leader s

ඉලංගෝ රාමනාදන් 1983 දෙමළ මර්ධනයේ ‍ගොදුරක්ව ඉන්දියාවට සරණාගතවුණු පවුලක කුඩා දරුවෙක්ව සිටි බව මා දැනගත්තේ ‘හරි ටීවී’ වෙනුවෙන් ලහිරු මුදලිගේ සමඟ කළ සාකච්ඡාවෙනි.  


නුවර ඉපදුණු නාවලපිටිය ගම්ගත දෙමළ කොලුවාට වයස අවුරුදු 4දී සරණාගත වන්නට සිදුවේ.

ilango ramඉලංගෝ රාමනාදන්මේ පැටි අවදිය ගැන මතකය කවරාකාරදැයි යන වැදගත් ප්‍රශ්නය ලහිරු ඉලංගෝගෙන් විමසයි. කුඩා දරුවෙක් විදිහට ඒ අද්දැකීම හොඳ නැති නමුත් චිත්‍රපටි තනන්නකු ලෙස එය හොඳ බව ඉලංගෝ වේදනාබර හිනාවකින් පවසයි. මෙම ප්‍රකාශය නෙලුම් කුළුණ පිළිබඳ මා මතුකළ ‘ආත්මීයත්ව’ ප්‍රවාදය තහවුරු කරන්නකි. ක්‍රියේටිවිටි නොහොත් නිර්මාණශීලීත්වය මුවහත් වීමට ජීවිතය විසින් ලැබ දෙන පන්නරය කෙතරම් වැදගත්දැයි ඉලංගෝ මැනැවින් පහදයි.

 මා මේ තවදුරටත් ඉෂ්ට සිද්ධ කරමින් සිටින්නේ ඔහුගේ ආත්මීයත්වය පාදක කර ගනිමින් නෙලුම් කුළුණ කතිකාවට ඇතුළුවීම ය.  ‘අනිද්දා’ පත්තරය පෙරලා බලන අය කලින් සතියේ බල්සාක් කැෆේ කියවන්නට ඇත. එය අන්තර් ජාලය ඔස්සේ බෙදා හදා ගන්නා ‘ ද ලීඩර් ඩොට් එල් කේ ‘ වෙබ් අඩවියෙන්, මා මෙය ලියන මොහොත වන විට බල්සාක් කැෆේ 114 වතාවක් ෂෙයාර් කෙරී ඇත.

එබැවින් මගේ ප්‍රවාදය පිළිගත්තද නැත ද, කිසියම් ප්‍රමාණයක් අතරට මගේ ප්‍රවාදය කාන්දු වී ඇති බව බැලූ බැල්මට වුව පෙනෙන්නට තිබේ.  

කෙසේ වුව මගේ මැදිහත් වීම සිද්ධ වන අවකාශයේ පවතින වැදගත් කියවීම් මඟහැර යාම කළ නොහැක්කක් බැවින් ඉන් ප්‍රධාන කියවීම් තුනක් දෙස පමණක් අවධානය යොමු කරමි.

Tentigo 2250316

 චින්තනට ධර්මදාසට අනුව නෙලුම් කුළුණ දීර්ඝතර 'ඇඩ්' එකකි. ඉලංගෝ රාම් දිගු කලක් ඇඩ්වටයිසිං වපසරියේ පෙළහරපෑවකු වන බැවින් චින්තාගේ තර්කය ලෙහෙසියෙන් බැහැර කළ හැක්කක් නොවේ. ඉලංගෝ ඒ  ගැන හිතුවා හෝ නැතුවා හෝ චින්තාගේ තර්කය එකෙල මෙකෙල නොවේ.  චින්තාගේ මේ චින්තාව ඔහුට පහළ වන්නේ තමන් ද අනුදත් ක්ෂේත්‍රයක නෙලුම් කුළුණ රූපිකය මෙන්ම අදියුරුවා වැඩ කිරීම යි.  ‘’මේක ෆයිසර් කොම්පැනියෙන් පැයයි විනාඩි හතලිස්පහක් දිගට හදපු ඇඩ් එකක් වෙන්න බැරිද? (ලෝකෙ දිගම ඇඩ් එක?)  චිත්‍රපටියෙ මේ සියලු සිදුවීම් වෙන්නෙ වයග්‍රා පෙත්තක් හින්ද. ‘’ යනුවෙන්  චින්තා පවසන්නේ එයයි.

සමකාලීන සාහිත්‍ය සහ දෘෂ්‍ය කලාවන් දෘෂ්ටිවාදීව විවච්ඡේදනය කරන විදර්ශන කන්නංගර සහ භූපති නලීන් ‘පොප් කෝන්’ සංවාදය තුළ ‘නෙලුම් කුළුණ’ ගැන කතා කරන්නා හ.


image w1280

භූපතිට අනුව නෙලුම් කුළුණ යනු නිෂ්චිතව ප්‍රවර්ගගත කළ නොහැකි ‘අනන්‍යතා සම්මිශ්‍රණය වූ’ පශ්චිත් නූතන චිත්‍රපටයකි. එසේම ඔහු එය සමාජමය මානයකට ගෙන යයි. මියගොස් සිටින්නේ තාත්තා ය. විශේෂයෙන්ම ආසියාතික සමාජ සන්දර්භයෙහි  තාත්තා යනු ආචාර ධාර්මික ඈ වූ වටිනාකම් පද්ධතියකි. ඒ අනුව මෙම වටිනාකම් පද්ධිතියේ බිඳවැටුමක් චිත්‍රපටය යෝජනා කරයි.

සිනමා විචාරය යනු චිත්‍රපටයට විචාරකයා විසින් කරනු ලබන එකතු කිරීමකැයි භාවිතයෙන්ම අනුදක්නා භූපති, ඒ අනුව තවදුටත් පවසන්‌නේ නෙලුම් කුළුණ සෘජුවම දේශපාලනයට සම්බන්ද බව ය. ඒ අනුව කෘතිය තුළින්  පුරුෂ ලිංගය සෘජුවී ඇති බව දැක්වීම තුළ උපරිමයට යාම හෙවත් ජයග්‍රාහී බවක් පවතින බව භූපති පාදා ගන්නා නමුත් ඔහු එය සමාන්තරගත කරන්නේ රාජපක්ෂ කඳවුරේ කූඨප්‍රාප්තිය නොහොත් ගෝඨාභය  දේශපාලන මොහොත සමඟ ය.


Nelum kuluna 2

විදර්ශන කන්නංගරට අනුව  දේශපාලන බංකොලොත්භාවය පිළිබඳ සංඥාවක් සෘජුව හමු නොවෙතත් එය රූපිකව මතුකරගත හැකි අමුද්‍රව්‍ය නෙලුම් කුළුණේ ඇත. ‘රට වැටුණත් කුළුණ කෙලින්’යන ටැග් ලයින් එක විදර්ශන කියවා ගන්නේ ඔහු ද අනන්‍ය සමකාලීන ‘මාලිමා’ දේශපාලන මොහොත සමඟ ය. එමෙන් ම විදර්ශන නෙළුම් කුළුණ මහින්ද රාජපක්ෂට පර්යාය රූපිකයක් ලෙස ද දකියි. සිංහල බෞද්ධ ජාතිකවාදයේ උස තඩි පිරිමියා නොහොත් පුරුෂ ලිංගය ලෙස තිබූ මහින්ද රාජපක්ෂ ය. මෙන්න මේ හරහා විචාරයකට පිවිසෙන්නැයි  චිත්‍රපටය යෝජනා කරන බව විදර්ශන තවදුරටත් පවසයි. ඔහුට අනුව ඒ විචාරයට එන්නට ඕනෑ ප්‍රවේශය හදාගන්නට වෙන්නේ අපට ය.

මා මේ කරමින් ද කියමින් ද සිටින්නේ ද එයයි. විදර්ශන හෝ භූපති කෙලින් ම නොකියන දෙයයි. නැතහොත් විදර්ශනට හෝ භූපතිට කෙලින්ම කියාගන්නට බැරි දෙයයි.  දෙදෙනාම ස්වකීය කියවීම් තුළ සංයුක්තව නොගන්නා ‘මියගිය තාත්තා සහ ඔහුගේ සෘජුව පුරුෂ ලිංගය’ යන රූපිකය මා ද ඇතුළත් සිංහල සමාජ සන්දර්භයෙහි තබා නැවත සංයුක්තව කියවීම ය. ඒ අනුව නෙලුම් කුළුණ කතිකාවට ඇතුළු වීම ය. පීතෘත්වය අහිමි නොහොත්  මුළුමනින්ම මිය ගිය සිංහල සමාජය එකී අහිමි පීතෘත්වයේ සෘජුවූ පුරුෂ ලිගුව වටා විනෝදවෙමින් සිටින බව මම සෘජුව පවසමි.  ඉලංගෝගේ චිත්‍රපටයේ රූපිකය සංයුක්තව කියවන්නේ නම් එපමණකි.  මගේ කියවීම  චිත්‍රපටය යෝජනා නොකරතැයි පවසන්නට හැක්කේ කවර දෘෂ්ටිවාදී විචාරකයාට ද?  

 නෙලුම් කුළුණ වටේ කරකැවෙමින් සිටිද්දී මට හිනා යන්නේ, එය  මට මා පිළිබඳවම බව වන කටුක යථාර්ථය මෙනෙහි කරන්නවන්නක්ය යන්න පිළිබඳ දැනුවත්ව ය.  සිංහලයකු වීම නිසා සිංහලයා පිළිබඳ පොදු යථාර්ථයෙන් ගැලවීමට මට නොහැකිය. ඉතින් මගේ වරදකාරී හිනාවීම වරදක්ද?


ඉකුත් ‘බල්සාක් කැෆේ’ කියවා වෙසමුණි වැහුණු ඩේවිඩ් කළුමුණි නම් විශ්‍රාමික සිංහලයා මගේ ලියවිලි ගැන කිසිත් නොදන්නා මගේ අම්මාට පවා ශුද්ධවූ සිංහලෙන් බැන වැදී තිබුණි. ලංකාවේ ජනතාව යනු සිංහලයන් යැයි සිතා සිටිනා සංඛේතීයව සෙත්තපෝචිචි වූ මළගිය ප්‍රාණකාරයන්ට  උත්තර දීමට කාලය වැය කර පළක් නැත. නමුත් මෙම චිත්‍රපටයේ අදියුරු ඉලංගෝ රාම් සමඟ මෙන්ම චිත්‍රපටය දේශපාලනිකව කියවාගන්නට  වෙර වීරිය දැරූ මිත්‍රවරී මිත්‍රවරයන් සමඟ අඛන්ඩ සංවාදයක් ඉතිරිව තිබේ. මේ සියල්ලටම මට වැදගත්ම වන්නේ පරිදියට විසිවී සිටි ඉලංගෝ යළි සිංහල සමාජය මධ්‍යයට ඇදවැටීම හරහා සිදුවන්නට නියමිත ‍ඛේදවාචකය ස්තානගත කර තැබීම හෙවත් ‘ඩික්ලෙයාර්’ කර තැබීමයි.

මා මිත්‍ර රුවන් නරසිංහ "අපේ සිනමාව" නම් අන්තර්ජාල අවකාශයෙන් 'යටිබිම්ගත' කර එවන ලද ඉලංගෝ රාම්ගේ උපුටනයක මෙසේ සඳහන් වෙයි.

"නෙලුම් කුළුණට පස්සේ ස්ක්‍රිප්ට් දෙක තුනක් දැනටමත්  මං ගාව තියෙනවා.  හැබැයි ඒ ඔක්කොම ඩාක්, බර සබ්ජෙක්ට්ස්. හැබැයි නෙලුම් කුළුණට ලැබුණු ප්‍රතිචාර දැක්කම, මගේ ඊළඟ නිර්මාණය ගැන හුඟ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න බව මට දැනෙනවා. මගේ චිත්‍රපටය සෙලිබ්‍රේට් කරපු ඕඩියන්ස් එකේ විශ්වාසය ඊළඟ චිත්‍රපටයෙන් මම රකින්න ඕනේ. චිත්‍රපටිය තියටරස්වල දුවන්න ඕනේ. ඉතිං එක පාරටම ඩාර්ක් ප්ලොට් එකකට යන්නේ නැතුව හොඳට කාලය අරගෙන, තවත් ප්ලෑන් කරලම මම ඊළඟ චිත්‍රපටයට යයි."

Truth and Justice in Sri Lanka
නරසිංහ මෙය මට එවන්නට දින දෙක තුනකට පෙර මම ඉලංගෝ රාම්ට කතා කළෙමි. ලහිරු මුදලිගේ සමග කළ සාකච්ඡාවේදී ඔහු කී "තම දරුවන් අතුරුදහන් කිරීම් වලට යුක්තිය ඉල්ලා  අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන දෙමළ අම්මාවරුන්ගේ වේදනාවේ මූලය හොයා ඔහු කළ ගවේෂණය" අපතේ නොයවන ලෙස ඉල්ලීමක් කරනු පිණිස ය. කුඩා කල සරණාගත වීම අරභයා වන  ක්ෂිතියෙන් අත් නොමිදුණු ඉලංගෝ රාම් බඳු  අදියුරුවකුට ම මිස දෙමළ නම් පමණක් ඇති වෙන වෙන අදියුරුවන්ට මෙකී ප්‍රශ්නය ගැඹුරින් ස්පර්ශ කරන්නට නොහැකි බව මම ඔහුට කීවෙමි. නෙළුම් කුළුණේ දේශපාලනය ඔහුගේ ආත්මීයත්වය හරහා පැන නැඟුනක්ම වන බැවින් ඔහු යා යුත්තේ එකී ගැඹුරු දේශපාලන මග ඔස්සේය. එසේ නොමැතිව, කැවුම් කෑමේ යෝධයන් වන සිංහලයන්ගේ මෝඩ චූන් වලට විහිළු සපයන අධූරදර්ශී විනෝද කර්මාන්තීය  මාර්ගය ඔස්සේ නොවේ.

 ‘’හරී ටීවී’ සංවාදයේදී ‘නෙලුම් කුළුණ මේතරම් හිතල නෙමෙයි කළේ, ඒක මැජික් එකක්’ යනුවෙන් ඉලංගෝ රාම් පවසයි. එය ඇත්තකි. ඒ මැජික් එක පවතින්නේ ඔහුගේ ආත්මීයත්වය තුළයි. ඒ ආත්මීයත්වය තුළ වන්නේ අතිශය අඛන්ඩ ජාතිකත්ව පීඩාවම යැයි මම තවදුරටත් යෝජනා කරමි.    


Manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

jdslanka

Manjula Wediwardena

(මෙම ලිපිය'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

'කෙලින් කුළුණ' දිහා ආපහු බැලීම | Chinthana Dharmadasa

බල්සාක් කැෆේ : 'ඉලංගෝ රාම් සිංහලයාගේ මූණේ ඇතිල්ලූ නෙළුම් කුළුණ' - (මංජුල වෙඩිවර්ධන)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්