leader s

රැවටීම හා රැවැට්ටවීම, ගොදුරුකර ගැනීම හා ගොදුරුවීම සාමාන්‍ය කරණය වූ මිනිස් සමාජයක අන්තර් මිනිස් සබඳතා යනු හුදු උපයෝගීතාවයක් මිස අන් කිසිවක් නොවේ.


මානව හර පද්ධතීන් ශීඝ්‍රයෙන් විනාශ වී යන ගර්හිත අවකාශයක මිනිස් පැවැත්ම ගැන බැලූ බැල්මට සරලවත් එහෙත් අතිශය සියුම්වත් සිය දෘෂ්ටිය මෙහෙයවන මාලක දේවප්‍රිය, මේ වන විට විශ්වාසය යනු දෘෂ්ටිමය මායාවක් මිස යථාර්ථයක් නොවන බව ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන "බහුචිතවාදියා" ඔස්සේ විශද කරයි.

 

උඹලගෙ අපේ කතාව මේක තිරයේ බලපල්ලා | අසංක ශ්‍රීනාත්

සංකීර්ණ නාගරික පරිසරයක ජීවත් වන මිනිස් කැලතක් ඔස්සේ සිය දෘෂ්ටිය හසුරුවන මාලක වත්මන් නාගරිකයා යනු දියුණු නාගරික පුරවැසියෙකු නොව නිරන්තර අපේක්ෂා භංගත්වයෙන් පීඩා විඳින එයම පැවැත්ම සේ හඟින අසරණයකු බව කියන්නේ ය. මෙහිදී මම දියුණු නාගරිකයා යන්නෙන් අදහස් කරන්නේ විදෙස් භාෂාවක් හොඳින් හැසිරවිය හැකි තම පැවැත්මට සරිලන භෞතික වටපිටාවක් ඇති තැනැත්තෙකු ගැන පමණක් නොවේ;  යහපත් සංස්කෘතික හා සමාජීය පසුබිමක් ද ඇති තැනැත්තෙකු ගැනයි. එවන් ජීවන පැවැත්මක් ඇති නාගරිකයන් අතිශය දුර්ලභ වන අතර ඔවුන් කරළියට පැමිණෙන්නෝ ද නොවෙති.

බහුචිතවාදියා සමකාලීන නැති ද? | Vangeesa Sumanasekara

 

නගරයේ මධ්‍යම පාන්තක මිනිස් ගතිකයන් කෙරෙන් මතු කරන පැවැත්ම සම්බන්ධයෙන් වූ අස්ථාවරත්වය හා අසහනය වත්මන් ලංකාවේ සමස්ත මිනිස් ජීවත වෙලාගත් ඛේදනීය තත්ත්වයක් බව සැඟවිය නොහැක්කකි . තරුණ තරුණියන් පමණක් නොව මැදිවියේ හා මහළු වියේ පසුවන්නන් පවා මේ නියෝ ලිබරල්  ප්‍රවාහයේ ගොදුරු බවට පත්ව ඇති බව සංකේතාත්මකව මාලක පෙන්වා දෙන්නේ දරුවන්ගේ ඉරණම ගැන ප්‍රේක්ෂකයන් වන අපට වටහා ගැනීමට ඉඩ දෙමිනි.

චිත්‍රපටයේ රූපරාමු විකාශනය වන ඇතැම් අවස්ථාවල පසුබිමෙන් ඇසෙන ධර්ම දේශනා, ජෝතිෂ්‍ය පුරෝකථන ආදියෙන් පවා මාලක ඉඟි කරන්නේ සමාජ අන්ධකාරය තුළ ගොදුරු ගිලින නිශාචරයන් ගැන මිස මිනිසුන්ගේ සාංදෘෂ්ටිකවාදී පැවැත්මක් ගැන නොවේ. තවද තමන් ධාර්මික යැයි අන්‍යයන්ට ඇඟවීමට ඇතැමුන්ගේ ඇති අභිරුචිය ද මාලක මෙයින් උපහාසයට ලක් කරයි.

 


ආදරය, රැකවරණය හා විශ්වාසය අහිමි වී ගිය සමාජයක ඇතැම් ස්ත්‍රීහු පැවැත්ම උදෙසා තම ශරීරය හා තමන් අපහසුවෙන් උපයා ගත් දෙයින් කොටසක් කැප කරති. ඒ ඔස්සේ ඔවුන් අනිකාව තම ග්‍රහණයට ගැනීමට වෙහෙසේ. එහෙත් තමන් රැවටුණු බව වටහා ගත් විට වෛරිය හැසිරීමකට තාවකාලිකව පසුබසින ඔවුහු නැවත තවෙකෙකුට ගොදුරු වෙති. ලැබෙන අවස්ථා මගහරිමින් සුපිරි අවස්ථා ගැන හීනයක වෙළෙන තරුණයන් තවත් වටයකින් වෙනෙකෙකුට ගොදුරු වෙයි. කලක් වාම දේශපාලනයෙන් ප්‍රතිරූපයක් හදාගත් උන් ධනේශ්වරය තුළ සුපිරි ගේමක නියැලෙත්.

මාලක මේ සියල්ල අප හට කියාපාන්නේ සියුම් උත්ප්‍රාසාත්මක ස්වරූපයකිනි. එනම් සිනමා ශාලාව තුළ නැගෙන සිනහ හඬවල් අතර අපගේ පැවැත්ම සම්බන්ධයෙන් වූ වේදනාවකින් හදවත සිරකරවමිනි. නිර්මාණයකට උත්ප්‍රාසය කැටි  කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එහෙත් මාලක එය අතිශය දක්ෂ අයුරින් සිදු කර ඇති බව නිර්ලෝභීව පැවසිය යුතුය. ඒ සඳහා නිර්මාණයට දායක වී ඇති සියලුම ශිල්පීන් ඔහුට තම උපරිම දායකත්වය සපයා ඇති බව ද කිව යුතුය.

0b24e460 b195 4bce a07f 05d4ea593f4c

 

ඉතින් කාලෙකට පසු හොඳ සිනමා නිර්මාණයක් නැරඹීමට ලද අවස්ථාව මඟ නොහැර "බහුචිතවාදියා" නරඹන මෙන් අවසාන වශයෙන් මම ඔබගෙන් ඉල්ලමි.

(සටහන | අනිල් නිශාන්ත ලොකු ගමරාල)

(උපුටා ගැනීම - Anil Nishantha Lokugamarala ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්