leader s

හඳයාගෙ රාණි කියන්නෙ මං මගබලාගෙන හිටපු චිත්‍රපටියක්. ඒ තරම් කාලයක් තිස්සෙ ලංකාවෙ සිනමාව ඇතුලෙ පැහුණු ප්ලොට් එකක්.
දැවැන්ත අධ්‍යක්ෂවරුන් දෙන්නෙක් සිතේ මැවුනු නමුත් සැබෑ නොවුනු සිනමාවක්. ඊට පස්සෙ හඳයා අතට අහම්බෙන් ලැබෙන අභියෝගයක්.

අධ්‍යක්ෂවර‍ැන් මාරු වුනාට චිත්‍රපටියෙ රාණි මාරු වෙන්නෙ නෑ. කවුරුන් එක්ක නිදිවැදුනත් දරුවා මගේ කියන අම්මා කෙනෙක් වගේ ස්වර්ණා මේ චරිතය දරාගෙන පිරිමි අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙක් තරණය කරනවා. දරුවා බිහිකරන්නෙ හඳගම.
 
Raniii
 
මේ චිත්‍රපටිය පටන් ගනිද්දි මගේ ඇස්වලට කඳුළු ආවෙ ස්වර්ණා කියන නිළිය මේ චරිතය වෙනුවෙන් කළ ඇදහිය නොහැකි කැපකිරීම මතක් වෙලා. ඒක පූජාවක් වගේ. ලංකාවෙ නිළියක් චරිතයක් වෙනුවෙන් කරපු සුවිසල්ම කැපකිරීම කියල කියන්න පුළුවන්. රාණි කියන සිනමා ව්‍යායාමයේ යෝධ සෙවනැල්ල ස්වර්ණා.
හදයා හරියට සෙන් ගුරුවරයෙක් වගේ රාණි නිර්මාණය කරනවා. අර සුවිසල් දේශපාලන විස්තරාත්මක බාහිරය වෙනුවට රාණිගේ අභ්‍යන්තරය ස්පර්ශ කරනවා. මහා වියමනක් මැද්දට මයික්‍රො කියවීමක් ඇතුව ඇතුල් වෙනවා.

තමන්ගේ දරුවා අහිමිවෙන ජීවිතයේ අතිරික්තයක් සහිත නාගරික ගැහැණියයි රාණි. එහෙම චරිතයක් මෙතෙක් ලංකාවෙ සිනමාවට නැගිලා නෑ. අපි හැමදාම දකින්නෙ තමන්‍ගේ දරුවා එකම ජීවිතය වුනු ගැමි මවගේ අහිමි වීම. ඒත් රාණි එහෙම නෙමෙයි.
 
රාණි චිත්‍රපටියේ trailer එක එළිදකී (වීඩියෝ)
අපි හැමදාම දකින්නෙ තමන්ගේ එකම ‘පිරිමි’ දරුවා අහිමි වීමෙන් කම්පා වෙන ගැමි ‘අම්මාගෙ’ කතාව. හඳයා නිර්මාණය කරන්නෙ තමන්ගේ ‘සමලිංගික’ පුතා අහිමි වීමෙන් කම්පා වෙන නාගරික ‘ගැහැණියගේ’ කතාව. අම්මාට වඩා අතිරික්තයක් ගැහැණියට තියෙනවා. ගැමි අම්මා ඒ දුකෙන් වැලපි වැලපී සිහිසුන් වෙද්දි රාණි ඒ දුක දේශපාලන මෙහෙයුමක් බවට පෙරලනවා.

රාණි ගැන දකින බොහෝ කන්කෙඳිරිගෑම්වලට හේතුව හඳයා කරන මේ සබ්වර්ෂන් එකයි. ලිංගික දේශපාලනය ඇතුලෙ පිටත දේශපාලනය කුඩා කිරීමයි. රාණි ඇතුලෙන් ප්‍රේමදාසට සහ පුළුවන් නම් රනිල්ටත් එක්ක ඉමෝෂනල් පහර දීමක් බලාපොරොත්තුවෙන් සිනමාශාලාවට එන මාලිමාලෝලියෙක් නම් කුඩුසංසාර වෙනවා.
 
හඳයා රාණි ඇතුලෙ සමලිංගික පුතෙක් සහ දොස්තර අම්මා කෙනෙක් අතර අසම්මත සම්බන්ධතාවයක් දිගහරිනවා. ඒ අපි දැකලා විඳලා කවියට ගීතයට දේවත්වයට නගලා තියෙන අම්මා පුතා සම්බන්ධය නෙමෙයි. එකට විස්කි බොන, යාලුවො වගේ ඇසුරු කරන, අනෙකාගේ නිදහසට සීරීමක්වත් නොවන්නට වගබලාගන්නා අම්මෙක් සහ පුතෙක් අතර සම්බන්ධයක්. එකිනෙකා මත වැටුනු, අනෙකාට බරක් වුනු සාම්ප්‍රදායික සම්බන්ධයක් නෙමෙයි. ඒක නිදහස මත පවතින සම්බන්ධයක්. දියුණු නාගරික මව්-පුතු සම්බන්ධයක්.
 
මට රාණි සහ රිචඩ් මුනගැහෙන්න අවස්ථාවක් නොලැබුනත් මං මීට කිට්ටුසම්බන්ධයක් දැකලා තියෙනවා සුනිලා සහ එයාගෙ පුතා සංජය අතර. එහෙම සම්බන්ධයක් ගොඩනැගෙන්න නම් ඒ අම්මා තුල තියෙන්න උවමනායි අතිරික්තයක්. සියල්ල පුතා කේන්ද්‍ර කරගත් ජීවිතයක් නෙමෙයි. අම්මාට පිටතින් පවතින ගැහැණිය ජීවත් වෙන්න ඕන. අපි දැකලා තියෙන්නෙම අම්මාකම වෙනුවෙන් ඒ ගැහැණිය මරාදැමූ මිනිස්සු.
 
රිචඩ්ව හොයාගෙන රාණි බලන්න යන අයත් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. රිචඩ් කියන්නෙ රාණිගේ කො‍ටසක් විතරයි. හඳයා රාණි තුල පවතින රිචඩ් ‘නොවෙන’ විශාල කොටසක් පෙන්නනවා. එයා තනියම ඉන්න පුළුවන් ගැහැණියක් බව පෙන්නනවා. එයාගෙ ලෝකය ඇතුලෙ පිටත පවතින ප්‍රේමදාසගේ ලෝකය පවතින්න පුළුවන්කමක් නෑ. රිචඩ්ව පැහැරගෙන යද්දී පවා ඇයට ඒක විශ්වාස කරන්න බැරි වෙනවා.
 
‘එහෙම කොහොමද අරගෙන යන්නෙ?’

එහෙම නැතත් දුරකතන ඇමතුමක් දෙන සැනින් සියල්ල නැවත නිවැරදි කරන්න පුළුවන් වගත් ඇය දැනගෙන හිටියා වෙන්න පුළුවන්. ඒ තරමට ඇය පාලනයේ ඉහළම තැන් එක්ක සම්බන්ධයි.
 
475745289 122466686366001074 98297906160925080 n
නමුත් රාණිගේ සුන්දර ලෝකය ඇතුලට ප්‍රේමදාසගේ කරුවල ලෝකය කඩා පනිනවා.
 
රිචඩ් හඳග‍මගෙ රාණි ඇතුලෙ විශාල චරිතයක් නෙමෙයි. රිචඩ් කියන්නෙ අසාධාරණයට එරෙහිව ආවේගයෙන් මත්වුනු තරුණයෙක් විතරයි. ඒක ඒ වයසෙ විප්ලවකාරීත්වය. තමන්ගේ සමරිසි ප්‍රේමයේ ගවේෂණයත්, තමන්ට නොතේරෙන වෙනස් පංතියක තරුණයන් වෙනුවෙන් උත්තරා‍රෝපිත යුක්තිය පිළිබඳ හැගීමකුත් අතර ගතවෙන තාරුණයෙක් රිචඩ්. රාණි වගේම රිචඩුත් පොලොවේ දේශපාලනය දැනගෙන හිටියෙ නෑ. ප්‍රේමදාස-ජවිපෙ යුගයේ කරුවල ගැන තක්සේරුවක් තිබුනෙ නෑ.
හඳයාගේ චිත්‍රපටිය ඇතුලෙ රිචඩ් මරා දමන්නෙ ප්‍රේමදාස නෙමෙයි. ප්‍රේමදාස – ජවිපෙ යුගයේ අන්ධකාරයයි. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වරද නොපැවරීම බොහොමයක් මේ යුගයේ බොළඳ විප්ලවවාදීන්ගේ දොම්නසට හේතුවෙන්න පුළුවන්. ඒත් හඳගම කියන්නෙ පරිණත නිර්මාණකරුවෙක් මිස බොළඳ වාමාංශික විප්ලවකාරයෙක් නෙමෙයි. ඒ වගේම හඳගම තමන්ගේ නිර්මාණ හිතුවක්කාරකම ඇතුලෙ නරඹන්නා විසින් අපේක්ෂා කරන දේ කෘතිය තුල නොදී මගහරිනවා. ඒ ඉල්ලන සිල්ලර යුක්තියේ ආස්වාදය හඳයා රාණිගෙන් ලබන්න දෙන්නෙ නෑ.

රාණි ඇතුලෙ ඉතාම චමත්කාර විදිහට අපිට දන්න කියන නූතන දේශපාලනයේ චරිත මුනගැහෙනවා. තරුණ මහින්ද, මංගල, ලලිත් වගේම ප්‍රේමදාසත් ඉන්නවා. පෙන්නන්නෙ නැති වුනාට රංජන් විජේරත්නත් ඉන්නවා. අපි සිනමා තිරය මත විජයබාහුලා පරාක්‍රමබාහුලා දැකලා තිබුනට නූතන පාලකයන්ව දැකලා නෑ. ඒ චරිත සිනමා තිරය මත ප්‍රතිනිර්මාණය කිරීම ආස්වාදනීය වගේම හරිම නැවුම් අත්දැකීමක් වෙනවා.
 
474930159 3957294544551539 3507004319194138045 n
 
මහින්ද මහරජානෝ බිහිවීමට පෙර තරුණ වාමාංශික නායකයා අපිට රාණි එක්ක මුනගැහෙනවා හරිය. දේශපාලනයට අවතීර්ණ වුනු තරුණ ජේත්තුකාර මංගලත් ඉන්නවා. අද වගේම එදත් මංගල කඳවුරු අතර පාලම් බඳිනවා. ප්‍රේමවන්ත, සංවේදී හිතැති ලලිත්, රාණි ළග නිතර ඉන්නවා. මේ මොහොතවල් දේශපාලනයේ ප්‍රවෘත්තිමය දුරස්ථ මොහොතවල් විදිහට ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට ඒ අයගෙ පුද්ගලික කන බොන කතාබහ කරන තැන් ඇසුරෙන් ඒ අයගෙ ‘යුනික් ට්‍රේට්ස්’ ඉස්මතු කරමින් නිර්මාණය වෙලා තියෙනවා. හඳයා පුළුවන් තරම් ප්‍රවෘත්තිමය කාරණා මගහරිනවා. ප්‍රවෘත්තියක් විදිහට ස්පර්ශ වෙන්නෙ ප්‍රේමදාස විතරයි.
රිචඩ් පැහැරගෙන ගිය තැන පටන්කොතනවත් රාණි හඩාවැටෙන්නෙ නෑ. දුක පිටතට පිටකරනවා වෙනුවට ඇය හුදකලාව, දුක තමන් ඇතුලට උරාගන්නවා. රාණි හඩාවැටෙන්නෙ ලලිත්ගේ මරණයේදි විතරයි. ලලිත් මළ බව කියන්නෙත් ඇගේ හැඩීමම විතරයි. ඒ පෙම්වතෙක් අහිමිවීමනිසාද නැත්නම් මිතුරෙක් අහිමි වීම නිසාද යන්න ගැන චිත්‍රපටිය නිශ්චිත නෑ.
 
475734627 2487302421601600 4947644651969141042 n
හඳයා මේ සියලු සැබෑ චරිතවලට බැහැරින් එක් ප්‍රබන්ධමය චරිතයක් ඇතුල් කරනවා. ඇය සිතින් රිචඩ්ට ආදරය කරන තරුණියක්. ඇගේ දරුවා බිහිකරන්න සහාය වෙන දොස්තර රාණි. ඒ දරුවා ඇගේ කුස තුල වැඩෙද්දී ඇගේ සැමියා මරා දමන්නේ ජවිපෙන්. රිචඩ්ව මරා දමන ප්‍රේමදාස අන්ධකාරයේ අනෙක් පාර්ශ්වකරුවා ජවිපෙ. හඳයා අන්ධකාරයේ තනි අයිතිය ප්‍රේමදාසට පවරා දෙන්නෙ නෑ.

මේ ප්‍රබන්ධමය කාන්තාව සිංදු හදන ඇගේ සැමියාට බැහැරින් රිචඩ්ට සිතින් පෙම්කරනවා. සැමියා තමන් ළගම සිටියත්, දුරින් වෙනකෙකුට පෙම්කරන ඇය ගැන රොමාන්තික සිංදු හදනවා. රාණි මෙන් ඉහල පාංතික නොවුනත් මේ තරුණියත් අතිරික්තයක් ඇති ගැහැණියක්. මං හඳයාට විශේෂයෙන්ම ආදරය කරන්නෙ මවක් බිරිඳක් හැටියෙන් නිශ්චිත භූමිකාවල මිය නොගිය ගැහැණුන් නිර්මාණය කිරීම වෙනුවෙනුයි. ඒ අය විවාහය ඇතුලෙත් ඉන් පිටතත් දිගටම ප්‍රේම කරනවා.

රාණි තමන්ගේ දමනය කළ නොහැකි ගැහැණුකම ඉදිරියේ සැමියා දික්කසාද වූ බව කියන්නෙ හිනාවෙවී.

‘ඉතින් දැනුත් හිතෙන් ආදරයකරන අය නැද්ද?’

තරුණිය රාණිගෙන් අහන්නෙ දඟකාර විදිහට, සමවයස් මිතුරියක් වගේ.

‘ඉන්නවා. එයා මැරීඩ්’

රාණි තමන්ගේ විශාල ගැහැණු හදවත ගැන කියන්නෙ විවෘත කෙටි දෙබසකින්.
 
Asoka Handagama 03
 
හඳයා සිනමාකරුවෙක් විදිහට හරිම තරුණ වැඩ ටිකක් රාණි ඇතුලෙ කරනවා. තමන්ගෙම මාඝාත නාට්‍යය මේ චිත්‍රපටියෙ වීරවරිය, රාණි ලවා හාස්‍යයට ලක් කරනවා. රිචඩ් මාඝාත නරඹා පිනාගොස් සිටිද්දී රාණි කියන්නෙ ඒ ආර්ට් නෙමෙයි හුදු ‘ප්‍රොපගැන්ඩා’ වැඩක් බවයි. රිචඩ් සහ රාණි අතර පරතරය මාඝාත කළ හඳයා සහ රාණි කළ හඳයා තරම් දුරයි. මේ විදිහෙ ‘සෙල්ෆ් පැරඩි’ වැඩ අපේ සිනමාවට ආගන්තුකයි.
ප්‍රේමදාස යුගය අවසන් වෙමින් චන්ද්‍රිකා යුගය කරලියට එනවා. ඒ යුගය නිර්මාණය කරන්නේ මහින්ද. ප්‍රේමදාස දුෂ්ටයා වන විට වීරයා වුනු රාජපක්ෂ අද ලොකුම දුෂ්ටයා බවට පත්වෙලා තියෙනවා. යුක්තිය වෙනුවෙන් පැමිණි පිරිසම අද අයුක්තිය බවට පත්වෙලා තියෙනවා. මේ වීරයා දුෂ්ටයා බවට පත්වීමේ පරිණාමය විසල් තිරයක් මත දැකීම මාලිමාවෙන් පසු බිහිවෙන අලුත් රටක් ගැන ළාබාල පැතුමෙන් පිරුණු තරුනෙකුගේ හඳුන්පොත රිදවන්නක් වෙන්න පුළුවන්.
 
 
චිත්‍රපටිය 90 දශකයේ නිසාම ආර්ට් ඩිරෙක්ෂන් කියන්නෙ ලොකු වැඩක් වෙනවා. හැම පොඩි දෙයක්ම ඒ දශකයට ටයිම් ට්‍රැවල් කරන්න වෙනවා. 89-90 ගැන කරපු සියලු සිංහල චිත්‍රපට අසමත් වුනු තැනක් මේක. රාණි මේ අභියෝගය ඉතාම සාර්ථකව ජයගන්නවා. ඒ වෙනුවෙන් බිමල් දුෂ්මන්තට ක්‍රෙඩිට් එක හිමි වෙන්න ඕන. තෝරාගත් අවම සීමිත කලාප ඇතුලෙ ඉතාම මැනවින් සිතා බැලීමකින් යුතුව පසුතලයන් නිර්මාණය වෙලා තියෙනවා.
 
මේ සංගීතයට වඩාත් ගැලපෙනම තෝරාගැනීම රෝහණ වීරසිංහ. 88-89 යුගය කියන්නෙ තාරුණ්‍යය ආවේගයෙන් මුසපත් කළ නන්දා මාලිනීගේ පවන යුගය. රෝහණ කියන්නෙ ඒ යුගයේ පුරෝගාමියෙක්. හඳයා චිත්‍රපටිය අවසානයේ රෝහණ විසින්ම සංගීතවත් කළ, නන්දාගේ හඩ බදුවම ඇසෙන ගීතයක් යොදාගැනීම එදා අරුත් මෙදා අරුත් ගලපමින් රෝමෝදගමනය කරවන්නක්.
 
චිත්‍රපටියෙ මං කැමතිම නාමාවලියෙන් පසුව ‘කම්බැක්’ එකක් ලෙස දිගහැරෙන දර්ශනයටයි. එය යොමුවන්නේ රිචඩ් මරා දමනු පිනිස එන මැරයන්ගේ ජීප් රථය ඇතුලටයි. රිචඩ් යනු කරදරකාරයෙක් යැයි ලොක්කා කී පමණින් එදා රෑ රිචඩ් මරා දැමීමේ විධානයක් නොලත් තීරණය ක්‍රියාත්මක කරන්නේ ඔවුන්. අන්ධකාරයේ ස්වභාවය වන්නේම වියවුලයි. එය නිශ්චිත තීන්දු තීරණ ඉහල සිට පහලට ක්‍රියාත්මක වෙන කලාපයක් නෙමෙයි. පිස්සු බල්ලන් නිදහසේ සපාකෑමට ලෙහා දැමීම එහි ක්‍රියාකාරීත්වයයි. මැරයන්ගේ බීමත් ප්‍රචන්ඩ විනෝදය සහ, රිචඩ් ‘පොන්නයෙක්’ වීම, ඒ ඝාතනය ඒ මොහොතේ සිදුවීමට හේතු වෙනවා. ඒක සිනමාත්මක යෝජනාවක්.

මැරයන් එන්නේ ‘යදමින් බැඳ විලංගු ලා’ සිංදුව ජීප් එකට තඩිබාමින් විනෝදයෙන් ගායනා කරමින්.ඒක හරිම රූපකමය යොදාගැනීමක්. නන්දාගේ ගීත විප්ලවීය තරුණයන් වගේම ඔවුන්ගේ මැරයනුත් එකසේම විඳිනවා. ආන්ඩුවේ මැරයන් වගේම දේශප්‍රේමී මැරයනුත් ‍එකම සංගීතයෙන් මෙහෙයවෙනවා.

රාණි කියන්නෙ 88-89 දිහා ස්ත්‍රීමය කෝණයකින් හැරී බැලීමක්. රාණි දේශපාලනික පිරිමිබව වෙත අරන් යනවා වෙනුවට හඳයා රාණි කියන ගැහැණිය තිරය මතට අරන් එනවා. මේ සෙක්සොපොලිටිකල් වෙනස් ස්ථානගත කිරීම නරඹන දේශපාලන පිරිමින් අවුල් කරන්නට නියමිතයි. හඳගම කියන්නෙම ඒ අවුලට.

රාණි කියන්නෙ ලංකාවෙ බොහෝ කලකින් බිහිවුනු ‘classy’ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. චිත්‍රපටියෙ කැමරාව, සංස්කරණය මේ හැම දෙයක්ම ඒ ඔසවා තැබීමට හේතුවෙනවා.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -facultyofsex)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්