මගේ පරම්පරාව නියෝජනය කරන සමකාලීන කවියකු වන විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෙටි කවි කෘතියෙහි වන පූර්විකාමය ලියවිල්ල ලියැවුණේ ම විසින් ය.
එය මා බොහෝ කැමැත්තෙන් බාර ගත් වගකීමකි. කාරණ දෙකක් නිසා ය. අතිශය පළමුවැනි කාරණාව, විජය නන්දන පෙරේරාගේ දේශපාලන හික්මීමට අදාලව, ඔහු අඛන්ඩව උසුලා දරා ගත් දෘෂ්ටිමය දේශපාලන නිරාකූලතාව ගැන මා තුළ ‘අඛන්ඩව පවතින’ වෙසෙස් ගෞරවය බව සනිටුහන් කළ යුතු ය.
විජය නන්දන පෙරේරා
දෙවැනි කාරණාව මෙයයි. එම ලිවීම සඳහා හිත හදාගැනීමට කවියා විසින් ප්‍රමාණවත් කාලයක් උදාකර දෙනු ලැබීමයි. පෙරවදන් කීර්තිය හරහා අත්පත් වෙතැන් අනුමානිත ස්වයං ප්‍රීණනය තකා, ප්‍රමාණවත් කාලයක් නොලැබෙන හදිසිකාරක වැඩ බාර ගන්නට තරම් සුවපහසු ජීවිතයක් මා සතු නැත. එබැවිනි. ‘සහස්පත්’ අරභයා මට මේ ‘කාල වාසනාව’ උදාවන්නට බලපෑ වෙනත් විශේෂ හේතුවක් ද විය. එම කෘතිය මංගල විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා ඉදිරිපත් කර තිබීම ය.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පිණිස තෝරාගැනුණු කාව්‍ය අත්පිටපත් දීර්ග ලැයිස්තුව තුළ ‘සහස්පත්’ තිබුණේ නැත. එසේ තිබීම අත්‍යවශ්‍ය යැයි නො කියමි. නමුත් ප්‍රශ්නය පැන නැඟුණේ සාහිත්‍ය ත්‍යාග පිරිනැමුණු දා ඉදිරිපත් කෙරුණු බරසාර ඇගයීම් වාර්තාවේ බරහීන කෙප්ප හින්දා ය. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ නන්දන වීරසිංහ යන ප්‍රවීන කිවිසුරු තිදෙන මෙම ඇගයීම් මණ්ඩලය නියෝජනය කළාහු ය. තිදෙනාම පුද්ගලිකව මට අතිශය සමීප ජ්‍යේෂ්ටයන් තිදෙනෙකි. විශේෂයෙන් සුනිලුන් සහ රත්න ශ්‍රීන් යනු දුහුනු සමයේ අප තුළ ව්‍යුත්පත්තිය වඩවනු පිණිස මැදිහත්වුණු ගුරු තරු දෙකකි. ඒ්ත් අදහස් හා ගැටෙන්නට එවන් ගෞරවයන්ගෙන් බාධාවක් නැති. ඔවුහු විදර්ශන කාව්‍ය ඇගයීම අරභයා මෙසේ ලියති.

‘’අප වෙත ලැබුණු අත් පිටපත් අතර කෙටි කවි සංග්‍රහයක් ලෙස ඉදිරිපත් කරන ලද පිටපත් තුනක් විය. කෙටි කවි යනු අප දක්නා පරිදි ප්‍රබල ධ්වනි කාව්‍ය විශේෂයකි. ඒයිනුත් හයිකු ආකාර කෙටි කවිය වනාහී විශ්වීයත්වය / හා සොභාදහමේ අචින්ත්‍ය ගුප්ත චලනය තුළ මනුෂ්‍ය පැවැත්මේ පාරභෞතික මොහොතක් හසුකරගැනීමේ සියුම් ආකාරයකි. එහෙත් හුදෙක් හිත කිතිකවන කියුම්, සොහොදහම පිළිබඳ මතුපිට ඕලාරික කියුම් හෝ නර්මාලාපීය යෙදුම් මඟින් කෙටි කවියට සාධාරණත්වයක් ඉටු කළ හැකි යැයි අපි විශ්වාස නොකරමු. එමනිසා මේ අත් පිටපත් ද මුල් වටයේදීම බැහැර කරන්නට සිදුවිය. ‘’
එදා මෙම ඇගයීම් ඉදිරිපත් කරන ලද්දේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසිනි. එය කෙටුම්පත් කරන ලද්දේ ඔහු විසින්මදැයි නොදනිමි. නමුත් එහි වගකීම් ප්‍රවීන කිවියර තිදෙනාටම පැවරෙන පරිදි ඇගයීම් වාර්තාව යටින් නාමකරණය කර තිබුණු බැවින් කෙටි කවිය පිළිබඳ මෙම අදහස තිදෙනාගේම සම්මුතිය බව පිළිගැනීමට සිදුවේ. එය තහවුරු කෙරෙන නිශ්චිත අදහසක්, විදර්ශන කාව්‍ය ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳ ෆේස්බුක් සංවාදයකදී තමන්ගේ ඇගයීමේ නිරවද්‍යතාව වෙනුවෙන් ආචාර්ය විජේසිරිවර්ධනයන් කොමෙන්ටුගත කර තිබුණේ මෙසේ ය.
‘’අපේ අගැයුම් මණ්ඩලයේ අනෙක් දෙපළ ඉතා විශේෂ පුද්ගලයන්. මේ අදහස් සමඟ අප සාමුහික එකඟතාවකට පැමිණියේ දියට බසින හංසයන් මෙන්’

ඔවුන් තිදෙනාට අනුව විජය නන්දන පෙරේරාගේ සහස්පත් යනු හුදෙක්, ‘හිත කිතිකවන කියුම්’ සහිත,, ‘සොහොදහම පිළිබඳ මතුපිට ඕලාරික කියුම්’ සහිත, ‘නර්මාලාපීය යෙදුම්’ ගහණ, ‘කෙටි කවියට සාධාරණත්වයක් ඉටු කළ හැකි’ කිසිඳු ගුණයක් නැති පඩංගුවකි.
මේ වනාහී කැත, නීච, නින්දිත, නරුම, පඩත්තල ඇගයීමක් බව ජ්‍යේෂ්ටයන් තිදෙනාට අතිශය ගෞරව පූර්වකව කිව්ව යුතු ය. විජය නන්දන පෙරේරා යනු මගේ පරම්පරාවේ කවියෙකි. මා මෙන් කෘති පළ නො කළ ද අඛන්ඩව සිය භාවිතයේ නිරත වූ කවියකු වන බැවින් ‘සහස් පත්’ යනු කිසිසේත්ම දුහුනකුගේ වැඩක් නොවේ. දශක තුනක ඉවසීමකි. සිංහල බසෙහි වෑකරණ මෙන් ම කාව්‍යමය වෑකරණ නිවැරදි ප්‍රවේශයකින් දශක තුනක් තිස්සේ අඛන්ඩව භාවිත කවියකුගේ කෘතියක් මෙසේ ‘අසිරිමත් ඇගයීමක’ ලීලායෙන් ගර්හාවට ලක් කරන්නට ඉඩ තැබිය යුතු නැත. ඔහුගේ කෘතිය අරභයා මා කළ පෙරවදන් මැදිහත් වීම පසෙක තබා වෙනත් විචාර මැදිහත්වීම් වෙත පිවිසෙමි. විදර්ශන කාව්‍ය ඇගයීමේ දුෂ්ටකම සාක්ෂාත් කරලනු පිණිස ය.
‘’සම්පූර්ණයෙන් ම නිදහස් හයිකුමය කවි වෙනුවට විරිතක සේයාවක් සහිත කෙටි කවි විජය නන්දන පෙරේරාගේ සහස්පත් පොතේ තියෙනවා. එතකොට ඒ්වා තුළ එක්තරා දේශජ ස්වරූපයක් පේනවා. ඒ්වා සම්පූර්ණයෙන්ම නිදහස්වුණ, නිර්-ඡන්දස් හෝ නිශ්-ඡන්දස් ක්ෂුද්‍ර කාව්‍ය නෙවෙයි. මේ පොතේ ඒ් පැත්ත ගැන කෙටි කවි රසිකයන් හිතන එක හොඳයි. විජය නන්දන මහනුවර වසන නිහඬ, බරට හිතන කවියෙක්.’’ ලියනගේ අමරකීර්ති මහැදුරුන්ගේ අදහසයි. මහාචාර්ය අමකීර්තිගේ අදහසට සමාන්තර වෙමින් කිවියර - කාව්‍ය විචාරක වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල මෙසේ ලියයි. ‘’විජය නන්දන පෙරේරාගේ කෙටි කවිය හයිකු ඌරුවට බොහෝ සමීප කවි නොවේ. ඒ්ත් ඒ් කවි තුළින් ඔහුගේ කවීත්වය මතු වී පෙනෙන බව නිසැකව ම පෙනේ.‘’
ජ්‍යෙෂ්ට ගත්කතුවරී තිලිණා වීරසිංහ ‘සහස්පත් කියවා මෙසේ ලියයි. ‘සහස්පත් හි මෙ කෙටි කවි සියල්ල කියවා අවසන මුදු බරැති තෙත් බවක් මසිත වෙලා ගති. ඒය හද පතුළටම දැනෙන බවට වඩා ජීවිත ස්පර්ශයක් පිළිබඳ තව කුමක් ලියන්නද?’’
මහේෂ් මුණසිංහ කවියා මෙම අදහස වඩා ඉහළ තලයකට ගෙන එයි. මෙලෙසිනි.
‘’නන්දන සහෝදරයාගේ නිර්මාණාත්මක පරිකල්පන ශක්තිය ‘සහස්පත්’ පුරාවටම පෘතුලය. සුවිශේෂීය. නිශ්චිතය. ඊට අමතරව ඔහුගේ සිංහල භාෂාවේ ශක්‍යතාව ඉතා ඉහළ ය. පද හැසිරවීමේ ලාලිත්‍යය අසිරිමත් ය. එය ‘සහස්පත්’ හි සෑම කවියකම වෙසෙසින්ම කැපී පෙනෙන සුළු ය. ‘’
‘’සංක්ෂිප්ත වචන හරඹ වෙනුවට ගැඹුරු චින්තනමය ධාරාවක් මතු කරන්න විජය නන්දන මේ පොතෙක් උත්සාහ දරනවා’’ යනුවෙන් ‘සහස්පත්’ ගැන නිලාර් එන් කාසිම් සහෝදර කවියා පවසන්නේ ද මෙම අදහසම ය. කිවියර හිල්මි සුපුන්ට අනුව ‘’සහස්පත් පාඨකයා කම්පනය කිරීමට පොහොසත්’’ ය.
සාහිත්‍ය විචාරකයකු වන ප්‍රියන්ත ජයරත්න තමන්ගේ ලියවිල්ල ශීර්ෂගත කරන්නේ ම ‘’සහස්පත් යනු පැණසරින් සැරසුණු කවි සරණියක්’ යනුවෙනි. ඔහුගේ විග්‍රහය අතිශය ‘තාක්ෂණික’ වන්නේ වෙයි. එමෙන්ම ඒය පැණසර විවරණයකි. මෑතකාලීනව විචාර ක්ෂේත්‍රයේ බරපතල මැදිහත්වීමක යෙදෙන් භූෂන් ප්‍රදීප් ‘සහස්පත්’ සංවාදය වඩා තීව්‍ර තලයකට රැගෙන එයි. මේ බලන්න!
‘’සමකාලීන සමාජයේ නග්න ස්වරූපය අප කවියට නඟන්නේ කෙසේද? එය ප්‍රකාශයට පත් ක ළ නොහැකි තරම් සංකීර්ණ වී ඇති මොහොතක තම තමන් හදා ගත් අනන්‍යතා ඔජවඩන තැනවල ආධිපත්‍යයට යටත් නොවී විජය නන්දන ගත් උත්සාහය ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී.’’
කාව්‍ය විචාරය අරභයා අඛන්ඩ මෙන්ම සාධනීය මැදිහත්වීමක යෙදෙන කිවියර චූලානන්ද සමරනායක විසින් ‘සහස්පත්’ පිළිබඳ සිදුකෙරුණු මැදිහත්වීම අවසන් කරන්නේ මෙසේ සටහන් කරමිනි.
‘’විජය නන්දන ගේ කවි ලාංකීය කෙටි කවියෙහි තවත් එක් මඟ නොහැර කියවිය යුතු මැදිහත්වීමකි. ඔහු කවියෙහි සරන්නේ සෞන්දර්යෙන් නෙත බොඳ කර නො ගෙන ය. වෙනත් අයුරකින් කියන්නේ නම් සෞන්දර්ය ද දැන, ඒ් සෞන්දර්යය යටපත් කරනා කටුක ජීවිත සත්‍යය ගැන අවබෝධයෙන් යුතුව ය. ඔහුගේ සහස්පත් යනු අවධානයට ලක්විය යුතු නිර්මාණ එකතුවකි.

විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ අරභයා වන සංවාදය තවම අවසන් නැත. කියවන සහෘදයෝ ඒ් ගැන තම හෘදය සාක්ෂිය සටහන් කර තබන්නා හ. ඒ් සියල්ලෙන් ම හෙලිවන්නේ ‘සහස්පත්’ යනු විද්වත් විදර්ශන කාව්‍ය ඇගයීම් මණ්ඩලය කියන්නා සේ ‘නර්මාලාපී’ විකාරයක් නොවන බවයි. එ බැවින් මෙකී ඇගයීම් වාර්තාව නර්මාලපයක් බව ය.
එබැවින් සුනිල් විජේසිරිවර්ධන, රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ ජ්‍යේෂඨ කිවිසුරුවන් වෙන් වෙන්ව හෝ සාමුහිකව මේ ගැන විස්තරාත්මක මැදිහත්වීමක් සිද්ධ කිරීම යුක්ති යුක්ත ය. නො එසේ නම් විදර්ශන සාහිත්‍ය ත්‍යාග ක්‍රියාවලියේ සද් පරමාර්ථය ඉෂ්ට සිද්ධ වන්නේ නැතුවා පමණක් නොව කාව්‍ය පිළිබඳ සමස්ථ මංගල ඇගයීම් ක්‍රියාවලියම පක්ෂග්‍රාහී, දුෂ්ට, පටු, පවිටු ක්‍රියාවලියක් බව ඉතිහාසය විසින් තීන්දු කෙරෙනු ඇත. කවි අගයන්නට දියට බසින හංසයන් හට, කවියේ ‘හංස ගීතය’ හා සමඟ කවරකාර හෝ බන්ධුතාවක් තියෙන්නට පුළුවන් ද?

(සටහන | මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී
http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-
https://www.flickr.com/photos/
(මුල්වරට "අනිද්දා" පත්තරයේ පළවිය. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )






