(වීරයෙක් දුෂ්ටයෙක් බවට පත්වීම සහ දුෂ්ටයාව හිදිමින් පැරණි වීරයා දෙස හැරී බැලීම)
අශෝක හඳගම මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද වෛද්‍ය මනෝරානි සරවණමුත්තු චරිතය පාදක කරමින් එළිදැක්වුණ “රාණි“ චිත්‍රපටය බිරිඳ සමඟ මා ඉතා කැමැත්තෙන් හා කුතුහලයෙන් යුතුව නැරඹුවෙමි.
අදින් වසර 35 කට පමණ පෙර 1989 පෙබරවාරි මාසයේ දෙවන වර පාර්ලිමේන්තුවට තේරී පත්වූ කාල වකවානුව තුළ මා පිළිබඳ කතාබහ පැතිරුනේ මුරණ්ඩු මානව හිමිකම් සටන්කරුවෙකු ලෙසිනි. “පාද යාත්‍රා“ ජන උද්ඝෝෂණ මාලාවේ ප්‍රධාන ඉල්ලීම් හතරෙන් එකක් වූයේ ද 1988 - 90 කැරලි සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් වගවීමය.

වරක් මා අතුරුදන්වූවන් පිළිබඳ ලේඛන ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙනයමින් සිටියදී ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණි. කඳවුරක් ලෙසින් අවස්ථානුකූලව සූක්ෂම ව අප ඒ අවස්ථාවන්ට මුහුණ දුන්නෙමු. ඒ මාගේ දේශපාලන ජීවිතයේ රස කතාය.
1990 දියත් කළ මවුවරුන්ගේ පෙරමුණේ කැඳවුම් කරුවෙකු ලෙසින් එදා මා කටයුතු කළෙමි. “මවුවරුන්ගේ පෙරමුණ“ එඩිතර මව්වරුන්ගේ කදුලේ ද , ශක්තියේ ද එකමුතුවයි. එහිදී මා සමඟ කටයුතු කළ මිත්‍ර මංගල සමරවීර ඇතුළු සියළු සටන් සගයන් ගෞරවයෙන් සිහිපත් කරමි. මේ සියල්ල ජනතාව අතර ගෙවීගිය මාගේ තුරුණු දේශපාලන ජීවිතයේ කිසිදා අමතක නොවන සුවිශේෂී සංධිස්ථාන වේ.

“රාණි“ චිත්‍රපටය තුළ මාගේ චරිතයට බිමල් ජයකොඩිගේ විශිෂ්ඨ රංගන දායකත්වය මෙම අතීතය නැවතත් සිහි කිරීමටත් ඒ තුළ නැවත නැවතත් මා ජීවත් කරවීමටත් තරම් ප්‍රබල වූයේය. සියළුම නිර්මාණවේදීන්ගේ කෞෂල්‍යයට මා මේ අවස්ථාවේ සුබ පැතුම් එක් කරමි.
(මහින්ද රාජපක්ෂ)
(උපුටා ගැනීම - චින්තන ධර්මදාස ගේ ෆේස්බුක් පිටුවෙන්..)






