ප්‍රියලාල් සිරිසේන විසින් රචිත ‘දෙයියන්ගෙ ඇතා’ නම් කෘතිය අප නිතර දකින නවකතාවල ස්වරූපයට වෙනස් වූ, අලුත් ම ආකාරයේ ආකෘතියක් රැගත් කෘතියක් ලෙස හැඳින්විය හැකි ය.
ආකෘතිය මෙන්ම එහි අන්තර්ගතය ද වෙනස් ස්වභාවයක් උසුලයි. බැලූ බැල්මට ඓතිහාසික නවකතාවක් ලෙස පෙනුණ ද මෙය බොහෝ ව්‍යංගාර්ථ දනවන වෙනස් ආකාරයේ කතාවක් ලෙස හැඳින්විය හැකි ය.
මෙම නවකතාවට පදනම් වන්නේ 1814 වර්ෂයේ ලංකාවේ පැවති දේශපාලන වටපිටාව ය. මෙම කාලවකවානුව එක් අතකින් ඉංග්‍රීසීන් විසින් ලංකාවේ කඳුකර පළාත් අල්ලා ගැනීමට තැත් කරමින් සිටි කාලය යි. අනෙක් අතින් කන්ද උඩරට රාජධානියේ රජු සහ රදල ප්‍රධානීන් අතර බරපතළ විරසකයක් මතුව තිබූ වකවානුවකි. මෙම වාතාවරණය තුළ ඇහැළෙපොළ නිළමේ බඳු රදල ප්‍රධානීන් ඉංග්‍රීසින්ගේ සහාය ඉල්ලා සිටියේ රාජ්‍යත්වය දැරූ නායක්කර් වංශය නෙරපා දැමීම සඳහා ය.
ප්‍රියලාල් සිරිසේන
කතුවරයා විසින් පසුබිම් කරගනු ලබන්නේ මෙම දේශපාලන වටපිටාව ය. කෙසේ වුව ද ඔහු මෙය ඓතිහාසික කතාවක් ලෙස හැඳින්වීමට උත්සුක නොවේ. කතාවේ සෑම පරිච්ඡේදයක් තුළ ම පාඨකයාට රසවිඳිය හැකි කතා පුවතක් ඉදිරිපත් කරමින්, පියවරෙන් පියවර මෙම නවකතාව ගොතා ඇත. පරිච්ඡේද සියල්ල ම කියවන පාඨකයාට නැවත සම්පූර්ණ කතාව ගොතා ගැනීමට හැකි ය.
මෙම සියලු ම කතා පුවත් ඒකාබද්ධ කරන හුයක් ලෙස දිව යන්නේ සද්දන්ත හස්තියකු පිළිබඳ කතා පුවත ය. කතාවට අනුව රජු විසින් තමන්ගේ මඟුල් ඇතා ලෙස තබා ගැනීමට මෙම හස්තියා අල්ලා ගැනීම සඳහා ඇහැළෙපොළ නිලමේ වෙත අණ කරයි. නමුත් කතුවරයා ඇත්ත වශයෙන් ම අප වෙත ඉදිරිපත් කරන්නේ මඟුල් ඇතකු පිළිබඳ කතාවකට වඩා වෙනත් ගැටුම් සමූහයක් සහිත කතා පුවතකි.
මෙහි මුල් පරිච්ඡේදය තුළින් අප වෙත ඉදිරිපත් වන්නේ මෙම වකවානුවේ එංගලන්තයේ සිට කොළඹ කොටුව වෙත පැමිණි දඩයක්කාරයකු පිළිබද කතාවකි. ඔහු හමුදා නිලධාරියෙකු ද වේ. ඔහු වෙත පැවරෙන චරපුරුෂ දූත මෙහෙවරක් සදහා ඔහු සබරගමුව වෙත ගමන් කරයි. කතාවේ කේන්ද්‍රය වන හස්තියා ඔහුට අභිමුඛ වන්නේ මෙහි දී ය. දඩයම් කිරීමේ ආශාව පාලනය කරගැනීමට නොහැකි නිසා ම අවසානයේ ඔහු ඇතා ට වෙඩි තබයි. මෙමගින් ඇතිවන දේශපාලන වියවුල ඉන් ඉදිරියට දිග හැරෙයි.

එක අතකින් මෙම ඇතා අල්ලාගැනීමේ රාජකාරිය භාරදුන් ඇහැළෙපොළ ඇතුලු පිරිස මෙයින් ගැටලුවකට මැදි වෙති. සිද්ධියෙන් කිපුණු රාජසිංහ රජු සබරගමුවට සේනාවක් එවයි. නමුත් මෙම කතාවේ දී විවරණය වන්නේ ඇහැළෙපොළ සහ රජු අතර පවතින බල අරගලයට මැදි වෙන සාමාන්‍ය මිනිසා ගැන ය. සෑම අතකින් ම බල දේශපාලනයට සහ කුල පීඩනයට ද මැදිව ජීවත් වන ගැමියන්ගේ කතා පුවත මෙහි ඇතුළත පරිච්ඡේදවලට වස්තු විෂයය වෙයි. උදාහරණයක් ලෙස පොතේ දෙවන පරිච්ඡේදය වෙන් වන්නේ ඇතාට සම්මුඛ වන ටිකිරා නැමැති ගැමියා සහ ගම් භාර විදානේ ද එමෙන් ම අලිගාල් කාරයකු වූ පහමුණේ පණික්කලේ ද සම්බන්ධ පුවතකි.

දෙවන පරිච්ඡේදය ලියැවී ඇත්තේ වැඩවසම් පුරුෂමූලික සමාජය තුළ බැට කෑ ගැහැනියක් උමතු භාවයට පත්වීම පිළිබඳ කතා පුවතකි. කම්මල් වැඩ කරන ගැමි තරුණයෙකුගේ ඉරණම ද ඊට යා වී තිබේ.
‘කසකාර නිලමේ’ යනුවෙන් නම් කර ඇති, තුන්වන පරිච්ඡේදය වනාහී ආගම විසින් උත්කර්ෂයට නංවා ආරක්ෂා කරන ලද පීඩක රදලයෙකු පිළිබද කතා පුවතකි.
මේ ආකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් කතුවරයා අප ගෙනයන්නේ අලි ඇල්ලීමේ පුවතක් වෙනුවට වෙනත් සමාජ දේශපාලන ගැටුමක් පිළිබඳ කතා පුවතක් වෙත ය. ඔහු ඒ සඳහා ආවරණය සපයා ගන්නේ මඟුල් ඇතකු ඇල්ලීම පිළිබඳ කතාවකි. නමුත් එය හුදෙක්ම කතාව කියවාගෙන යෑම සදහා පාඨකයා පොලඹවන එක් සාධකයක් පමණි.
අධිකාරී බලය දරන විදානේ, කෝරාළ, නිළමේවරු සහ දේපල හිමිකරුවන්ගේ අණසකට මැදිව ආගම දහමට අවනතව දිවි ගෙවන ගැමියා මෙහි සැබෑ කතාවේ කේන්ද්‍රීය චරිත වෙති.
(සටහන | චානක තිලකරත්න)






