සම්මාන අරබයා සාහිත්‍ය ක්ෂේත්‍රයේ මතු වී ඇති සංවාදය පිළිබඳව සිය ස්ථාවරය දක්වමින් ලංකා ලේඛක සංවිධානය විසින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත 2025 පෙබරවාරි 06 වනදා ලිපියක් යවනු ලැබ ඇත.
නමුත් ලංකා ලේඛක සංවිධානය සඳහන් කරන පරිදි ඊයේ වන තුරු (24) එම ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය අපොහොසත් වී ඇත.
එබැවින් ලංකා ලේඛක සංවිධානය විසින් එම ලිපිය සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත.
මෙහි අත්සන් තබා ඇති ලංකා ලේඛක සංවිධාන සභාපතිවරයා වන කීර්තිති වැලිසරගේ ශ්‍රී ලංකා ජාතික කලා මණ්ඩලයේ ප්‍රධානියාවනන අතර, ලංකා ලේඛක සංවිධානයේ ලේකම්වරයා වන කමල් පෙරේරා වත්මන් රාජ්‍ය සාහිත්‍යය අනුමණ්ඩලයේ ප්‍රධානියා ය.
මතු දැක්වෙන්නේ ලංකා ලේඛක සංවිධානය විසින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යවනු ලැබ ඇති සම්පුර්ණ ලිපිය යි.
ලේකම්
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය
බත්තරමුල්ල.
මහත්මයාණනි,
වෙනත් සාහිත්‍ය සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ හෝ කෙටි ලයිස්තුගත වූ කෘති ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන ප්‍රදානයන්හි දී සලකා නොබැලීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර ඇති බැව් දැනගන්නට ලැබී තිබේ.
එකම කෘතියක් සම්මාන උළෙල කිහිපයක දී ජයග්‍රහණය ලැබීම බොහෝ කලක සිට මෙරට සාහිත්‍ය ක්ෂෙත්‍රයේ දක්නට ලැබෙන ලක්ෂණයකි. එසේම එක සම්මාන උළෙලකින් ජය ලබන කෘතියක් වෙනත් උළෙලක දී ඇගයුමට ලක් නොවන අවස්ථා ද බහුලය. අදාළ විනිශ්චය මණ්ඩල විසින් ගනු ලබන තීරණ ප්‍රශස්තම තීරණ නොවුණත්, ඒවා පිළිබඳ විටින් විට වාද විවාද පැන නැඟුණත් දිගු කලක සිට සම්මාන ප්‍රදානයන්හි දී අනුගමනය කර තිබෙනුයේ මෙවන් පිළිවෙතකි. එබැවින් එම පිළිවෙත කඩ කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගමය විසින් ගනු ලැබ ඇති තීරණය පිළිබඳව ලාංකික ලේඛක ප්‍රජාවගෙන් බහුතරයක් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව සඳහන් කරනු කැමැත්තෙමු.
තවද, ඔබ සංගමය බඳු ප්‍රකට ප්‍රකාශක සංගමයක් කෙරෙහි ලේඛක සමාජය පමණක් නොව පාඨක ජනයා තබා තිබූ විශ්වාසය ද මෙම තීරණය හේතුවෙන් පළුදු විය හැකි බව අපගේ විශ්වාසය යි.
මෙම සියලු කරුණු සලකා බලා සම්මානයට පාත්‍ර වූ හා කෙටි ලයිස්තුගත වූ කෘති ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන ප්‍රදානයන්හි දී සලකා නොබැලීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගෙන ඇති තීරණය අවලංගු කිරීමට ඔබ සංගමය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
අත්සන් කළේ,
කීර්ති වැලිසරගේ - සභාපති
කමල් පෙරේරා - ලේකම්
ලංකා ලේඛක සංවිධානය
සබැඳි ලිපි :
මහාචාර්ය සසංක පෙරේරා වෙතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වෙත ලිපියක්
පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික තීන්දුවට ලේඛක විරෝධය
පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව.. | Manjula Wediwardena






