leader s

මිල්ටන් මල්ලවාරච්චිගේ මොනාලිසා ”උපුල් නුවන් විදහා සිනාසුණා”ට, ඩාවින්සිගේ මොනාලිසා එහෙම හිනා වුණේ නැහැ. පොඩ්ඩක් විරිත්තුවා විතරයි. ඒකත් ඔබට නොපෙනෙන යමෙක් ඔබේ පිටුපස ඉන්නවා වගේ ඔබේ උරහිසට උඩින් බලලා යාන්තමට ගුප්ත විදිහට.

කලාව කියන්නේ කොහොමටත් මද ගුප්ත බවක්, ව්‍යංගාර්ථ සැඟවුණු තැනක්.

අද සිට ආරම්භ වන රටෙත් ලෝකයේත් කලා ඉතිහාසය,  කලා තොරතුරු, පුවත්, චරිතාපදාන සහ කලාවේ නව මානයන් පිළිබඳ තොරතුරු ගෙනෙන මෙම ලිපි පෙළ ‘මොනාලිසා‘ ලෙස බෞතිස්ම වෙන්නේ එනිසයි. ඒ මොනාලිසා ආරම්භය මොනාලිසාගෙන්ම සනිටුහන් කරමු.

 

s l1200

මොනාලිසා යන ලෝ සුප්‍රකට සිතුවම කියන්නේ ලියනාඩෝ ඩාවින්සි ගේ අග්‍රගන්‍ය කළා කෘතිය. ඩාවින්සි සහ මොනාලිසා කියන්නේ මේ වන විට එකකින් තොරව අනෙක පමණක් වර නැගෙන නාම යුග්මයක් නෙමෙයි.

මේ සිතුවම වටා ගොඩ නැගුනු මතයන්, පසුබිම් කතන්දර, සොරකම් කිරීම්, නැවත ස්ථාපනය කිරීම්, සියදිවි නසාගැනීම්, අමුතු රසික හැසිරීම් ඇතුළුව අදටත් සුවිශාලම ගැටලුව වෙන්නේ කව්ද මේ මොනාලිසා කියලයි. මොකද මේ සිතුවම එහි වර්ණාථයන්ම ගුප්තයි. විටින් විට මොනාලිසා කව්ද කියන එක සම්බන්ධව පන නැගුනු අදහස් හා වාද විවාද බොහොමයක මූලික තොරතුරු අපි මේ වෙන විට දන්නවා.

 

HalsmanB99 1669 1

පසු කාලීනව Andy Warhol, Banksy, Csaba Markus, Michael Godard, Peter Max, Leslie Lew, Salvador Dali පවා මොනාලිසා සිතුවමෙන් උද්දීපනය වෙලා එම සිතුවම තමන්ගේ සංකල්ප වලට අනුව වෙනස් කරමින් නව නිර්මාණ රැසක් බිහි කරනවා. කොහොමවුණත් චිත්‍ර නිර්මාණයෙන් බැහැරව මොනාලිසා ගැන තව තව නව පර්යේෂණ කරන කිහිප දෙනෙක් ලෝකයේ මතබේදයට වගේම සාකච්ඡාවට භාජනය වන අපුරු කරුණු වගයක් එළි දක්වනවා.

අද ලිපිය ඒ ගැන;

මොනාලිසා සිතුවම සඳහා නිරූපණයෙන් දායක වෙන්නේ ගැහැනියක් නෙමෙයි. ඩාවින්සි ගේ සමලිංගික ප්‍රේමවන්තයෙක්!

 

mon1
මෙහෙම කියන්නේ ඉතාලි ජාතික පර්යේෂකයෙක් වන සිල්වානෝ වින්සෙන්ටි.  ''මොනාලිසා නිරූපණයට එක්වූ ගැහැණිය සොයන මිනිස්සු ඒක වැරදි පොටෙනුයි අල්ලගෙන තියෙන්නේ” ඔහු කියනවා. ඩාවින්සි ගේ දිගුකාලීන පෙම්වතා වගේම ගෝලයෙක් වුණු Gian Giacomo Caprotti ගේ රූප ලක්ෂණ ආභාෂයෙන් මොනාලිසා නිමවෙලා තියෙන බව තමයි වින්සෙන්ටිගේ අදහස. Caprotti පෙනී සිටි ඩාවින්සි ගේ අනෙකුත් සිතුවමුත් හොඳින් නිරීක්ෂණය කරලා මොනාලිසා දිහා බලන කෙනෙක්ට ඒ බව ඉතා හොඳින් පේන්න තියෙනවා කියන එක තමයි වින්සෙන්ටි අවධාරණය කරන්නේ.

මොනාලිසා ගේ ඇස් වල ඇත්තටම ඩාවින්සි කෝඩ් එකක් තියෙනවා!

මේ කරුණත් ඉදිරිපත් කරන්නේ වින්සෙටි ම තමයි.  ඉහත සඳහන් කරපු සමලිංගික පෙම්වතුන්ගේ කරුණ ඉදිරිපත් කරන්න පෙර වින්සෙටි කරපු මේ අනාවරණයේදී ඔහු කිව්වේ ඩාවින්සි මොනාලිසාගේ දෑස් මත කුඩා අංක සහ අකුරු වගයක්  සිතුවම් කරලා තියෙනවා කියලා. ඒ අකුරු අතර තියෙන LV, යන අකුරු අනුමාන වශයෙන් සිත්තරාගේ නමේ මුලකුරු සහ අග අකුරු බවත් B,S සහ අංක 149 යන සංකේතද දෑස් වල සිතුවම් කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. ඒ වගේම වින්සෙටි ට අනුව මොනාලිසා දෙනෙත් වල ඇඳ ඇති 72 අංකය  ආගම සහ ගුප්ත විද්‍යාව කෙරෙහි ඩාවින්සි ගේ ආශාව පිළිබිඹු කරනවා.

 

why is mona lisa so famous
මොනාලිසාගේ සතුටු අනුපාතය 83% යි

මෙහෙම කියන්නේ Trento විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන Nicu Sebe. හැඟීම් හඳුනාගන්නා මෘදුකාංගයක් භාවිතයෙන් කාන්තාවන්ගේ හැඟීම් ප්‍රකාශන පිළිබඳ ඔවුන් සතු දත්ත වලට සාපේක්ෂව මොනලිසාගේ මුහුණේ ඉරියව් සංසන්දනය කිරීමෙන් ඔහු පැමිණි නිගමනය තමයි ඇය 83% ක සතුටු හැඟීම් පෙන්වන බවයි. 9% ක් යම් පිළිකුලක්, 6% ක් යම් බියක් සහ 2% යම් කෝපසහගත බවක් ඇය පෙන්නුම් කරන බවට නිගමන වාර්තාවක් මේ මහාචාර්යවරයා එළිදක්වලා තිබෙනවා.  

මොනාලිසා හිටියේ ගැබ්ගෙන ?

 

05 ml co thehands 330x219

2006 දී, කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය විසින් මේ සිතුවමේ සවිස්තරාත්මක 3-D ස්කෑන් පරීක්ෂණයක් සිදු කළා. එහිදී අනාවරණය වුණේ ඇගේ ඇඳුමේ ”ඉතා සියුම් ගෝස් වැස්මක්” ඇති බව. මේ වගේ වැස්මක් ඇඳුමේ පළඳින්නේ එකල ගැබිණි හෝ ආසන්නයේ මවක් වූ කාන්තාවන් බවද සොයාගැනුනා. කොහොමටත් ප්‍රසිද්ධම මතයට අනුව මේ සිතුවම ලීසා ගෙරාඩිනි නමැති කාන්තාවගේගේ දෙවන පුත්‍රයාගේ උපත සැමරීම සඳහා ඇයගේ ධනවත් ස්වාමි පුරුෂයා විසින් ඩාවින්සි ලවා නිර්මාණය කරගන්නා ලද්දක්. මේ මතය තව දුරටත් තහවුරු වෙන්නේ  1959 දී බ්‍රිතාන්‍ය වෛද්‍යවරියක් විසින් මොනාලිසා ගැබ්ගෙන ඇති බව ඇගේ ”පිම්බුණු බෙල්ල” මත පදනම්ව නිගමනය කර තිබීමත් මතයි.

මොනාලිසාට හොඳටම කොලොස්ටරෝල්

 

davinci monalisa detail3
පලර්මෝ විශ්ව විද්‍යාලයේ සිසිලියානු වෛද්‍ය විශේෂඥ වීටෝ ෆ්‍රැන්කෝ ටයිම් තමයි මේ අනාවරණය කරන්නේ. ”මේක මේ සිතුවම ගැන කෙරෙන අවම කලාත්මක විස්තර කිරීම වෙන්න පුළුවන්, ඒත් මොනාලිසා හොඳටම කොලොස්ටරෝල් තිබ්බ කාන්තාවක් බව මට පේනවා” ඔහු කියනවා. කලා කෘති හැදෑරීමට තම වෛද්‍ය දැනුම භාවිතා කරන වෛද්‍ය විශේෂඥ ෆ්‍රැන්කෝ, කියන්නේ මොනාලිසා සිතුවමේ පෙනී ඉන්න කාන්තාවට අධික කොලොස්ටරෝල්  තිබු බවල සමට යටින් මේද තැන්පත් වීමේදී ඇස් වටා සෑදෙන xanthelasma නම් ගැටිති ඇගේ වම් ඇස වටා පෙනෙන්නට තිබීමත් සහ ඇගේ දකුණු අතේ මේද ගෙඩියක් පෙනෙන්නට තිබීමත් විසින් වඩාත් තහවුරු කරන බවයි.

ගැඹුරු, නාසික ස්වරයකින් කතා කරන මොනාලිසා

 



The Da Vinci Code චිත්‍රපටය රූගත කිරීමේදී ඩාවින්සි සහ මොනාලිසා යන දෙදෙනාගේම කටහඬ නැවත නිර්මාණය කිරීමට උත්සාහ දැරුණා. මෙහිදී ජපන් අධිකරණ වෛද්‍ය විද්‍යාඥ Matsumi Suzuki ඇතුළු කණ්ඩායම මොනාලිසාගේ මුහුණ සහ අත් මැනීමටත්, ඇගේ හිස් කබල නිරීක්ෂණ හා ප්‍රති නිර්මාණයටත් ඇගේ උස නිර්ණය කිරීමටත් සිතුවමේ ඡායාරූපයක් පරීක්ෂා කළා. එහි ප්‍රතිඵලයට අනුව ඇයගේ උස අඩි  5‘ 6 ක්. අනුමාන කටහඬ, ගැඹුරු නමුත් වඩා නාසික සහ පහත් ස්වරයෙන් යුතු හඬක්.

ඒ අනුව මොනාලිසා සිනහවටම හරියන ලෙස මදක් ගුප්ත ස්වරයෙන් කතා කළ ලඳක්. ඒත් ඇත්තටම මොනාලිසා කව්ද ?

පර්යේෂණාත්මක තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්