leader s

රාජ්‍යය මර්දන යන්ත්‍රයේ සක්‍රීය වෘත්තිකයා, "රණවිරුද" නිකම්ම නිකන් "යුද සෙබළද" යන්න විසඳා ගත නොහැකිව සයිබර් අවකාශයේ වොලිබෝල් ගසමින් සිටි තමන් විසින්ම සිංහල බසෙහි වූ ජීවගුණය නසා ගැනුණු "සයිබර සිංහල සමාජය" ඉක්බිති හැරුණේ රිදී තිරය දෙසට ය.

මාලිනී ෆොන්සේකා රංගවේදනියගේ නික්ම යාමේ වේදනාව පරයා ජනපති අරමුදලේ සාපරාදීභාවය අධිනිශ්චයවුණු මෙකී "සිංහල සයිබර සමාජය" මාලිමාවේ කටුව කැරකෙන්නේ කොයි අතදැයි නොසන්සුන් සකබර්ග් ලීලාවෙන් බලා සිටිනු පෙනිණ.

ඉනික්බිති, මාලනියගේ අවමංගල චිතකයෙන් අහසට නැගී ගිය වේදනාවේ දුමාරය ගසා බසා දා හුස්මක් කටක් ගත් "සිංහල සයිබර සමාජය" අප මිත්‍රවර සෞම්‍යය ලියනගේ මහාචාර්යවරයා "සෞම්‍ය සිංහලයෙන්" සිදුකළ රැඩිකල් කතාව තුළ වූවා යැයි සිතූ තමන්ගේ ම සිංහල නොතේරුම්කම මත එල්ලිණ.  
 


මෙම මහා සිංහල භාෂා විවාදය ගැන මෙලෝ දෙයක් නො දත් කොදෙව්වෙන් එපිට,  මෙ ලෝ කලා සංස්කෘතික සංදර්භය, ගෙවුණු සතිය පුරාම කම්පිත කම්පිත වෙමින් සිටියේ සෙබෙස්තියොං සල්ගාදෝ මහා ඡායාරූපකරුවාගේ නික්මයාම ගැන ය.  
 
ඔහු තරම් පෘථිවිතලය හා එහි වෙසෙන මිනිසා වාර්තා කර තිබූ සමකාලීන ඡායාරූපවේදියෙක් නැති තරම් ය.  යුද්ධ, අරගල, විප්ලව, දේශපාලන කුමන්ත්‍රණ, කැරලි-කෝලාහළ, සාගත-වසංගත ආදී මානව ඛේදවාචක විශාල ගණනක සාක්ෂිකරුවෙකු වන්නට ඔහුටත්, ඔහු නිසා ඒ සාක්ෂි දැකගන්නට අපටත් හැකි විය.
WhatsApp Image 2025 06 02 at 10.51.38 AM 5
 
ආර්ථික විද්‍යා විෂයෙහි උසස් අධ්‍යාපනයේ යෙදුණු සල්ගාදෝ වමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ උද්යෝගිමත් ක්‍රියාකාරිකයකු වූ අතර හැටේ දශකයේ සිට දශක දෙකක් පුරා පැවති බ්‍රසීලියානු මිලිටරි ආඥාදායකත්වය නිසා පැරීසියට පලා ගියේ දේශපාලන සරණාගතයෙකු ලෙසිනි.

පැරිසි ජීවිතයේ දශකයක ඇවෑමෙන් සිය ප්‍රේමවන්තිය අත වූ කැමරාව සියතට ගත් ඔහු විදහා පෑ විශිෂ්ටත්වය නිසා සුප්‍රකට "මැග්නම්" අඩයාලම දක්වා ඉතා පහසුවෙන් ඒමට ඔහුට හැකි විය. සමාජ සංසිද්ධි වාර්තාකරණයෙහි මෙන්ම ඡායාරූප ජනමාධ්‍යකරණයෙහි තමන්ගේ මුද්‍රාව තැබූ ඔහු ක්‍රමයෙන් දෛනික හා කේවල ඡායාරූප දැහැගැනීම්වලින් මිදී දිගුකාලීන ඡායාරූප ව්‍යාපෘති සඳහා ජීවිතය කැප කළේය.

"ඔබේ වෙලාව ගන්න. ඡායාරූපකරණය කියන්නේ පින්තූර ගැනීමට වඩා වැඩි දෙයක්. එය ජීවත්වීමේ ආකාරයක්." ඔහු කීවේය. මේ ජීවත් වීමේ ආකාරය ඔහුට හමුවූයේ එතෙක් ගෙවූ ජීවිතයේ 29 වසරක් ගෙවුණු පසුවය.

WhatsApp Image 2025 06 02 at 10.51.38 AM 2
 
81 වැනි වියේදී භෞතික ශරීරය අතර දමන විට පුරා දශක පහක් ඔහු මුළුමනින්ම මෙකී ජීවත්වීමේ ආකාරය සනාථ කළේය. ඔහු කීවේ කැමරාව රැගෙන එළියට යාමට පෙර අතිශය ශක්තිමත් කොන්සෙප්ටුවක් තමා සතු විය යුතු බව ය. ඔබ  ඡායාරූපවේදියෙකු නම් ඔබ සතුව ඇති කාලයෙන් ඡායාරූපකරණය සඳහා භාවිත කළ යුතු වන්නේ 1%ක් පමණකි. ඉතිරි මුළු කාලයම ඒ සඳහා පේ වීම වෙනුවෙන් ද, සැලසුම්කරණය වෙනුවෙන්ද, කොන්සෙප්ටුවේ අධ්‍යයනය වෙනුවෙන්ද වැය කළ යුතු වන්නේය. ඡායාරූප වේදයේ නැතහොත් ඡායාරූප කලාවේ පදනම එයාකාර  බව සල්ගාදෝ කීවේය.
 
"ඔබ දකින මගේ මේ ඡායාරූප, හුදු මනරම් පින්තූර ඉක්මවා ගිය දෙයකි; හුදු කතන්දරයක් ඉක්මවා  ගිය දෙයකි. මේ ඡායාරූප වනාහි මගේ ජීවිතයයි."  
WhatsApp Image 2025 06 02 at 10.51.38 AM 1
 WhatsApp Image 2025 06 02 at 10.51.39 AM
 
1985 පළකළ "අදර් අමෙරිකාස්" කෘතියේ පටන් සෙබෙස්තියොං සල්ගාදෝ තමන් දුටු, අත්දුටු ලෝකයෙන් තෝරාගත් කොටසක්, "ඇමසෝනියා", "වර්කර්ස්: ඇන් ඇන්තලොජි ඔෆ් ද ඉන්ඩස්ට්‍රියල් ඒජ්", "ජෙනසිස්', "එක්සෝඩස්","ද චිල්ඩ්‍රන්", "මයිග්‍රේෂන්ස්", "ඇෆ්‍රිකා", ඈ වූ අතිශය කම්පිත හා විශ්මිත මුද්‍රිත කෘති 30ක පමණ ගොණුකළ අතර, විසල් පරිමාණයේ ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශන රැසක් තුළටත් රැගෙන ආවේ ය.

ඔහු ඡායාරූප කලාවට සිදු කරන ලද සම්ප්‍රදානය, නොහොත්, ඔහු අපට දකින්නට සැලසූ අප නොදුටු ලෝකය මෙතෙකයි කිව්ව නොහැකිය.

"ඡායාරූපවේදියා යනු සමස්ත ලෝකයේම ඇස් දෙකයි. ඉදින් එබැවින් ඡායාරූප කලාව යනු කුදු මහත් ජනතාවට තමන් දුටු දේ දකින්නට සැලැස්වීමේ භාෂාව යි." යන්න ඔහු නැවත නැවතත් මෙනෙහි කළ අදහසකි.

ඔහු තමන්ගේ ඡායාරූප ව්‍යාපෘති සඳහා කාලය වැය කළ හැටි පුදුම සහගතය. "වර්කර්ස්" කෘතියහි ගොනු කළ ඡායාරූප වෙනුවෙන් ඔහු සත් වසරක් ගත කළ අතර රටවල් 120ක වෘත්තීමය ලෙස රස්තියාදු විය.
 
WhatsApp Image 2025 06 02 at 10.51.38 AM 7
සල්ගාදෝන්ගේ විශ්මිත ඡායාරූප නිසා ඔහු ඇතැම් විට, පීඩිතයාගේ දුක්ඛිතභාවය සෞන්දර්යකරණයට ලක් කරන්නේ යැයි බරපතළ චෝදනාවට ලක් විය.

ඔහු එකී චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් "ද ගාඩියන්" සාකච්ඡාව තුළදී ඊට පිළිතුරු ලෙස කී දෑ එකී චෝදනාවන්ට වඩා බරපතළ විය. ඔහු කීවේ මෙයයි.
 
"දුප්පතුන්ගේ ලෝකය, පොහොසතුන්ගේ ලෝකයට වඩා කැත හෝ අසුන්දර හෝ අවලක්ෂණ විය යුත්තේ ඇයි?" එම ප්‍රවාදය ඔහු තවදුරටත් විග්‍රහ කළේ සාතිශය ගැඹුරකිනි. "මෙහි තියෙන ආලෝකයමයි එහි තියෙන්නෙත්. මෙහි තියෙන ආනුභාවයමයි එහි තියෙන්නෙත්. මෙහි තියෙන ගරුත්වයමයි එහි තියෙන්නෙත්. මාව විවේචනය කරන්නට තියෙන දෝෂයන් මට නැහැ. විවේචකයන්ට තියෙන්නෙ තමන්ගේම  වරදකාරීත්වය පිළිබඳ හැඟීමක්. මං යුරෝපයේ ජීවත් වුණත්, මං ඇවිත් ඉන්නේ තුන්වෙනි ලෝකෙ රටකින්. මම ගන්න ඡායාරූප මං දකින්නේ මගේ ඇහෙන්. ඒ තමයි මම දකින ලෝකය, මං ආපු තැන" ඔහු නිර්භීතව පවසයි.
WhatsApp Image 2025 06 02 at 10.51.39 AM 1
 WhatsApp Image 2025 06 02 at 10.51.38 AM 4
 
ඒ අදහස, ඔහු කලින් පවසා තිබූ අදහස් සමග ගැටෙන්නේ නැත. ඔහු කීවේ අතිශය ගැඹුරින්ම ඡායාරූප කලාව පිළිබඳව සැලකුවහොත් එය ආත්මීය දෙයක් බව ය. තමන්ට අදාලව ගතහොත්, එය ඔහු ලෝකය දකින විදිහ බව ඔහු අනේක වාරයක් පවසා ඇත. තමන්ගේ ඡායාරූප යනු තමන්ගේ දේශපාලනික සහ දෘෂ්ටිවාදී ආස්ථානය බව ඔහු නොපැකිල පවසා ඇත.

පසුකාලීනව මෙලෙස නිර්භීතව පිළිතුරු දුන්නද, මෙකී විවේචන මුලින්ම ආ සමයේ ඔහු මානසිකව වැටුණු බවක් ඉතිහාසය පිරික්සීමේදී පෙනේ. කැමරාව අතහැර යාමට තරම් ඒ හිත් තැවුල දරුණු වූවා වන්නට පුළුවන. නමුත් ලෝකය දැකීමේ ඔහු තුළ වූ නිර්මාණාත්මක සැලසුම් අවසන්ව තිබුණේ නැත. පෘථිවි තලය යළි කොළපාට කරවන්නටත්, නිල් පාට කරලන්නටත් කාලය ශ්‍රමය සහ එතෙක් ඉපයූ මූල්‍යමය දෑ ඔහු වියපැහැදම් කළ අන්දමත් ඉන් ලද ප්‍රතිඵලත් මෙවන් කෙටි ලියවිල්ලකට හකුලා ගත හැකි නොවේ.
 
WhatsApp Image 2025 06 02 at 10.51.38 AM 6
බඩගෝස්තරවාදී දේශපාලකයන් විසින් නිරන්තර ඛේදවාචකයන්ට ඇද දමා තිබෙන දුප්පතුන්ගේ ලෝකය වනාහි අතිශය සෞන්දර්ය අවකාශයක් බව ලෝකයට කියා දුන් සෙබෙස්තියොං සල්ගාදෝ අතිශය අද්විතීය මිනිසෙකි.  
 
500063539 2492853237727781 4768489127196545392 nසෙබෙස්තියොං සල්ගාදෝන්ගේ විශ්මිත ඡායාරූප අතර එකල මෙකෙළ වෙමින් සිටියද දෛනික ජීවිතයට මුහුණ දිය යුතු බැවින්, ගිම්හාන රස්නයට හීලෑ වෙමින් එකිනෙක සළුපිළි උණා දමා කල එළි බසින අතිශය සුරූපී ෆ්‍රන්ස ස්ත්‍රී රූප අතරින් දෛනිකව ඇවිදි යමින් සිටින මට පී.යූ.ඩී. පෙරේරා නම් කෘතහස්ත ඡායාරූපවේදියා ඡායාරූපයට නැගූ මාලනියගේ රමණීය රූ සපුව විටින් විට මෙනෙහි වන්නට වෙයි. ඇය කොතරම් රමණීය වන්නී ද. මන මෝහනීය වන්නී ද? ඉදින් මම යලි වරක් සෙබස්තියොං සල්ගාදෝ උපුටනය කරන්නට ඔබෙන් අවසර පතමි.
"දුප්පතුන්ගේ ලෝකය, පොහොසතුන්ගේ ලෝකයට වඩා කැත හෝ අසුන්දර හෝ අවලක්ෂණ විය යුත්තේ ඇයි?"

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-man
http://monsoonmn.wordpress.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්