මේ දවස්වල සාහිත්‍ය ක්ෂේත්‍රයේ හැම තැනක ම වගේ කතා වෙන්නෙ ස්ර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන සඳහා විදර්ශන ප්‍රකාශන ආයතනය
විසින් මෙහෙයවනු ලබන විදර්ශන ත්‍යාගයට හිමිකම් කියූ හෝ කෙටි ලයිස්තු ගත වුණ කිසිම කෘතියක් බාර ගන්නෙ නැති එක ගැන.
මේ සිද්ධියෙන් පස්සෙ ලේඛකයින් කිහිප දෙනෙක් ම තම තමන්ගෙ කෘති ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන ක්‍රියාවලියෙන් ඉවත් කරගන්නා බවත් ප්‍රසිද්ධ කරල තියෙනවා. ඒ අතරට අලුතින් ම එකතු වෙලා තියෙන්නෙ 2024 වසරෙ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි ප්‍රධාන අමුත්තා වුණ මහාචාර්ය සසංක පෙරේරා. ඔහුගේ කාති නොමැති වුනත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුගේ අදහස දන්වලා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වෙත ලිපියක් යොමු කරල තියෙනවා. ඒ ලිපිය ඔහු තමන්ගෙ Facebook ගිණුමේ ද පළ කර තිබුණා.
මේ ඔහු තම Facebook ගිණුමේ මේ සම්බන්ධයෙන් පළ කරල තිබුණ අදහස.
විදර්ශන ත්‍යාගය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය: තහංචියක ආදීනව
දිනේෂ් කුලතුංග මහතා
ලේකම්
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය
පැලවත්ත
හිතමිත්‍ර කුලතුංග මහතානෙනි,මා මේ ලිපිය ඔබට, ඔබගේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා ඔබ සංගමයේ සමාජික සාමාජිකාවන් වෙත ලියන්නේ, ඉහත දක්වා ඇති කාරණය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පසුගිය වසරේ ස්ථාපනය කළ ‘විදර්ශන ත්‍යාගය’ වැඩසටහන ඔස්සේ සම්මාන ලැබූ හෝ කෙටි ලැයිස්තුවකට ඇතුළත් වූ කිසිම අත්පිටපතක් හෝ පසුව මේවා අතුරින් විදර්ශන සමාගම විසින් පළ කළ කිසිදු කෘතියක් හෝ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක යන සම්මාන වැඩසටහන්වලින් ඉවත් කරන බව පවසා ඇත.
මේ තහංචිය මේ වන විට වසර 18 ක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජය ලැබූ අත්පිටපත් දක්වා ද ව්‍යාප්ත වී තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ, එය විදර්ශන ත්‍යාගය මත පනවා තිබූ තහංචිය සාධාරණීකරණය කිරීමට කළ කටයුත්තක් බවයි.
වසර තිහකට අධික කාලයක් මෙරටත්, ඉන් භාහිරවත් ලිවීමේ සහ පළකිරීමේ නිරත වූ අයෙක් හැටියටත් ගෝලීය ප්‍රකාශන භාවිත පිළිබඳ යම් දැනුමක් ඇති අයෙක් ලෙස හා යම් යම් අවස්ථාවල සමාජයේ අදහස් ප්‍රකාශ කරන අයෙක් ලෙසත් මේ පිළිබඳ නිහඩව සිටීම මා දකින්නේ අචාරධර්ම විරෝධී කටයුත්තක් වශයෙනි.
එමෙන්ම, බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ, මේ ගැන අදහස් දැක්වීමෙන් තම තමන්ට පුද්ගලිකව පාඩු සිදු විය හැකිය යන සාංකාව මතය. මටත් ඒ තත්ත්වය එසේම බලපෑ හැක. එනමුත් මේ වන විටත්, මීට විරෝධය පෑම සදහා අප රටේ කීර්තිමත් ලේඛයින් කිහිප දෙනෙක්ම තම කෘති මෙවර පැවත්වෙන ස්වර්ණ පුස්කත හා රජත පුස්කත සම්මාන වැඩසටහන්වලින් ඉවත් කර ගෙන ඇත. මංජුල වෙඩිවර්ධන, මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති, ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන, ආරියවංශ අබේසේකර වැනි ප්‍රකට ලේඛකයෝද එසේ තම කෘති ඉවත් කරගත් පිරිස අතර වෙති. මෙය බෙහෙවින් සාධනීය ලක්ෂණයකි. ඒ සියලු දෙනාට මගේ ආචාරය.
මා මේ අදහස් පළ කරන්නේ මේ සංවිධාන දෙක සමගම යම් දුරස්ථ වෘත්තීය සම්බන්ධතා තිබූ අයෙක් ලෙසයි. ඒ කුමදැයි කෙටියෙන් සටහන් කිරීම ප්‍රයෝජනවත් යැයි මා සිතමි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 2024 වසරේ පැවැත්වූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ප්‍රධාන ආරාධිතයා වූයේ මමයි. ඒ ආරාධනය කළේ ඔබය. අධික රාජකාරි මධ්‍යයේ වුව ද එම ආරාධනය භාරගන්නට මා තීරණය කළේ, ඔබ සංවිධානය මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් කරන සහ එම වැඩකටයුතු වඩාත් සාධනීය සහ දියුණු ආකාරයකින් ව්‍යාප්ත කිරීමට හැකියාවක් ඇති සංවිධානයක් සේ මා සැලකූ නිසාය.
මගේ ආරාධිත දේශනයේදී මෙරට පළකරන අගනා කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කර ගෝලීය ප්‍රජාවට යොමු කළ යුතු යැයි ද එහි වගකීම භාරගැනීමට වඩාත් සුදුසු ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය බව ද මා පැවසුවේ මේ නිසාය.
ඔබ සංගමයේ බොහෝ ඉහළ නිලධාරීන් එදා මෙන්ම ඉන් පසුවත් මගේ අදහස්වලට පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් එකඟ වී ඇත.නමුත් විදර්ශන සමාගම සහ විදර්ශන ත්‍යාගයේ සම්මානලාභීන් මත පනවා ඇති තහංචිය නිසා ඔබ සංවිධානය පිළිබඳ මගේ තිබූ විශ්වාසය සහ බලාපොරොත්තු බිඳ වැටි ඇති බව කණගාටුවෙන් වුවත්, පැහැදිලිවම කිව යුතුය.
එසේම 2024 දී දියත් කළ ප්‍රථම විදර්ශන ත්‍යාගය වැඩසටහනේ විධායක කමිටුවේ ද, පරිවර්තන කමිටුවේ ද මා ස්වේච්චාවෙන් කටයුතු කළ ද එකල මා විදේශගතව සිටි නිසා සහ මා කලින් සේවය කළ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාලයීය නිදහස හා සම්බන්ධ වෘත්තීය අර්බුදයක පුද්ගලිකව පැටලී සිටි නිසාත් මගේ රාජකාරිය නිසි අයුරින් කළ නොහැකි වීම අවාසනාවකි. මා දන්නා පරිදි මේ වැඩසටහනේ කිසිම වගකීමක් දැන් මා දරන්නේ නැත.
මගේ කිසිම කෘතියක් අද වන තෙක් විදර්ශන සමාගම විසින් පළකර නැත. එසේ කරන්නට බලාපොරොත්තුවක් මගේ සිතේ ද නැත. විදර්ශන සමාගමේ ප්‍රකාශන ප්‍රවේශයේ ඇතැම් අංග පිළිබඳ මට යම් ගැටළු තිබුණ ද ඒ කිසිත් සමාජගත වී ඇති කෘති හෝ විදර්ශන ත්‍යාගය වැඩසටහනේ අත්පිටපත් තීරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මට නැත.
එමගින් දිගු හා කෙටි ලැයිස්තුවලට අතුළත් වූයේ සහ අවසානයේදී සම්මාන ලැබුවේ ඊට සුදුසුකම් තිබූ අත්පිටපත් පමණි. ඒ ගැන මට කිසිඳු සැකයක් නැත.
මේ තත්ත්ව තුළ, මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල කාරයභාරක් කර ඇති සහ තවදුරටත් කළ හැකි සහ කළ යුතු මේ සංවිධාන දෙක මේ අනවශ්‍ය ගැටළුව නිරාකරණය කර ගත යුතුය.
දැනට සමාජගත වී ඇති තොරතුරු මගින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් විදර්ශන ත්‍යාගය හා ගොඩගේ වැනි අනෙකුත් අත්පිටපත් තරඟවලින් සුදුසුකම් ලැබූවන් මෙලෙස හදිසියේම ස්වර්ණ පුස්තක හා රජත පුස්තක ඇගයීමේ ක්‍රියාවලියෙන් නෙරපීමට තීරණය කළේ කුමක් නිසාද යන්න තවමත් පැහැදිලි කර නැත.මෙය අතිශයින් භායනක සහ අත්තනෝමතිකත්වය සංස්ථාගත කරන සහ සාධාරණීකරණය කරන තත්ත්වයකි. මෙය සියළු ලේකඛයින්ට කරන බලවත් අසාධාරණයක් මෙන්ම විශේෂයෙන් කුශලතා ඇති ආධුනික ලේකඛයින් අකර්මන්‍යය කරන අතිශයින් අනවශ්‍ය සහ පැහැදිලිවම වලක්වාගත යුතුව තිබූ වෘත්තීයමය නොවූ ක්‍රියාවකි.
කුමන හේතු මත මේ තීරණය ගත්ත ද මෙමගින් සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ කීර්තිය සහ සමාජ ප්‍රාග්ධනය තමන් විසින්ම සමාජය තුළ අවතක්සේරුවට ලක් කරගෙන තිබීම සහ ඊට සාපේක්ෂව විදර්ශන සමාගමේ ප්‍රකීර්තිය සහ සමාජ ප්‍රාග්ධනය බෙහෙවින් ඉහළ යාමට අවකාශ සලසා දීමය.
තව ද පිළිගත හැකි මටටමේ හේතුවක් නොදක්වා බොහෝ කාලයක් මුළුල්ලේ මෙරට ක්‍රියාත්මක වූ අත්පිටපත් තරඟ ජයගතවුන්ට මෙවන් තහංචියක් පැනවීම අතිශය ආචාරධර්ම විරෝධීය; පටුය.
ගෝලීය මට්ටමෙන් බලන විට ද පෙනෙන්නේ මෙය කිසිඳු පදනමක් නැති අභූත ක්‍රියාවක් බවයි.නමුත් මගේ විස්වාසය නම්, මේ ප්‍රශ්නය විසඳාගැනීමට තවමත් හැකියාව ඇති බවයි. කුමන හේතුවක් මත ගත්ත ද මේ තීරණය ගැටළුකාරී තීරණයක් නිසාත්, එමගින් පාඩු සිදුවන්නේ ලේකඛයින්ට සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ කීර්තියට නිසාත්, දැන් කළ යුත්තේ ස්වාධීන කමිටුවක් හෝ ඒක පුද්ගල කමිටුවක් පත් කර, මේ තීරණයේ පසුබිම සහ එමගින් ඉගෙන ගත හැකි පාඩම් මැනැවින් සොයා බලා, ගෙන ඇති තීරණය පදනම් විරහිත නම් අවලංගු කිරීමත්, කුමන හෝ හේතුවක් නිසා සාධාරණ නම්, ඊට හේතු සමාජයට පැහැදිලි කරදී තව දුරටත් පවත්වගෙන යාමත්ය.
නොඑසේ නම් සිදුවන්නේ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට සහ ඔබත් ඇතුළු එහි වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයට දීර්ඝකාලීන අපකීර්තියක් විඳීමට සිදුවීමය.
මගේ විශ්වාසය නම්, සංගමයේ අනාගතය ගැන සිතිමේදී මෙය අනවශ්‍ය දෙයක් බවයි.
මගේ අදහස්වලින් ඔබට යම් ප්‍රයෝජනයක් ඇතැයි මා සිතමි. මේ සම්බන්ධයෙන් මගේ මැදිහත්වීම කුමන හෝ මට්ටමකින් අවශ්‍ය නම්, කරුණාකර මට දන්වා එවන්න.
සමාජ කතිකාමය ප්‍රයෝජනය උදෙසා මේ ලිපිය සමාජගත කරන බව ද කරුණාවෙන් සලකන්න.
මීට විශ්වාසී,| සසංක පෙරේරා
| සමාජ විද්‍යාඥ සහ විශ්‍රාමික මහාචාර්ය

| සසංක පෙරේරා




