leader s

"එය (ධනේශ්වරය) විසින් ආගමික ප්‍රමෝදයේත්, ධෛර්ය සම්පන්න උද්‍යෝගයේත්, අවරසික භාවානුගතිකවාදයේත් දිව්‍යමය ප්‍රහර්ෂයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වා දමනු ලැබ ඇත."


කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයෙහි පළමු පරිච්ජේදය තුළ ධනවාදය විසින් පැරණි ගතානුගතික සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කළ ආකාරය කාව්‍යමය ලෙස පැහැදිලි කොට ඇත්තේ ඉහත වචනවලිනි. ඔවුන් තවදුරටත් එය මෙලෙස විස්තර කරයි;

"සියලුම ඝනීභවනය වූද හිමෙන් කැටි ගැසුණා වූද සබඳතා, ඒවායෙහි පුරාතන ගෞරවාන්විත අගතීන්ගේ සහ ආකල්පවල අනුපිළිවෙළද සමග, අතු ගා දමනු ලැබේ; අලුත සැකසුණු සියලුම සබඳතා මෝරන්නටත් පෙරම පෞරාණික බවට පත් වේ. ඝන වූ සියල්ල වාෂ්ප වී යයි. ශුද්ධ වූ සියල්ල කෙළෙසී යයි. අවසානයේදී මිනිසාට ඔහුගේ ජීවිතයේත් ඔහුගේ වර්ගයා සමග ඔහුට ඇති සබඳතාවලත් සැබෑ කොන්දේසිවලට සන්සුන් මනසින් මුහුණදීමට බල කෙරෙනු ලැබේ."

Marx and Engels

 

මාලක දේවප්‍රියමාක්ස් සහ එංගල්ස් පවසන මේ ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුර කුමක්ද? එය අන් කවර ලෙසකටත් වඩා කදිමට පැහැදිලි කරන සිනමා නිර්මාණයක් පසුගියදා එළි දුටුවේය. ඒ මාලක දේවප්‍රියගේ 'බහුචිතවාදියා' චිත්‍රපටයයි. මාලකගේ 'බහුචිතවාදියා' (සසිත) ලාංකීය අර්ධ-නාගරික කම්කරු හෝ පහළ මධ්‍යම පන්තියට අයත් වූවෙකි. ඔහු පුද්ගලික අංශයේ බෙදා හැරීම් ආයතනයක පහළ ශ්‍රේණියේ රැකියාවක නිරතව සිටී. ඔහුගේ ජීවිතයේ අරමුණ බවට පත්ව ඇත්තේ කෙලෙස හෝ පිටරට රැකියාවකට පැන ගැනීමයි. එමගින් තම වත්මන් දුක්ඛිත ආර්ථික සහ සමාජ තත්ත්වයෙන් ගොඩ යා හැකි යැයි ඔහු විශ්වාස කරයි. මෙය මුළුමනින්ම පුද්ගලික අරමුණක් බව අමුතුවෙන් කිව යුතු නැත.

අඩු තරමින් ලාංකීය පහළ මධ්‍යම පන්තික පොදුජන අවබෝධය (common sense) තුළ මෙවන් පුද්ගලික අරමුණු දෘෂ්ටිවාදීමය ලෙස සුජාතකරණය කරන්නා වූ කියාපෑම් (තම දෙමාපියන්ගේ හෝ සමීපතමයින්ගේ සිහින සැබෑ කිරීම, ඔවුන්ව දුකින් මිදවීම යනාදී...) මාලකගේ බහුචිතවාදියාගේ මුවින් වර නැගෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු තම පන්තිමය තත්ත්වය ඉහළ නංවා ගැනීමේ පුද්ගලික අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා උපායික තෝරාගැනීම් කිහිපයක් අතර දෝලනය වෙමින් සිටී.

 

නමුත්, තමන්ට වඩාත් ලාභදායක තෝරාගැනීම වනු ඇත්තේ කුමක්දැයි නිශ්චය කිරීමට ඔහු අසමත්ය. (ඒ අරුතින් චිත්‍රපටයේ ඉංග්‍රීසි නම 'තීරණයක් නොගත්' යන හැඟවුම සහිත 'undecided' යනුවෙන් යෙදීම තර්කානුකූලය). සමස්ත චිත්‍රපටය පුරාම ඔහු කරමින් සිටින්නේ තමන් අබිමුව ඇති තෝරාගැනීම් කිහිපය අතර සූක්ෂම ගණන් බැලීමක් කරමින් සිටීමය.

ගණන් බැලීමේ අයිස් වතුර

481234268 1095753492566813 9068474488436947419 n
බහුචිතවාදියාගේ ගණන් බැලීම මාක්ස් සහ එංගල්ස් පවසන අයිස් වතුර පිළිබඳ රූපකයෙහි අරුත මනාව පැහැදිලි කරන්නකි. මන්ද යත්, ඔහුගේ ගණන් බැලීමට පාදක වන්නේ ඔහු හා සම්බන්ධ අජීවී වස්තූන් හෝ උපකරණ නොව ඔහු සමග ආදර-ලිංගික සබඳතා පවත්වන ස්ත්‍රීන් කිහිපදෙනෙකු වන නිසාය. ධනවාදය තුළ "මිනිසුන් අතර සබඳතා දේවල් අතර සබඳතා බවට පරිවර්තනය වන්නේ" කෙසේදැයි කිසිදු සිනමාත්මක කාව්‍යමය අලංකාරෝක්තියකින් තොරව අප හමුවේ ප්‍රදර්ශනය කරන්නට මාලක උත්සුක වන සෙයකි.

 
සසිත හට ස්ත්‍රීන් කිහිපදෙනෙකු සමග සමීප සබඳතා ඇති නමුදු ඔහු කෙරෙහි බහුල ස්ත්‍රී ආකර්ෂණයක් ඇති කිරීමට හේතු වන කිසිදු සුවිශේෂී ලිංගිකමය චුම්බක ශක්තියක් (කඩවසම් බවක්, වසඟකාරීත්වයක්, ආකර්ෂණීය කතා ශෛලියක්, සුවිශේෂී චරිත ලක්ෂණයක්, මිත්‍රශීලීත්වයක් වැනි...) සතු බවක් අපට පෙන්වනු ලබන්නේ නැත. කොටින්ම ඔහු චිත්‍රපටයේ එන ස්ත්‍රී චරිත වසඟ කරගන්නා බවක් පවසනු ලැබූවද ප්‍රේක්ෂකාගාරයට ඔහුව ඉදිරිපත් කරනු ලබන්නේ වසඟකාරී පිරිමියෙකු ලෙසින් නොවේ.

 

83801917 2729197660475297 4051378526455070720 n

මෙය ආරම්භයේදී යමෙකුට පෙනී යා හැක්කේ ඇතැම්විට චිත්‍රපටයේ හෝ රංගන ශිල්පියාගේ (කලණ ගුණසේකර) දුර්වලතාවක් ලෙසින් විය හැකි වුවත් (මමද එවන් යමෙකි), ඒ දෙස වඩා ගැඹුරින් බැලූ විට පෙනිය යුත්තේ එහි විලෝමය බව දැන් මගේ අදහසයි. මන්ද යත්, සසිත සබඳතා පවත්වන සියලුම ස්ත්‍රීන් පාහේ (ගීතා අලහකෝන් විශිෂ්ට ලෙස නිරූපණය කරන ඔහුගේ තරුණ පෙම්වතිය වන කාංචනාගේ චරිතය හැර) තම අතීත ආදර-ලිංගික සබඳතා බිඳ වැටීමේ, රැවටීමට ලක් වීමේ හෝ තමන් අපේක්ෂා කළ ආකාරයේ සහකරුවන් හිමි නොවීමේ හේතුවෙන් අර්බුදයන්ට මුහුණ දී සිටින්නන් වීම නිසාය; සසිත ඔවුන්ව තම දැලට ආකර්ෂණය කරගන්නට සමත් වන්නේ එකී අර්බුදයන් හමුවේ ඔවුන් පත්වන අසරණභාවය අවස්ථාවක් කර ගනිමිනි.

 

ආකර්ශණීය කාම ලෝලියෙකුගේ චරිතයට පණ දීමේ හැකියාවක් ඇති කලණ මේ චිත්‍රපටය තුළ එවන් චරිතයක් නිරූපණය කළේ නම්, බහුචිතවාදියාගේ ස්ත්‍රී දඩයමෙහි මෙම උපායික මානය අපට නොපෙනී යාමට ඉඩ තිබිණ.

මෙහිදී වැදගත් කාරණය වන්නේ ආර්ථිකමය ලෙස දුගී වූද, කිසිදු සුවිශේෂී දක්ෂතාවක් ප්‍රදර්ශනය නොකරන්නා වූද පහළ මධ්‍යම පාන්තික තරුණයා හට තම පුද්ගලික සාර්ථකත්වයේ සැලසුම සඳහා යම් යම් ස්ත්‍රීන්ව යොදාගැනීමට හැකියාවක් ලැබෙන්නේ ඔවුන් මුහුණ දෙන මානවීය අර්බුදයන් උපායිකව ආමන්ත්‍රණය කිරීම මගින්ය යන්නයි. පුද්ගලික ලාභාපේක්ෂාවෙන් මෙහෙයවනු ලබන සීතල ගණන් බැලීම් ගාමක බලය බවට පත් වූ තත්ත්වයක් අයිස් වතුරකට උපමා කිරීම කොතරම් ඒත්තු යන සුළුදැයි මීටත් වඩා පැහැදිලි කළ යුතුද?

සැබෑ බහුචිතවාදීන් කවරහු ද?

 

83280021 10159468735979478 5613689433179029504 o
මාලකගේ චිත්‍රපටයේ මතුපිට පෙළ කියැවීමේදී අපට මුණ ගැසෙන්නේ තනි බහුචිතවාදියෙකි. ඔහුගේ පුද්ගලික සීතල ගණන් බැලීම් මාක්ස් සහ එංගල්ස් පැවසූ පරිදි මිනිස් සබඳතා පිළිබඳ පෞරාණික ආගමික රෝමාන්තික අලංකාරෝක්තීන් නොතකා හරී. එසේ වුවත්, කතාව අවසානයේ ඔහු තම පුද්ගලික ලාභාපේක්ෂාවේ අරමුණ ජය ගන්නට සමත් නොවේ. අවසන් රූප රාමුවේ දැක්වෙන පරිදි ඔහු නැවතත් ස්කයිප් ඔස්සේ තම පැරණි උපායික ප්‍රයත්නයේම නිරතව සිටින බව සැබෑය. නමුත් ඔහු තවමත් අසාර්ථක බහුචිතවාදියෙකි. මෙයින් කියැවෙන්නේ බහුචිතවාදීන් යනු සමකාලීන සමාජයේ අසාර්ථකත්වය උරුම කරගන්නා ව්‍යතිරේඛී චරිත ප්‍රවර්ගයක් බවද? මාලකට සැබවින්ම කියන්නට වුවමනා පණිවිඩය එය නොවන බව පැහැදිලිය.  

මාලකගේ නිර්මාණය අපට යෝජනා කරන සමකාලීන සමාජ සබඳතා පිළිබඳ විවේචනාත්මක දැක්ම යථාර්තයක් වනු ඇත්තේ බහුචිතවාදියා යනු අප සමාජයේ ව්‍යතිරේඛයක් ලෙස ගැනීමෙන් නොව සාමාන්‍යකරණයට ලක්වූ තර්කනයක් ලෙසින් දැකීමෙන්ය යන්න මගේ අදහසයි.

 

එවන් විචාරක දැක්මක් සඳහා අප කළ යුත්තේ මෙම චිත්‍රපටයේ මතුපිට පෙළට ප්‍රතිමුඛව එය කියැවීමය. අපට මතුපිට පෙළ තුළ මුණගැසෙන බහුචිතවාදියා වන සසිත යනු හුදෙක් මිනිස් සබඳතා පිළිබඳ ගණන් බැලීමෙහි අසමතෙකු ලෙසත් සෙසු බොහොමයක් චරිත 'සාර්ථක ගණන් බලන්නන්' (එනම් සැබෑ බහුචිතවාදීන්) ලෙසත් සැලකිය නොහැකිද? නිදසුනක් ලෙස පැරණි වාමාංශිකයෙකු ලෙස හඳුන්වා දෙනු ලබන කොම්පැණි හිමිකරුවා (ලක්ෂ්මන් මෙන්ඩිස් නිරූපණය කරන චරිතය) තැනට ඔබින ලෙස කාරුණික වචන භාවිත කිරීමේත් (ඔහු තම සේවකයාට අමතන්නේ පුතා යනුවෙනි), රැවටිලි බස් දෙඩීමේත්, අවශ්‍ය විට මර්දන බලය කැඳවීමේත් සමතෙකි. සසිතගෙන් රැවටීමට ලක්වන කාංචනා තමන් කරා පැමිණි පසු ඔහු ඇයට දෙන පොරොන්දු ඇතැම්විට යථාර්තයක් වීමට ඉඩ ඇතැයි ප්‍රේක්ෂකයාට පවා හැඟී යා හැකිය. ඊට වෙනස්ව, සසිත තම පෙම්වතියන්ට දෙන පොරොන්දු ආරම්භයේ සිටම අප කිසිවෙකු විශ්වාස කරන්නේ නැත.

රජිත හේවාතන්ත්‍රිගේ විශිෂ්ට ලෙස නිරූපණය කරන සසිතගේ මිතුරාගේ චරිතය 'බහුචිතවාදයේ' වඩාත් සංකීර්ණ නිරූපණයක් ලෙස ගත නොහැකිද? ඔහු එක් වරෙක තම මිතුරාට රට යාමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට අයිරාංගනී නමැති ගැහැණිය (වීණා ජයකොඩි නිරූපණය කරන චරිතය) මරා දමන්නට පවා යෝජනා කරයි. සසිත තම මිතුරාගේ පැරණි බිරිඳ සමග රහසේ ලිංගික සබඳතා පවත්වන විට දෙවැන්නා ඒ දෙයම පළමුවැන්නාගේ වැඩිමල් සහෝදරිය සමග කරයි. නමුත්, මේ දෙදෙනාගේ වෙනස වන්නේ සසිත තම පුද්ගලික අරමුණට පරස්පර වූ කිසිවක් තම පෙම්වතියන් අරභයා සිදු නොකිරීමත් සසිතගේ මිතුරා තමන් අතින් ගැබ්බර වූ ගැහැණිය විවාහ කරගන්නට තීරණය කිරීමත්ය. මේ වෙනස පැමිණෙන්නේ කොතැනින්ද?

487750389 1125626169579545 6157440793853625422 n
'බහුචිතවාදී' තර්කනය වචනාර්ථයෙන් ඔබ්බට

සසිත අසමත් වන්නේ මන්දැයි විමසීමෙන් ඉහත ගැටළුව පහසුවෙන් විසඳාගත හැකිය. මාලකගේ චිත්‍රපටය තුළ නිරූපණය කෙරෙන පරිදි සසිත නමැති බහුචිතවාදියා වනාහී තම පුද්ගලික ලාභය (ගැලවීම) පිණිස මිනිස් සබඳතා ආර්ථිකමය ලෙස භාවිත කරන්නට ප්‍රයත්න දරන්නෙකි. නමුත් ඔහු වෙසෙන සමාජය සකස්ව ඇත්තේ එකී ආර්ථික පුද්ගලවාදී තර්කනයෙන් පමණක් නොවේ. ඔහුගේ වෑයම පල නොදරන්නේ සමාජයේ ආර්ථික පුද්ගලවාදී නොවන අන්තර්ගතයන්ට සංවේදී වීමට ඔහු අසමත් වන නිසාය. ඒ අනුව ඔහු සාර්ථක බහුචිතවාදියෙකු (බහු-උචිත යන තේරුමින්) නොවේ.

අප මාක්ස් සහ එංගල්ස් වෙතට යළිත් යන්නේ නම්, ධනවාදී සමාජය හැඩ ගැසෙන්නේ පුද්ගලික ලාභය සඳහා වන අනවරත තරඟය ධාවකය කර ගැනීමෙන්ය යන්න පෙන්වාදීමේදී ඔවුන් නිවැරදිය. නමුත්, කිසියම් සංයුක්ත සමාජයක් සමන්විත වන්නේ මෙකී ආර්ථිකමය තර්කනයෙන් පමණක් යැයි කිසිවෙකු නිගමනය කළ හොත්, ඔහු හෝ ඇය කරන්නේ තම ගුරුවරුන්ගේ ප්‍රවාදය හුදෙක් එහි වචනාර්ථයෙන් (literally) ගැනීමය. 


 
කිසිදු සංයුක්ත සමාජයක කොමියුනිස්ට් ප්‍රකාශනයේ කාව්‍යමය ලෙස තේරුම් කොට ඇති පරිදි පෞරාණික සමාජ සබඳතා, ආකල්ප, අගතීන් සහ දෘෂ්ටිවාදයන් නාට්‍යානුසාරී ලෙස මුළුමනින්ම බිඳ වැටී නොමැත. එසේ වූවා නම් විසි එක්වන සියවස තුළදීත් ලොව වැඩිම මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් ආගමික විශ්වාසයන්ගේ නාමයෙන් සිදුවීමට ඉඩක් නොමැත.

එබැවින්, කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියැවෙන පුද්ගලික ලාභාපේක්ෂාවේ තර්කනය සංයුක්ත ලෝකය තුළ සැබවින්ම ක්‍රියාත්මක වන්නේ යම් යම් සමාජමය, සංස්කෘතිකමය සහ ඓතිහාසික තත්ත්වයන් සමග අන්තර්- ක්‍රියා කරමින්ය. ඒ වෙනුවට එකී තර්කනය වියුක්තව නොහොත් හුදෙකලාව ක්‍රියාත්මක වන්නේ යැයි කිසිවෙකු උපකල්පනය කළ හොත් (නොඑසේනම් සමස්ත සමාජයම පුද්ගලික ලාභාපේක්ෂාවේ නිරුවත් තරඟයෙන් පමණක් සමන්විත වේ යැයි කල්පනා කළ හොත්) 'ක්‍රමයෙහි' සැබෑ සංකීර්ණත්වය මග හැරී යනු ඇත.
 
WhatsApp Image 2025 06 01 at 2.06.08 PM
වෙනත් වචනවලින් කිව හොත්, සමකාලීන යුගයේ 'බහුචිතවාදය' ක්‍රියාත්මක වන වඩාත්ම සංකීර්ණ ආකාරය වටහාගත හැක්කේ මාලකගේ චිත්‍රපටයේ සසිතගේ චරිතය දෙස බැලීමෙන් නොව සමාජයීය වටිනාකම්, අගයන් හා සංස්ථාපිත දෘෂ්ටිවාදයන් වෙතටත් අනෙකාගේ මානුෂීය හැඟීම් හා විඳවීම් වෙතටත් සංවේදී වන අතරම තම පුද්ගලික ලාභය (දියුණුව) පිළිබඳව රහසිගතව ගණන් බැලීම් කරමින් සිටින සෙසු චරිත දෙස බැලීමෙන්ය යන්න මගේ විශ්වාසයයි. 'බහුචිතවාදයේ' මෙම සංකීර්ණ මානය මාලකගේ චිත්‍රපටය තුළ තවදුරටත් නිරූපණය වූයේ නම් මම කැමතිය. 
කෙසේ වුවත්, සමකාලීන යුගයේ මිනිස් සබඳතාවල ස්වරූපය පිළිබඳ විචාරාත්මක දැක්මක් තම පළමු චිත්‍රපටයට පාදක කරගැනීම පිළිබඳ කීර්තිය මාලක දේවප්‍රියට අහිමි කිරීමට ඔහුගේ නිර්මාණය පිළිබඳ කිසිදු විචාරාත්මක කියැවීමක් හේතු නොසපයනු ඇත.

ග්‍රාම්ස්චි පිළිබඳ මතකය | සුමිත් චාමින්ද(සටහන | සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම - Sumith Chaaminda ගේ ෆේස්බුක් පිටුවෙන්....


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්