සොඳුරු අනුරු අනුරුවකට සිනාවා
කොඳුර කොඳුර ඉන්නද කල්පනාවා
පඳුරු පඳුරු ගානේ මාළිමාවා
අඳුර විඳින කවියක් මම ගෙනාවා
විලට ඇදෙන බඹරුන්ටත් ගොරවාන
වියරු කුරිරු ගරු චරිතම රඟපාන
ගැඹුරු වඳුරු ජාතකයක මුනිඳාණ
තොපට අමතකද සකියනි නලපාන
සිංගාරං අඬයි ඉවසනු බැරි සද්ද
රාමායනේ මත මතකය කැලඹෙද්ද
ලංකාපුරය විදිලිය ලඟ ඇඹරෙද්ද
සංකා මකන් උඹ හනුමන්තද නැද්ද
හයිය මනිනවද කුණපෙක නිලමැස්සා
කයිය ගසන උන් කයියට ම ය දස්සා
පයිය රැකුණමුත් බුලතට හෙණ වැස්සා
තුයියකොන්ත දෙවියනි කෝ ආරස්සා
වාද පිට වාද ඇවිලුණු පානදුරේ
ආරි ධම්ම කවි ඇහැරුණු පානදුරේ
මේම ඇවිත් ඇයි වඳුරෝ පාලු කරේ
පාන කෝම මගහැරුණිද පානදුරේ
මේකා කවර උපතක රැදි වඳුරෙක්ද
බාගෙට ඉඳුණු බෙටි අඹ කන වඳුරෙක්ද
ඔය මැද කැන්ටිමෙන් වැළඳුව වඳුරෙක්ද
වැල් පාලමෙන් මෙගොඩට ආ වඳුරෙක්ද
නාහෙට අහන්නැති සාටර වඳුරෙක්ද
සාටක පොටක පිහිටට ආ වඳුරෙක්ද
චීනෙට යන්නැතුව හැංගුණු වඳුරෙක්ද
ලාලට බයේ දිවි නහගත් වඳුරෙක්ද
ලාලා දකින විට හැංගෙන රිලවුන්නේ
ලාලා සොමි පොරකි ඇයි උට බය වෙන්නේ
පාලා දත් කැකුළු නාලා වැවකින්නේ
නාලා ගිරි නෙවෙයි ලාලයි ඔය එන්නේ
ටිං ටිං සීනු නාදයටම පෙමැත්තෙනී
පිංපොං බෝල කැරකෙනවද ළමැද්දෙනී
කංකං බූරු දිව මතුරන ඇමැත්‍තෙනී
සිංසිංනෝරු වෙද වඳුරකු කැමැත්තෙනී
පලතුරු නොවිද මඟ හමුවුණු අතුපතර
කළුවර පතුරවනු කීවෙද මොන හතුර
අදමිටු පසමිතුරු වස විස යයි පැතිර
පුනරුද පුරේටම ආවේ ඇයි වඳුර !
(සටහන | මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
2025 පෙබරවාරි






