leader s

1980 සහ 90 දශකවල Top Gun සහ Batman Forever ඇතුළු දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට කිහිපයක ම ප්‍රධාන චරිත නිරූපණය කළ හොලිවුඩ් නළු වෑල් කිල්මර් වයස අවුරුදු 65 දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු 1991 වසරේදී The Doors චිත්‍රපටයට ද රංගනයෙන් දායක වූයේ, ජනප්‍රිය සංගීත කණ්ඩායමක ප්‍රධානියා වූ ජිම් මොරිසන්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කරමිනි. ඊට අමතරව Western Tombstone සහ අපරාධ සිද්ධි පාදක කර ගත් නාට්‍යයක් වන Heatහි ද රඟපෑවේ ය.

කිල්මර් අඟහරුවාදා ලොස් ඇන්ජලීස්හිදී නියුමෝනියාව හේතුවෙන් මිය ගිය බව ඔහුගේ දියණිය වන මර්සිඩීස් ඇමෙරිකානු මාධ්‍ය වෙත පැවසුවා ය. ඇගේ පියාට 2014 දී උගුරේ පිළිකාවක් ඇති බව හඳුනාගත් නමුත් පසුව සුවය ලැබූ බව ද ඇය පැවසුවා ය.

ට්‍රැකියෝටමි සැත්කම ඔහුගේ කටහඬට බලපෑ අතර ඔහුගේ රංගන ජීවිතය සීමා කළේ ය. එහෙත්, ඔහු 2022 වසරේදී Top Gun: Maverick චිත්‍රපටයේ ටොම් කෲස් සමග ප්‍රහාරක නියමු අයිස්මන් ලෙස ඔහුගේ භූමිකාව නැවත රඟ දැක්වීමට තිරයට පැමිණියේ ය.

63a4d820 0f85 11f0 b234 07dc7691c360.jpg 1995 Batman Forever චිත්‍රපටයේ කිල්මර් බැට්මෑන්ගේ චරිතයට පණ පෙව්වේ ය.

"නැවත හමුවෙමු යාළුවා. මට ඔයා නැති අඩුව දැනේවි," ඇමෙරිකානු රංගන ශිල්පී ජොෂ් බ්‍රෝලින් ඉන්ස්ටග්‍රෑම්හි තමා සහ කිල්මර්ගේ ඡායාරූපයක් පළකරමින් සටහනක් තබා තිබිණි.

2021 වසරේදී, කිල්මර් ඔහුගේ ජීවිතයේ සහ වෘත්තීය ජීවිතයේ උච්චතම අවස්ථා විස්තර කරන වාර්තා චිත්‍රපටයක් නිකුත් කළේ ය. කාන් චිත්‍රපට උළෙලේදී මංගල දර්ශනය ලෙස තිරගත කෙරුණු වෑල් නමැති වාර්තා චිත්‍රපටයේ, පිළිකා සැත්කමකින් පසු කෘත්‍රිම ස්වරාලයකින් කතා කිරීම ඇතුළුව වසර 40ක ගෘහස්ත පටිගත කිරීම් ඇතුළත් විය.


a0c5ccf0 0f85 11f0 ac9f c37d6fd89579.jpgකිල්මර් 1986 වසරේදී ටොප් ගන් (ඡායාරූපයේ දැක්වෙන්නේ ටොප් ගන් චිත්‍රපටයේ අවස්ථාවකි) සහ 2022 වසරේදී එහි දෙවන කොටස වූ ටොප් ගන්: මැවරික්හි ටොම් කෲස් සමග රඟපෑවේ ය.

1959 දෙසැම්බර් මස 31 වන දා උපත ලැබූ වෑල් එඩ්වඩ් කිල්මර්, ලොස් ඇන්ජලීස්හි මධ්‍යම පන්තික පවුලක හැදී වැඩිණි.

ඔහුගේ දෙමව්පියන් Christian Science නමැති ක්‍රිස්තියානි ව්‍යාපාරයක සාමාජිකයින් වූ අතර, කිල්මර් ඔහුගේ ඉතිරි ජීවිත කාලය පුරා ම එම ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියේ ය.

වයස අවුරුදු 17 දී, ඔහු ලොව වඩාත් ම කීර්තිමත් නාට්‍ය සංරක්ෂණාගාරයක් වන නිව්යෝර්ක්හි ජුලියර්ඩ් පාසලට ඇතුළත් වූ එවකට ළාබාලතම ශිෂ්‍යයා බවට පත්විය.

1984 වසරේදී ඔහු Top Secret හාස්‍යෝත්පාදක චිත්‍රපටය සහ ඊළඟ වසරේ Real Genius චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත්වූ අතර, 1986 දී දශකයේ විශිෂ්ට චිත්‍රපටවලින් එකක් වන Top Gunහි Crusieගේ චරිතය වන Maverick ගේ සතුරා වූ Iceman ලෙස ඔහුගේ රංගන පෞරුෂය තහවුරු කර ගත්තේ ය.

28351e20 0f77 11f0 a990 9318f8c531df.jpg
කිල්මර්, 1988 වසරේදී බ්‍රිතාන්‍ය නිළි ජොඈන් වැලී සමග විවාහ වූ අතර, ඇය සමග Willow සහ ත්‍රාසජනක චිත්‍රපටයක් වූ Kill Me Again යන චිත්‍රපටවලට රංගනයෙන් දායක විය. මෙම යුවළට දරුවන් දෙදෙනෙක් සිටියහ.

ප්‍රකට රොක් සංගීත ශිල්පියෙකු වූ මොරිසන්ගේ මරණයෙන් වසර 20කට පසු, The Doorsහි මොරිසන්ගේ චරිතය සාධනීය ලෙස නිරූපණය කිරීමෙන් ඔහු තම ගතික සහ බහුකාර්ය කුසලතා තවදුරටත් තහවුරු කිරීමට සමත් විය.

ඔහු ඩොක් හොලිඩේ නම් තුවක්කුකරුවෙකුගේ භූමිකාව රඟපෑ Tombstone මෙන් ම, අල් පචීනෝ සහ රොබට් ද නිරෝ සමග පෙනී සිටි Heat ද අතිශයින් ජනප්‍රිය විය.

ඔහු 1995 වසරේදී Batman Forever චිත්‍රපටය සඳහා මයිකල් කීටන්ගෙන් බැට්මෑන්ගේ ඇඳුම භාර ගත්තේ ය. එය බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් අත්කර ගත් නමුත් මිශ්‍ර ප්‍රතිචාර ලබා ගත් අතර, කිල්මර් ඊළඟ බැට්මෑන් චිත්‍රපටයෙන් ඉවත් විය.

ඔහු 1997 වසරේදී තිරගත වූ The Saint රූපවාහිනී කතා මාලාව ප්‍රතිනිර්මාණය කිරීමේදී රොජර් මුවර්ගේ චරිතය රඟපෑ අතර, මාලන් බ්‍රැන්ඩෝ සමග The Island of Dr Moreau චිත්‍රපටයේ රඟපෑවේ ය.

එම චිත්‍රපටය හොලිවුඩයේ වඩාත් ම කුප්‍රකට අසාර්ථක චිත්‍රපටයක් බවට පත් වූ අතර, එහි අධ්‍යක්ෂ ජෝන් ෆ්‍රැන්කන්හයිමර් ප්‍රකාශ කළේ, තමා නැවත කිසි දිනෙක කිල්මර් සමග වැඩ නොකරන බව ය - ඔහු රූගත කිරීම්වලදී කරදරකාරී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.


(සටහන | සොෆියා ෆෙරෙයිරා සැන්ටෝස්)
බීබීසී

උපුටා ගැනීම - BBC සිංහල සේවය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්