‘බහුචිතවාදියා’ මංගල දර්ශනය නැරැඹීමට හිටපු ජනාධිපතිවරයෙකු වන රනිල් වික්‍රමසිංහ, ඔහුගේම පක්ෂයේ සිට වෙනත් පක්ෂයකට මාරු වී සිටින
සජිත් ප්‍රේමදාස සහ වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යවරයා පැමිණ සිටියහ. වික්‍රමසිංහ අපේ රටේ තරුණ කටයුතු ඇමතිවරයා හැටියට කටයුතු කළ බැවින් බහුචිතවාදියා චිත්‍රපටයේ තේමාවට ඍජුවම සම්බන්ධ පුද්ගලයෙකු හැටියට මම නම් කරමි.
තවත් පැත්තක් ද තිබේ. එය ද මඟ හැර යා නොහැක. එය නම් පරාරෝපිත තාරුණ්‍යයේ බෝවීමයි. නූගත් ග්‍රාමීය හෝ අර්ධ නාගරික තාරුණ්‍යයේ පරාරෝපිත ව්‍යාකුල සමාජාර්ථික වටපිටාව ධනේශ්වර පාලක පැලැන්තිය විසින් අත්හැර දමන ලද සත්ත්ව කොට්ඨාසයකි. එය 71දීත් 88-89දීත් දකුණේ මෙන්ම උතුරේ ද නැගෙනහිර ද සන්නද්ධ අවි අතදැරීම් දක්වා වර්ධනය වෙන්නට ඉඩ හරින ලදී.
යුග දෙකේදීම පිළිවෙලින් 30000 කුත් දෙවන කැරැල්ලේ දී ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවකුත් ඝාතනය හෝ ඝාතනය වෙන්නට ඉඩ හරින ලදී. ඊට අමතරව උතුරේ වර්ගවාදී යුද්ධයේදී ද අවි අත දැරුවේ අර්ධ අධ්‍යාපනය ලත් තරුණයින්මය. අඩුවැඩි වශයෙන් දෙපලාතේම විශ්ව විද්‍යාල වල උගත් තරුණ පිරිස් ද මීට සහභාගී වී ඝාතනය විය.
යළිත් කථා බහකට තුඩුදුන් ‘බටලන්ද කොමිෂන් සභා වාර්ථාව’මඟින් වික්‍රමසිංහ මහතා චුදිතයෙක් හැටියට නම් කළත් ඔහු හා ඔහුගේ පාර්ශ්ව සඳහන් කරන්නේ තරුණ නැගීටීම හමුවේ එය මර්ධනය කරන මහජන සාමය ඇතිකරලනු පිණිස අවිගත් තරුණ පිරිස් මර්ධනය කළ බවය.
මාලක දේවප්‍රියගේ කථා ශරීරයේ තිබෙන්නේ මේ ඉහතින් මම සඳහන් කළ පාදක සමාජ ස්ථර කවරක හෝ ඉපැදී වර්ථමානය දක්වාම ගලාගෙන යන විපරීත,ව්‍යාකුල සිත් ඇතිව කුළු මී හරකුන් සේ දිවි ගෙවන තරුණ ජීවිත නොවේ ද...? මේ යථාර්ථයේ සමාජ නිර්මිතයන් ඔඩු දුවන්නට හැර ක්‍රමය විසින් ඔවුන් මර්ධනය කරන්නට අණ දීම දේශපාලනය ලෙස අර්ථ කථනය කරන දේශපාලකයින් දෙතුන් දෙනා පමණක් සිනමා ශාලාවේ හුදෙකළා කර මේ චිත්‍රපටය නරඹන්නට දීම කාලෝචිතය.
මාලක මේ චිත්‍රපටයට අතතබා ඇත්තේ මීට වසර 10 කට ඉහත. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ද සිදුව ඇත්තේ ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ය. එහෙත් අධිෂ්ඨානයකින් යුතුව මාලක ප්‍රේක්ෂකයින් කරා චිත්‍රපටය ගෙනෑවිත් තිබේ. ඒ අන් කවරක් නිසා හෝ නොව මේ කථා සංදර්භය කාලෝචිත වූවක් නිසා වේ.
ඇත්තෙන්ම ඉහතින් මම සඳහන් කළ දේශපාලනිකව ඉපදෙන්නට වරම් අහිමි කළ හා පිළිසිඳීන්නට හේතු-භූත නොවුණු දෙමාපිය භූමිකා හරිහැටි සකස් නොවුණු වටපිටාවක මල පෙරේත ද්‍රෂ්ඨියෙන් උපදින අපේ පොළොවේ තාරුණ්‍ය තවමත් මාලකගේ කථා සංදර්භය හා සමපාතය.
මේ චිත්‍රපටය නරඹන විට නිතැතින්ම මගේ සිතුවිළි සත්‍යජිත් රේ නමැති මහා සිනමාකරුවාගේ චිත්‍රපට ගොන්නෙහි පාදක සමාජ,ආර්ථික පඩංගු ජීවිත අතරේ දිළිඳුකම් රාශියක උරච්චි කරනවා වැනි ශෝකාකුල හැගීමක් දැන්වීය. එයිනුත් රේගේ එක්තරා චිත්‍රපටයක් වන Pratidwandi නමැති නිර්මාණයත් එහි ප්‍රධාන චරිතය වන Siddartha Choudhary කෙරෙහි මතකය ස්මරණය කෙරෙව්වේය. එකකට එකක් මේ කථාව හා ඒ කථාව සමපාත නොවුණත් දෙ කථාවේම චරිත සංදර්භය නම් එක සේ පෑහේ.
තොරතුරු තාක්‍ෂණික මෙවලම් හා විද්‍යුත් සංවර්ධික ලෝකය ඇතුළේ පරාරෝපිත ජීවියෙකු හැටියට තරුණයෙකුට/බහුතර තරුණයාට දිවි ගෙවන්නට සිද්ධ වී ඇත්නම් සමාජ දේශපාලනික ව්‍යුහයට ඒ ජීවීන් කොට්ඨාශය බරක් නොවන්නේ ද...? ඔවුන්ගේ අතාත්වික ජීවිත හිස් බවට අදාළ වේ. ඔක්කාරයට බඳුන් වන මේ හිස්බව මකා ගන්නට සකළවිධ සංජානන ලෝකයේ රුදුරු වානර ගති භයංකර ලෙස එළිදකී.
මාලක අන්තරාවබෝධයෙන් දකින මේ පිළිකුල් සහගත,භයංකර පරිකල්පනීය වමනය තාරුණ්‍යයේ සාක්‍ෂිකරුවෙකු ලෙස සිනමා තිරය මත අතුරණ ආකාරය අතිශයින්ම සිනමානුරූපීය.චිත්‍රපටය පුරාම තත්කාලීන ශබ්ද,නාද සංගීතයක් බවට පත්වේ. එසේම අත්‍යවශ්‍ය නිසැක අවස්ථාවේ දී චිත්‍රාල් සෝමපාල ව්‍යවහාරික සංගීතය රැගෙන චිත්‍රපටය සමාප්ත කරයි.කලණ ගුණසේකර පිළිබඳ මගේ ජුගුප්සාජනක හැගීම ඔහු රඟන මේ ජුගුප්සාජනක චරිතය විසින් මේ දූපතේ සානුකම්පිත බව දනවන සැබෑ ප්‍රති නිර්මාණයක් බවට පත් කළේය.
ඇත්තටම කලණ වැනි පිපාසාවෙන් පෙළෙන තරුණයන් කළ යුතු වන්නේ රඟපෑම පමණක් නොව රටේ ඇතුළේ තාරුණ්‍ය පෙළන සමාජ සංදර්භයන් සමඟ මනෝ-කායික චිකිත්සාවක නිරත වීමයි. අවාසනාව එවැනි අවංක ප්‍රයත්නයන් වෙනුවට පික්චර් ලෝකයක ඔවුන් සැරිසැරීමයි.
කෙසේ වුවත් පරිසමාප්ත සිනමා වියමනක් හැටියට ගොඩ නැගීමට අවශ්‍ය කැමරාකරණය, සංස්කරණය, ආදී අංශ මාලකට සහය ලබා දීම සතුටට කරුණකි. මේ වසරේ නිකුත් වුණු විවිධ ශානරයන් අතරේ මාලකගේ චිත්‍රපටයක් හැටියට කලාත්මක ධාරාවේ ඉහළින්ම තැබිය හැකි චිත්‍රපටයකි.
(සටහන | ධර්මජිත් පුණර්ජීව)
උපුටා ගැනීම - Dharmajith Punarjeeva ගේ ෆේස්බුක් පිටුවෙන්...






