අප මිත්‍ර, මහාචාර්‍ය Jayantha Amarasinghe මීට දින කිහිපයකට පෙර, විශ්වවිද්‍යාල සිංහල විශේෂවේදී උපාධි අපේක්ෂකයින් මහාචාර්‍ය ජේ.බී. දිසානායකව නො දැන සිටීම පිලිබඳව පළ කළ පෝස්ටුවට බොහෝ ප්‍රතිචාර ලැබිණි.
මහාචාර්‍ය ජේ.බී. වැන්නෙකුව නො දැන ලාංකීය අධ්‍යාපන හිණි මගෙහි මෙතරම් දුරක් සිංහල විෂය හදාරන විද්‍යාර්ථියෙකුට පවා පහසුවෙන් ගමන් කළ හැකි තරමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය දුර්වල වීම, යන්තම් උසස් පෙළ දක්වා පමණක් උගත්, විද්‍යාර්ථියෙකු හෝ උගතෙකු නොවන මාගේ පුදුමයට හේතු වුව ද, ග්‍රන්ථ ප්‍රකාශකයෙකු ලෙස මට එය වඩාත් වැදගත් වූයේ මා නිරත කර්මාන්තයේ අනාගත පැවැත්ම වෙනුවෙන් එකී තත්ත්වය ඍජු දායකත්වයක් සපයන බැවිණි.
ග්‍රන්ථ ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස සමාජයක් තුළ පවතින්නට නම්...
ග්‍රන්ථ ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස සමාජයක් තුළ පැවතීමට පුළුල් පාඨක පිරිසක් සේම, ඔවුන් අතර දැනුම සහ රස වින්දනය පුද්ගලික දේපළක් බවට පත් කර ගැනීමේ අභිලාෂය සහිත පිරිසක් ද සිටිය යුතු ය. පොත් අලෙවි වන්නේ පොත පුද්ගලික දේපළක් ලෙස තමන් සන්තක කර ගැනීමට ලෝලී පිරිස් සිටින විට ය.
එසේ නොවුනහොත් ග්‍රන්ථ ප්‍රකාශනයට කර්මාන්තයක් ලෙස සමාජයක් තුළ පැවතිය නො හැකි ය. පොත් මිලදී ගෙන රැස් කිරීම වූ කලී කියවීමට, හැදෑරීමට ඇති ලෝලයේම දිගුවකි.

මහචාර්‍ය අමරසිංහගේ හෙළිදරව්ව තුළින් පෙනෙන්නේ කියවීමේ, හැදෑරීමේ පමණක් නොව සමාජ සංවේදී වීමේ මූලික අවස්ථා හෝ එම විද්‍යාර්ථීන් තුළ වර්ධනය වී නොමැති බවයි. මා මිත්‍ර Sujith Rathnayake වතාවක් අන් කරුණක් අරභයා කියූ දෙයක් මීට අදාළ ලෙස ගළපා කියන්නේ නම්, එම විද්‍යාර්ථීන්: කියවීම, හැදෑරීම නම් ක්‍රියාවලියේ 'ගින්දරවත් තවම සොයාගෙන නැත.'
ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ පැවැත්ම...

යම් සමාජයක ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ පැවැත්මට ඍජුව දායකවන කියවීමේ වෙළඳපළ නිර්මාණය කළ හැකි ප්‍රධාන ආයතන වන්නේ පාසල, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන සහ පවුල යි. මෙකී ආයතන හැරුණුකොට අයෙකු කියවන්නකු, හදාරන්නකු බවට පත් කළ හැකි අනෙක් බලවේග කිහිපයක් වන්නේ: ස්වයං පෙළඹවීම සහ සුවිශේෂ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක මැදිහත් වීම ය.
ලංකාවේ ජන සමාජයේ සිතීම් රටාව සැකසීමට බරපතළව ම මැදිහත්වන පවුල, පාසල සහ ආගමික සංස්ථාව ඇත්තේ කියවීම සහ හැදෑරීම මිනිස් විෂයයක් ලෙස භාර ගැනීම අධෛර්‍ය කරන පසුබිමක නම් ලාංකීය ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ පැවැත්මට අත්‍යාවශ්‍ය පාඨක වෙළඳපළ එසේනම් නිර්මාණය විය යුත්තේ ස්වයං පෙළඹවීම (ඇම්ම) සහ සුවිශේෂ පුද්ගල දායකත්වයන් තුළින් පමණි.
එබැවින් ඉදිරියේදී ග්‍රන්ථ ප්‍රකාශනයේ තීරු (Layers) ගණනාවක් දුර්වල වීමට නියමිත බව මගේ නිරීක්ෂණය යි. එයින් ඉදිරියෙන්ම සිටින්නේ ශාස්ත්‍රීය ප්‍රකාශන ය.
(සටහන | ජනක ඉනිමංකඩ)
උපුටා ගැනීම Janaka Inimankada face book පිටුවෙනි






