරණයෙන් බලය ගත්තට වැඩක් නැහැ අපි අවුරුද්දක් ඇතුළත ද්‍රෝහීන් වෙනවා අපි හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකලොත්. ඒක නිසා අපි හරි දැක්මකින් හරි කාලරාමුවකට වැඩ කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. නැත්තම් ජනතාව තවදුරටත් මේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් විශ්වාස කරන එකක් නැහැ.
ලී ක්වාන් යූ බලයට ආවට පස්සෙ මුලින්ම කරේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම. මම හිතනවා අපිත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ගැන සංවේදීව මේ පිළිබඳව සිතා බැලිය යුතුයි කියලා.
''මේ විපක්ෂය එකතු කරන්න සුදුසුම කෙනා කරු ජයසූරිය මැතිතුමා බව අවිවාදිතයි. අපි එකමුතුව එතුමන් සමඟ ආරම්භ කරන ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරමු කියලා මම යෝජනා කරනවා.'' -රාජිත
'සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙනවා' - මනෝ ගනේෂන්

මනෝ ගනේෂන්
සභාව ඇමතු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මෙසේ පැවසිය,
''අපිට මතකයි කරු ජයසූරිය මහතා දින 52 වෙලාවෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව අප රටට දීපු නායකත්වය. අපි සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය නැවත දිනා ගත්තෙ එතුමන් නිසා.
ඒක නිසා අපි මේ දුර්දාන්ත පාලනය පරාජය කරන්න, ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න නැවත සාධාරණ සමාජයක් සංවිධානය වටා එකමුතුවෙමු කියලා මම යෝජනා කරනවා.
සාධාරණ සමාජයක් කියන නම දෙමළට පරිවර්තනය කරෙත් මම. අපි දෙමල ජනතාව විදිහට ජාතික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් සාධාරණ සමාජයක් සංවිධානය පෙරමුණ ගත යුතු යයි මම යෝජනා කරනවා.''
රට ගොඩනගන්න ඒකරාශී වෙමු - රුවන් විජයවර්ධන

රුවන් විජයවර්ධන
සභාව ඇමතු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මන්ත්‍රීවරයා, කරු ජයසූරිය හිටපු කතානායක වරයා විසින් දරන උත්සහය වටා සියල්ලන්ම ඒකරාශි වී මේ රට ගොඩනගන්න දායකවීමේ අවශ්‍යතාවය අවදාරණය කර සිටියේය.
''ඉතිං ඒ සඳහා අපි සුදුසු ජාතික ප්‍රතිපත්ති මාලවක් නිර්මාණය කරගන්න මේ එකමුතුව මූලිකව යෙදවිය යුතුයි කියලා මම යෝජනා කරනවා.'' එජාප නියෝජ්‍ය නායකයා කියා සිටියේය.
දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් අවශ්‍යයි - සුමන්තිරන්

එම්.ඒ සුමන්තිරන්
මෙහිදී අදහස් දැක්වූ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මෙසේ පැවසිය.
''මේ රටේ ප්‍රමුඛම ප්‍රශ්නයක් මේ රජය අමතක කරනවා. ඒ තමයි දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදීම. සාධාරණ සමාජයක් සංවිධානය වහාම මේ සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කලයුතුයයි මම යෝජනා කරනවා.
මේ රටට මෙහෙම ඉදිරියට යන්න බැහැ. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ මිනිසුන් ලක්ෂ ගණනාවක් මියගිය. මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ දශක දෙකක් මේ රට යුද්ධයක සිර කල. ඒක නිසා අපේ ජනතාවගෙ ප්‍රශ්න ගැන මේ රට සංවේදී විය යුතුයි. අපි පෙබරවාරි මාසයේ මේ ගැන දින පහක පාගමනකුත් සංවිධානය කරා. මේ ගැන ඔබේ සංවිධානය අවධානය යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.''
දෙවැනි වටය සජිත් නැහැ ! - කරුගේ නායකත්වයෙන් පෙරට ...
මෙම සාකච්ඡාවේ දෙවැනි කොටස මාධ්‍යයට නිරාවරණය නොවූ අතර ඒ සඳහා සජිත් ප්‍රේමදාස හැර අනිකුත් නායකයින් සියලු දෙනාම සහභාගි වී ඇත.
කරු ජයසූරියගේ නායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට එහිදී ඒකමතිකව තීන්දු කොට ඇත.
උතුරු නැගෙනහිර ප්‍රශ්නය ඇතුළු, රටේ පවතින ආර්ථික දේශපාලන හා සමාජයීය අර්බුද සඳහා විසදුම් ලබා දිය හැකි ප්‍රමුඛ ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීමට තීන්දු කොට ඇති අතර ඒ සඳහා සියලු පක්ෂ නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීමටද තීරණය කොට ඇත.
මෙම වැඩසටහන සඳහා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරන තිබුණද ඒ සඳහා කිසිවෙකු සහභාගි වී නොසිටියේය.
එම නිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම වැඩපිළිවෙල තුළ සිටීමේ වැදගත්කම කරු ජයසූරිය විසින් පැහැදිලි කොට ඇත.
විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සෑම මසකම නියමිත දිනයක දී පැවැත්වීමට එකඟතාවයකට පැමිණ තිබේ.
සාකච්ඡාව සඳහා පදනම්වූ ලියවිල්ල:
THE LEADER TV
රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට