ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් ආණ්ඩුව විරුද්ධවාදීන් දඩයම් කිරිමේ යෙදීම ගැන දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ ඉහල පෙලේ දූත මණ්ඩලය දැනුවත් කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
පවසයි.
 
 ''මේ රජයේ ක්‍රියාමාර්ගය පිළිබදව, විශේෂයෙන්ම මිනිස් අයිතිවාසිකම් පිළිබදව, රටේ නීතියේ අවභාවිතාව පිළිබදව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි කරගෙන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ව්‍යාපාරය පිළිබදව ඉතින් ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දේවල්, විශේෂයෙන්ම දැන් මැතිවරණ පැවැත්වීම පවා නිසි වෙලාවට නොපැවැත්වීමත් අපි අපේ අයිතිවාසිකමක් උදුරාගැනීමක් හැටියටයි අපි දකින්නේ."
 
 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඒ බව සදහන් කළේ සැප්තැම්බර් 28 වැනි අඟහරුවාදා යුරෝපා සංගමයේ දූත මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවේදී අවධාරණය වු කරුණු පිළිබදව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමිනි.
 
 
 

 
 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා යුරෝපා සංගමයේ විශේෂ දූත මණ්ඩලය දිවයිනට පැමිණියේ 27 වැනි සඳුදායි.
 
 ඔක්තෝබර් පස්වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඔවුන් ආණ්ඩුවේ, දේශපාලන පක්ෂවල, වෘත්තීය සමිතිවල, සිවිල් සමාජයේ, සේවායෝජකයන්ගේ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආයතනද මුණගැසීමට නියමිතය.
 
 
 
කෝවිඩ් මර්දන ව්‍යාපාරය පාවිච්චි කරමින් රජයේ විරුද්ධවාදීන් මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව “යථාර්තවාදි පියවර නොගැනීම” පිළිබදවත් සාකච්ඡාවේදී  අවධාරණය කළ බව රවුෆ්  හකීම් මන්ත්‍රීවරයා සදහන් කළේය.
 
 
 
 
ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන  GSP + බදු සහනය අහෝසි කළ යුතු බවට සිය සාකච්ඡාවේදී බලපෑම් නොකළ බවයි  මන්ත්‍රීවරයා එහිදි තවදුරටත් සදහන් කළේ.
 
 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ලබාදෙන ආධාරද ඉවත් කර ගැනීම ගැන සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව විසින් ජුනි මස මැදදි යෝජනාවක් සම්මත කළේය.
 
 ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුරෝපා වෙළෙඳාම සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක  නිකොලාස් සයමිස්, යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියා කලාපීය ප්‍රධානී අයෝනිස් ජියෝගරාකිස්-ආර්ජිරෝපොලෝස්, GSP වෙළෙඳ වරණය පිළිබඳ සම්බන්ධීකාරක ගුයිඩෝ ඩෝරා, රැකියා, සමාජ කටයුතු සහ අන්තර්ග්‍රහණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ප්‍රධානී ලුයිස් ප්‍රාට්ස් සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධ EEAS නිලධාරිනී මොනිකා බයිලයිටේ ගෙන් සමන්විත දුත පිරිස දිවයිනට පැමිණ සිටි.
 
 
 
 
යුරෝපා පාර්ලිමේන්තුවේදී
 
 
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය ජුනි මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
 
 
 
එමෙන්ම, මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍යය නොමැතිවීම, අතුරුදහන් කිරීම්, අත් අඩංගුවේ ඝාතන, ළමා ශ්‍රමිකයන් සූරාකෑම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ඇතුළු විවිධාකාර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.
 
 ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවීමේ අවදානමක් මතුව පවතී.
 
 GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරනු ඇති අතර, එහිදී සුළු ජාතීන්ගේත්, කම්කරුවන්ගේත් අයිතිවාසිකම් රැකීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.
 
 මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින්  පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන  විශ්වාසයෙනි.
 
 
 
 
THE LEADER TV 
කොහොමද සර් කෑම? අති විශිෂ්ටයි !
 
 

 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා !
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්