leader s

බිත්ති හතරෙන් ඔබ්බට - හීන ලුහු බඳින ප්‍රේම පහුරේ මිලේනියම් තරුණ්‍ය…Bahuchithawadiya බහුචිතවාදියා The Undecided

 

පරාක්‍රම ද සිල්වා අධ්‍යක්ෂණය කළ “ බිත්ති හතර “ නම්වූ චිත්‍රපටයක් 1980 දශකයේ දී තිර ගත විය. එයට පදනම්ව තිබුණේ එනමින්ම වූ සුගතපාල ද සිල්වා රචනා කළ නව කතාවකි.

පෙම්වතියන් කිහිප දෙනෙකුට පෙම් බඳින "සේපාල "නම්වූ ගැමි තරුණයෙකු වටා මේ කතාව නිර්මාණයවී තිබිණි. ඔහු එක් මලකින් තවත් මලකට පියඹා යයි. අසල්වැසි ගැමි තරුණියකගෙන් පටන් ගෙන විවිධ තරාතිරම්වල, විවිධ චරිත ලක්ෂනයන්ගෙන් හෙබි තරුණියන් කිහිප දෙනෙකු වෙත සේපාල ඇදී යන්නේ ප්‍රේමය සොයා ගෙනයි.

 

83280021 10159468735979478 5613689433179029504 o

70 දශකයේ ප්‍රේමය අතිශයින් විචිත්‍ර වූ අතරම සමහර සීමාවන්ට කොටුවී තිබිණි. පාසැල් ප්‍රේමයක් නම් ඔවුහු පෙම් හසුන් සහ ලේන්සු හුවමාරු කර ගන්නා අතර ඉඳහිට දිනකදී අතින් අල්ලන්නට අවස්ථාවක් ලැබෙනු ඇත. ඊට වඩා වැඩිහිටි තරුණ තරුණියන් අතරේ පවා තිබූ සම්බන්ධතා බොහෝ විට සිප ගැනීමකට, චිත්‍රපටයක් නැරඹීමට සීමා විය. සමහර ව්‍යතිරේඛයන් තිබිය හැකි නමුදු, මේ යුගයේ තරුණයා ප්‍රේමය සොයා ගියේ ප්‍රේමය වෙනුවෙන්මය. තමන්ට ගැලපෙන ප්‍රේමවන්තිය හමුවන තෙක් ඔහු තැනින් තැනට ගමන් කරයි.

බිත්ති හතරේ සේපාල ද පෙම්වතියන් කිහිප දෙනෙකු ඇසුරු කලත්, එසේ කරනුයේ 70 දශකයට නියමිතව තිබූ සීමාවන් අතර මනාව රැඳෙමිනි. එක තැනක නොනැවතී නැවතුමක් සොයා ගෙන  පිය නගන ඔහු, අවසානයේදී අඩු ආදායම් ලාභී , නගර බද පවුලක, කොන්ඩය කොටට කැපූ දඟකාර කෙල්ලක අභියස නතර වන්නේ තමන් සොයා ගිය ප්‍රේමය ඇය වෙතින් ලද බැවිනි.

496150086 1160578416084320 3529450786542836672 n
එහෙත් පසු කාලීනව සිදුවූ සමාජ විපර්යාසයන් හා සමගම ලාංකීය තරුණ පරපුරේ සිතුම් පැතුම් මෙන්ම හැසිරීම් රටාවද වෙනස් විය. " මිලේනියම්" තරුණයා අනෙකුත් බොහෝ සීමාවන් සමගම ප්‍රේමය සම්බන්ධයෙන්වූ සීමාවන්ද බිඳ දැමුවේය. දීර්ඝ පෙම් හසුන් වළින් කෙටි SMS පණිවුඩ වෙතට මාරුවූ ඔහුට පෙම් සබඳතාවලදීද සියලු පියවරයන් ඉක්මනින් අවසන් කරන්නට අවශ්‍ය  විය. තව දුරටත් ඔහු සැලමුතු පෙමක් පැතූ සත්‍යවාදී ප්‍රේමවන්තයා නොවිණි. අනෙක් බොහෝ මානව ධර්මතාවන් මෙන්ම ප්‍රේමයද ඔහුට තම සිහින කරා යන්නට අත දෙන මෙවලමක් පමණක්ම විය.



සම්මානනීය තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන මාලක දේවප්‍රිය හීන ලුහු බඳින්නට ප්‍රේමය පහුරක් කර ගත් මිලේනියම් තරුණයා රිදී තිරයට තල්ලු කර දමන්නේ සිය ප්‍රථම සිනමා නිර්මාණය වූ " බහුචිතවාදියා " තුළිනි.

මාර්ගගත ක්‍රමයට ප්‍රේමය ' ඩිලිවරි' කරන මාලකගේ කතා නායකයා මලකින් මලකට පියඹනු වෙනුවට එකවර මල් කලඹක්ම සිප ගනී. මල් ගොමුවක වැතිර ගනී. සමහර සිප ගැනීම් මාර්ග ගත ක්‍රමයටය.

ඔහුට පෙම්වතියන් හය දෙනෙකි. මේ හය දෙනා විවිධ සමාජ මට්ටම් හා විවිධ වයස් මට්ටම් නියෝජනය කරන අතර සමහරු විවාහකය. මේ සබඳතාවලදී ඔහු බිත්ති හතරේ සියලු සීමාවන් සුනු විසුනු කර දමයි.

487750389 1125626169579545 6157440793853625422 n

 

කෙසේ වෙතත් මේ සියලු ප්‍රේම සබඳතාවන් හා බැඳී පවතින මහා පොදු සාධකය නම් තම හීන හඹා යන්නට ඔහු ප්‍රේමය යොදා ගන්නා බවයි. රටින් පැන ගැනීම  ඔහුගේද සිහිනයයි. ඒ නූතන තරුණ පරපුරේ ජනප්‍රියතම සිහිනයයි. ඔහු ඒ සිහිනය ලුහු බැඳ යන්නට ප්‍රේමය පහුරක් කර ගනියි.

මැයි 30 දා සිට ලාංකීය ප්‍රේක්ෂාගාරයට තිර ගතවන “බහුචිතවාදියා” හාස්‍යයෙන් ඔබ්බට ගිය තමාගේ ආත්මය වෙත හැරී බලන සිනමා අත්දැකීමක් රැගෙන එනු නිසැකය.

(සටහන | හරිශ්චන්ද්‍ර රොඩ්රිගෝ)



සබැඳි ලිපියක්

2025 වසරේ ඔබ නැරඹිය යුතු ම ශ්‍රී ලාංකික චිත්‍රපට 6ක්

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්