leader s

දශක හයක් පුරාවට තම රංගන ප්‍රතිභාවෙන් දේශීය සිනමාව ඔපවත් කළ, මාලනී ෆොන්සේකා නම් `නිළි රැජින` ලාංකික සිනමා රසිකයන්ගේ නෙතට කඳුලක් එක් කරමින් සිය 78 වැනි වියේදී දිවි සැරිය නිම කළාය.

ජනප්‍රිය කලාකරුවන්ට තෝතැන්නක් වූ කැළණියේ උපන් වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ප්‍රාථමික අධ්‍යාපන ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේත් ඉන් පසුව කැළණිය ගුරුකුල විද්‍යාලයෙනී. රංගනයට සහජ හැකියාවන් පෙන්වූ ඇය සුමන ආලෝකබණ්ඩාර 1968 දී නිෂ්පාදනය කළ `අකල් වැස්ස` වේදිකා නාට්‍ය රංගනය වෙනුවෙන් එම වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුවාය. මේ රංගනය ඇගේ කලා දිවියේ කඩඉමක් සටහන් කරන්නට සමත්වූයේ  සිනමාවේ දොරටු ඇය වෙත විවෘත වීමෙනි.

70-80 මාලනීගේ සිනමාව  
 
mali2පුංචි බබා චිත්‍රපටය
තිස්ස ලියනසුරිය අධ්‍යක්‍ෂණයෙන් සුගතපාල මාරසිංහ  නිෂ්පාදනය කළ පුංචි බබා චිත්‍රපටයේ චරිතයකට පණ පොවන්නට අවස්තාව ලැබීමත් සමඟ 70 දශකය ඇරඹෙන්නේ මාලනී ෆොන්සේකා යුගයක් සමගිනි. එතැන් පටන් දශක හයක් පුරා කලාත්මක, වාණිජ ඇතුළු සෑම චිත්‍රපට ශානරයකම මාලනී සිය අණසක පතුරුවාලන්නට සමත්වූවාය.රංගනයට අමතරව එකල ලාංකීය ස්ත්‍රී  රූ සපුව මනින දර්ශකය වුයේද ඇයයි. 1972 සහ 1973 වසර වල ජනප්‍රිය නිළිය ලෙසින් දීපශිඛා සම්මානයේ පිදුම් ලැබූ මාලනී ඉන් පසු 1976 සහ 1979 සිට 1985 වන තෙක්ම සරසවි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය වුවාය.
 
WhatsApp Image 2025 06 13 at 2.25.02 PMලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ `නිධානය` චිත්‍රපටයේ කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස 1972 විචාරක සම්මානයෙන් පිදුම් ලැබුවාය. 1975 වසරේ පැවති 9 වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ධර්මසේන පතිරාජගේ  `එයා දැන් ලොකු ළමයෙක්` සිනමා රංගනය වෙනුවෙන් මාලනී දිනා ගත්  ජුරිය විශේෂ ගෞරව සම්මානය සිංහල සිනමා නිළියකට හිමිවූ පළමු අන්තර් ජාතික සම්මානය ලෙස සැළකේ. 1977 දී ඉන්දියාවේ දී පැවති 6 වැනි නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළ අමරනාත් ජයතිලකගේ ` සිරිපාල හා රන් මැණිකා` චිත්‍රපට වෙනුවෙන් ගෞරව කුසලතා සහතිකයක් දිනා ගැනීමට ද මාලනී සමත්වුවාය.
 
`එයා දැන් ලොකු ළමයෙක්`, `සිරිපාල හා රන් මැණිකා` හා `දෙවියනි ඔබ කොහෙද` විශිෂ්ඨ සිනමා රංගනය වෙනුවෙන් කතෝලික සිනමා හා විචාරක පර්ෂදයේ සම්මානය ද ඇයට හිමි වුයේ එම වසරේදීමය. 1978 `බඹරු ඇවිත්` වෙනුවෙන් හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර වූ ඇය, 1979 දී `වසන්තේ දවසක්` වෙනුවෙන් හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානයෙන් මෙන්ම ``හිඟන කොල්ලා`` වෙනුවෙන් සරසවි සම්මානයේ හොඳම නිළිය වන්නේද මාලනී ෆොන්සේකාය.
 
නිළි රැජින වෙනුවෙන් ලක්ෂ 55 ක් වෙන් කිරීම පාප කර්මයක්ද? | Asoka Handagama
1981 දී ``ආරාධනා`` හි රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස ජනාධිපති හා සරසවි සම්මාන දෙකම ඈ විසින් හිමිකර ගත්තාය. ``යස ඉසුරු`` රංගනය වෙනුවෙන් 1982 දී  මාලනීට හොඳම නිළිය ලෙස සම්මාන ලැබෙන්නේ සරසවි සිනමා උළෙලේදීය. 1979-80-81සහ 82 වසර වලදී  හොඳම රංගනය මෙන්ම ජනප්‍රිය නිළිය වන්නේ ද ඇය යි.
 
39 වැනි වරට 2009 වසරේ  පැවැත්වුණු  ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී හොඳම රංගනය වෙනුවෙන් මාලනී රණ මයුර සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇගේ ඥාති සොයුරු ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ `ආකාස කුසුම්` චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි. ඊට පසු වසරේ 7 වැනි වතාවට පැවැත්වූ ඉතාලියේ  ලෙවන්තේ අන්තර් ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ `ආකාස කුසුම්` රංගනය වෙනුවෙනි.
malni
 
2014  වසරේදී පැවති ප‍්‍රංශයේ,16 වැනි `දෝවිල්` (Deauvill) ආසියානු සම්මාන උළෙලේදී, වසර 50 ක් මුළුල්ලේ සිනමාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් රන් නෙළුම සම්මානය මාලනී ට පිරිනැමිණි. ඒ වන විට ප්‍රංශයේ ලංකා තානාපති වුයේ ඇගේ නැගණියක් වූ ජනප්‍රිය සිනමා නිලියකවූ රසාදරී ෆොන්සේකාගේ සැමියා වූ කලක් සිනමා රංගන ශිල්පියෙකුව සිටී කරුණාරත්න හඟවත්ත යි.

`නිධානය`, `එයා දැන් ලොකු ළමයෙක්`, `බඹරු ඇවිත්`, `සොල්දාදු උන්නැහ`, ඉන්දුට මල්මිටක්`, `සිරිපාල හා රන් මැණිකා`, `එක්ටැම් ගේ`, `ස්ත්‍රී` , `ආකාස කුසුම්`  වැනි චිත්‍රපට වල මාලනිගේ රංගනයන් සදා මතකයේ රැඳෙනු ඇත. කළු සුදු හා වර්ණ සිනමාවේ පුළුල් රංග පරාසයකින් යුත් මාලනී වාණිජ සිනමාවේ විවිධ යුගයන් බිහිකළ නිළියකි. දශක ගණනාවක්ම සිංහල සිනමාව ගමන් කරනු ලැබුවේ මාලනී වටා යැයි කිව හොත් නිවැරදිය.

මුලින්ම ගාමිණි -මාලනී, විජය -මාලනී, තිස්ස -මාලනී, ටෝනි -මාලනී,  රවින්ද්‍ර -මාලනී,  සනත්-මාලනී, ලකී -මාලනී යුග ප්‍රේක්ෂකයා සිනමාවේ රඳවා ගැනීමට සමත්විය. මේ සිනමා නළුවන් බොහොමයකටම ජනප්‍රිය සිනමාවේ  හිනිපෙත්තට ලඟා වීමට මාලනී ආලෝකයක් වුවාට සැක නැත.
 
499971317 10232287553345745 8338583676857593672 n
දකුණු ඉන්දියා දෙමළ සිනමාපටයකට සිය රංගන දායකත්වය ලබා දීමට මාලනීට වරක් අවස්තාව හිමිව තිබේ. ඉන්දු -ලංකා ඒකාබද්ධ නිෂ්පාදනයක්වූ ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ 'පයිලට් ප්‍රේම්නාත්' හි ඇය රඟපෑවේ දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියතම නළුවෙකු වූ සිවාජි ගනේෂන් සමගිනි.
 
බහුතරය පිරිමින් වූ සිංහල සිනමාවේ අල්ප අධ්‍යක්‍ෂකවරියන් අතරින් මාලනී ද එක් අයෙකි. ඈ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමා පට තුනකි. ඒ `සසර චේතනා`, `අහිංසා` සහ `ස්ත්‍රී` සිනමා නිර්මාණයන්ය.
මාලනීගේ දේශපාලනය
WhatsApp Image 2025 06 13 at 2.25.02 PM 1

සිනමාවේදී පමණක් නොව දේශපාලනයේදී ද  මාලනීව අත්හැර දැමිය නොහැක. ලංකාවේ බොහෝ ජනප්‍රිය සිනමාකරුවන් මෙන්ම මාලනී ද ආණ්ඩු පිහිටුවන්නට සිය ජනප්‍රියත්වය දැන හෝ නොදැන ආයෝජනය කර තිබේ. ජේ.ආර්- ප්‍රේමදාස වකවානු වල එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ වේදිකාවේ සිටී ඇය පසු, කලෙක මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් ද හෙබවූවාය. ඒ  2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්ය.

කිසිදු බේදයකින් තොරව ලාංකිකයන් විසින් සිනමාවේ රැජින ලෙස පිළිගත් ඇයට රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන ගිය ජන ඝාතක  යුද්ධයට සහයෝගය පළ කරන්නට, ඒ වෙනුවෙන් සත්‍යග්‍රහ වැනි දේශපාලන ව්‍යාපෘති වල සිරවන්නට සිදුවුවාය. 1983 ජුලි මිනිස් සංහාරයේදී සිංහල ජාතිවාදී මැරයන්ගෙන් තම අසල්වැසි දෙමළ ජාතික හිතවතුන්ගේ ජිවිත බේරා ගැනීමට නොබියව මැදිහත් වූ මාලනී ඉන් දශක කිහිපයක් ඇවෑමෙන් යුද්දය වෙනුවෙන් පාලකයන්ගේ පැත්තේ සිට ගැනීම ඇගේ වරදක්ම නොවනු ඇත.  

අනෙක් බොහෝ දෙනා මෙන්ම මාලනී ද  යුදවාදී, රණකාමී රැල්ලට හසුවුවාය. මුළුමහත් ජනතාවක් ආදරයෙන් වැළඳ ගත් සිනමා තාරකාවගේ  දීප්තිය ක්‍රමයෙන් පළුදු වන්නට ඇගේ මේ  දේශපාලනය හේතුවූ බව නිසැකය.
 
v4uy66
රාජපක්‍ෂ රෙජීමය විසින් ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මාලනී ව යොදා ගැනිණි. සිනමාවේදී ගාමිණි ෆොන්සේකාගේ සිට ලකී ඩයස් දක්වා වූ පිරිමින් ඇගෙන් ආලෝකය ලබා ගත්තාක් මෙන් දේශපාලනයේදී එය වඩාත් හොඳින් කරනු ලැබුවේ රාජපක්‍ෂ ලාය. දේශපාලනය හේතුවෙන් මාලනී ට ලැබුණු යහපත් දෙයක් නොවූ අතර ලැබුවේ ගැරවුම්, අවමන් පමණි.

ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීම ද මතු වන්නේ ඇය කලාකාරිනියක් ලෙස නොව ජාතික ලැයිස්තුවෙන් වුවද මන්ත්‍රීවරියක් වූ නිසාය. රංගන ශිල්පිණියක් ලෙස නම් ඇයට හැමෝම නිසැකයෙන්ම ගරු බුහුමන් කරනු ඇත.
 
බොහෝ ජනප්‍රිය තාරකාවන් දේශපාලනයට ස්ව කැමැත්තෙන් හෝ යම් බලපෑමකින් හෝ පිවිසියද, ඔවුන් සාර්ථක වී නොමැත. ලාංකීය දේශපාලන සමාජයෙන් ඒ සඳහා බොහෝ නිදසුන් සොයා ගත හැකිය.ඒ අතර මාලනී ෆොන්සේකා නම් නිළි රැජින ද වේ.

අවුරුදු 78 වියේදී දිවියෙන් සමුගන්නා තෙක් මාලනී  දේශීය සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තය වෙනුවෙන් සිය දායකත්වය නොපිරි හෙළා ලබා දුන්නාය. ඇය රංගනයෙන් දායකවූ සිනමාපට කිහිපයක් ඉදිරියේදී ද තිරගත වීමට නියමිතය.

සිනමාවේදීත්, දේශපාලනයේදීත්  බහුතරය වූ  පිරිමින් සමඟ උරින් උර ගැටී ක්‍රියා කළ මාලනී දිරිය ස්ත්‍රියකි. ඇයට නුහුරු දේශපාලනයේදී අසමත් වුවද, සිනමාවේදී ඇය බාධක මැද වුවද අභියෝග ජය ගන්නට සමත්වූවාය. දිවි සැරිය නිමා කළ ද, තවත් බොහෝ කල්  මාලනී නම් තාරකාව දිදුලනු ඇත.

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස්  මාධ්‍යවේදිනි
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

[මෙම ලිපිය 'මොනරා' පුවත් පතේ පළ වුවකි]

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්