එතුමන් විසින් සිදු කළ සුවිශිෂ්ට භාෂා සාහිත්‍ය මෙහෙවර අගයමින් එතුමන් උදෙසා පැවැත්වෙන සැමරුම් වැඩසටහන් සහ සාහිත්‍ය විශේෂාංග රැසක් මෙම වසර පුරාම ඩබ්.ඒ. සිල්වා කෞතුකාරගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.
වැල්ලවත්ත ඩබ්.ඒ. සිල්වා මාවතේ පිහිටි සිල්වර්මියර් නම් එතුමන් ජීවත් වූ නිවස වර්තමානයේ ජාතික වස්තුවක් ලෙස සංරක්ෂණය කොට ඇති අතර, භාෂා-සාහිත්‍ය පුස්තකාලයක් හා කෞතුකාගාරයක් ලෙස මෙන්ම භාෂා-සාහිත්‍ය වැඩසටහන් උදෙසා පහසුකම් සපයන ස්ථානයක් ලෙස ද පවත්වාගෙන යනු ලබයි.

ඩබ්.ඒ. සිල්වා පදනමේ සභාපති/අධ්‍යක්ෂ ධුරන්ධර ශාස්ත්‍රපති පූජ්‍ය වතවන සිරිසුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා නීතීඥ රවී තිලකවර්ධන මැතිතුමන්ගේ මඟපෙන්වීම ඔස්සේ මෙම සාංවත්සරික අනුස්මරණ වැඩසටහන් මාලාව දියත් කෙරෙන අතර, අකුරු සාමූහිකය අක්‍ෂරායතනයේ සාමාජික පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් වසර පුරා මෙම වැඩසටහන් මාලාව දියත් කිරීමට සැලසුම් කොට ඇත.
ජනවාරි 16 බ්‍රහස්පතින්දා පෙරවරු 8 සිට 9 දක්වා වැල්ලවත්ත ධර්මාරාම පාරේ ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ බෞද්ධ වත්පිළිවෙත් පවත්වා ඩබ්.ඒ. සිල්වා සූරීන්ට පින්පෙත් පැමිණවීමේ ආගමික වැඩසටහනකින් ආරම්භ වීමට නියමිත අතර, එදින පස්වරු 3 සිට 5 දක්වා “ඩබ්.ඒ. සිල්වා - මෙහෙය හා මතකයන්” නමින් සාහිත්‍ය සංවාදයක් පැවැත්වීමට ද නියමිතය. මේ සඳහා සම්පත්දායකත්වය සපයනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් සරත් පෙරේරා සහ ප්‍රවීණ ලේඛිකා කැත්ලින් ජයවර්ධන විසින් වන අතර, වැඩසටහන මෙහෙයවීම, හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත විසිනි.

මලල්ගොඩ බන්ධුතිලක සූරින් විසින් රචිත “ඩබ්.ඒ. සිල්වා හා නවකතා කලාව” නව මුද්‍රණය එළිදැක්වීමේ වැඩසටහනක් ද එදිනම, පස්වරු 4.30 සිට 5 දක්වා සිදු කිරීමට කටයුතු සැලසුම් කොට ඇත. එමෙන්ම එදින පෙරවරු 10 සිට පස්වරු 9 දක්වා ඩබ්.ඒ. සිල්වා සූරින්ගේ අත් අකුරු, නවකතාවල අත්පිටපත්, මුද්‍රිත ග්‍රන්ථවල මුල් පිටපත් හා පිටකවරවල මුල් චිත්‍ර එකතුවක් ද කෞතුකාර පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

1890 දී උපත ලැබූ වැල්ලවත්තආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින් විසින් විජයබා කොල්ලය, සිරියාලතා, හිඟන කොල්ලා, කැලෑ හඳ, හඳපාන, දෛවයෝගය, සුනේත්‍රා හෙවත් අවිචාර සමය, රදළ පිළිරුව, ජුලි හත, පාසැල් ගුරුවරී, රිදී හවඩිය ඇතුළු නවකතා රැසක් රචනා කොට ඇති අතර, දෙයියන්නේ රටේ, ලේන්සුව, සක්විති රජ, අමෘත හස්තය, දළ කුමාරි, ජෙනීගේ කථාව සහ තවත් කථා ඇතුළු කෙටිකතා සංග්‍රහ ගණනාවක් ද රචනා කොට ඇත. සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව වන කැලෑ හඳ ඇතුළු නවකතා රැසක්ම සිනමාවට ද නැඟී තිබීම විශේෂත්වයකි.

එමෙන්ම, එක් දහස් එක් රැය හා වාල්මිකී රාමායණය මෙතුමන් අතින් සිංහල අනුවාදයන් ලෙස සම්පාදනය වූ අතර, සිරිසර, නුවණ, හා තිලක යන සඟරා මෙන්ම මායා යෝගය නම් දෘෂ්‍ය කාව්‍යක් ද මෙතුමන් අතින් රචනා වී ඇත.
හෙළ සාහිත්‍ය කලා කෙත පෝෂණයට ශ්‍රමය කැප කළ මහා ගත්කතුවර ඩබ්.ඒ. සිල්වා සූරින් අනුස්මරණය කෙරෙන මෙම සුවිශේෂී වැඩසටහන් මාලාව සමඟ ඒකාද්මික වන්නට සංවිධායක මඩුල්ල සාහිත හිතකාමී සැමට ගෞරවයෙන් යුතුව ඇරයුම් කරයි.







