තිත්ත තොල් පොතක් විදිහට මුද්‍රණය වෙලා අවුරුදු නවයක්.
අවුරුදු නවයකට පස්සෙ මං ආපහු මං ලියපු දේවල්වලට ඇතුල්වෙන්නෙත් ආගන්තුකයෙක් විදිහට. ඒ අකුරු ලියපු මම දැන් නැහැ. ඒවා ලිව්වෙ මං කියල දන්නවා වුනාට ඒවා ලියපු හැගීම් මගේ ළග නෑ. ඉතින් මං හිතන්නෙ ඒ කතා ලිව්වෙ වෙන කෙනෙක් කියල.
ඒ කතා, ඒ වචන, ඒ තිත් තැබීම්, කොමා හැමදෙයක්ම ඒ කාලෙට අයිති දේවල්. අපිට අපේම අත්දැකීමක් අපේ නොවී යන තරම් ඈතට යද්දි දැනෙන සොඳුරු ආගන්තුකභාවය හරි අමුතු දෙයක්. අපි එකම ජීවිතයක් ඇතුලෙ ජීවිත ගණනාවක් ගත කරනවා කියල අපිට දැනෙන්නෙ එතකොට.
තිත්ත තොල් කියන්නෙ මං ගත කරපු ගැහැණු ආත්ම තුනක් ගැන කතාවක් කියලයි මට හිතෙන්නෙ. ඒවා කොටස් කොටස් විදිහට ලියැවුනු ස්මරණ සංධ්වනි. ඒ කොටස් ලියවුනේ ඩිමයි පිටුවක ප්‍රින්ට් වෙන පත්තරේ කොලමක. මේ වෙද්දි පත්තර කියල දෙයක් නෑ. ඒ වගේ කතා ලියවෙන රස්තියාදු අවකාශ නෑ. පොතක් ලියමි කියලා ඉඳගෙන කරන ලිවීමට වඩා සම්බන්ධිත අසම්බන්ධිත සැලසුමක් නැති කොටස් ලියන එක අසිරිමත්.
තිත්ත තොල් ගොඩක් අය ආදරෙන් වැළඳගත්තා. ඒ කෙටි නවකතා තුන හුගක් ගැඹුරින් දැනුනු අය හිටියා. මගේ පසු නවකතාවලට වඩා තිත්ත තොල් හොඳ බව සමහරු කිව්වා.
මේ කතා ප්‍රබන්ධ වුනාට ඒ කතා ඇතුලෙ ප්‍රබන්ධ නොවෙන ඇත්තවල් තියෙනවා. ඒ චරිත ඇතුලෙ ජීවත් වුනු ඇත්ත මිනිස්සු ඉන්නවා. අපිට කතාවක් දැනෙනවා කියන්නෙ ප්‍රබන්ධය විනිවිද ගිහින් ඒ ජීවිත දැනෙන මොහොත කියල මං විශ්වාස කරනවා. කතාවෙ කඩතොලු අතරින් අපිට ඒ අඳුරට එබෙන්න පුළුවන්.
හැබැයි, අපි ප්‍රපාතයක් දිහා දිගටම බලන් ඉන්න ගත්තොත්, ප්‍රපාතය අපි දිහා බලන් ඉන්න පටන් ගන්නවා.
අලුත් මුද්‍රණය බාරගත්ත රසකතා පබ්ලිෂර්ස් වෙනුවෙන් ධනුෂ්කට මගේ ආදරය පිරිනමන්න ඕන. පොත ආපහු ප්‍රින්ට් කරන්නත්, අලුතෙන් කවරයක් කරන්නත් උනන්දු වුනේ ධනුෂ්ක. පොතක් අලුතෙන් ප්‍රින්ට් වෙද්දි මොකක් හරි අලුත් වෙනවා නං තමයි හොඳ.
මං මෙතනින් නතර වෙනවා. මෙතනින් ඉස්සරහට චා, බචී, ඉන්දු කියල ගැහැණු තුන්දෙනෙක් කතන්දර තුනක් ඇතුලෙ ඔයාට මුනගැහේවි. ඒ එක එක්කෙනා එක්ක වාඩි වෙලා මං වෙනුවෙන් උණු කලු කෝපි කෝප්පයක් බොන්න. මං එයාලව ආදරෙන් මතක් කළ බව කියන්න.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)






