මිනිසා සුවිශේෂත්වයට පත්වන්නේ එම පුද්ගලයා දක්වන සමාජ සම්බන්ධතා පදනම් කොට ගෙන ය. එමෙන් ම, කිසියම් පුද්ගලයකු කිසියම් ශිල්පයක් සමග පවත්වන සම්බන්ධතාවන්හී ප්‍රමාණය මත ගොඩනැගෙන සුවිශේෂ දක්ෂතා විශේෂතාවලට ශිල්පියකුගේ ශිල්පීයත්වය යැයි ප්‍රකාශ කෙරේ.
ගාමිණී හත්තොටුවේගමකිසියම් කලාකරුවෙකුගේ ඉතිහාසය මෙන් ම ඔහු සමග ගොඩනැගුණු කලා ක්ෂේත්‍රයේ ඉතිහාසය, ඔහු සමග බැඳුණු වපසරියෙන් ගලවා ලිය නොහැකි ය. ඒ හේතු කොට ගෙන, කිසියම් විශේෂිත කලාකරුවකු පිළිබඳව සාකච්ඡා කිරීම ද, එම කලාකරුවා සම්බන්ධ කලා ක්ෂේත්‍රයේ ඉතිහාසයේ එක් කලාපයක් පිළිබඳව සාකච්ඡා කිරීමක් ද වන්නේ ය.
ඒ පුද්ගලයා අන් කවරෙක් හෝ නොව ආචාර්ය ගාමිණී හත්තොටුවේගමය.
අර්බුදයක දෝංකාරය

විසිවන සියවසේ දී ලෝක නාට්‍ය කලාව මුහුණ පෑ ප්‍රධාන ගැටලු කීපයකි. එවා ශ්‍රී ලාංකික නාට්‍යකරුවාට ද ආගන්තුක නො වී ය. මෙරට පරිසරය තුළ දී දේශීය නාට්‍යකරුවා එම ගැටලු නිරීක්ෂණය කරන ලද ආකාරයත්, ඒවාට විසඳුම් සෙවීමට ඔවුන් විසින් දරණ ලද්දා වූ ප්‍රයත්න ද විමර්ශනය ලක් වේ. ඒවා සමස්ත නාට්‍ය ලෝකයට ම පොදු වූ ගැටලු බව ද වැටහේ. එ අතර, 20වන සියවස වන විට ප්‍රචලිතව පැවති යථාර්ථවාදය සහ ස්වාභාවිකවාදය යන නාමකරණවලින් හඳුන්වන ලද නාට්‍ය සම්ප්‍රදා විසින් යොදා ගන්නා ලද ලෝකධර්මී රංග ශෛල්‍යානුගත රංග ක්‍රමයේ ශක්‍යතා පිළිබඳව සැක සංකා පහළ වීම ආරම්භ වීමත්, ඒ සඳහා විකල්ප සෙවීමේ අවශ්‍යතා පැන නැගීමත් යන ගැටලුව ප්‍රධාන වේ.
කල්යාමේදී බටහිර රටවල භාවිත කළ, යථාර්ථවාදය සහ ස්වාභාවිකවාදය නාට්‍යකරණය සඳහා යොදා ගනිමින් සිටි පෙරදිග රටවල නාට්‍ය සංස්කෘති තුළ ද මෙම අර්බුදයේ දෝංකාරය දැනෙන්නට විය.
කොන්ස්ටාන්ටීන් ස්ටැනිස්ලව්ස්කි නම් වූ රුසියන් ජාතික නාට්‍යකරුවා
1865 - 1938 අතර කාලය තුළ ජීවත් වූ, කොන්ස්ටාන්ටීන් ස්ටැනිස්ලව්ස්කි නම් වූ රුසියන් ජාතික නාට්‍යකරුවා ජාත්‍යන්තර කීර්තියට පත් වූයේ යථාර්ථවාදී නාට්‍ය සම්ප්‍රදාය තුළ ලෝකධර්මී රංගන ක්‍රමයක් පිළිබඳ ප්‍රායෝගික අත්හදා බැලීම් කිරීම සහ රඟපෑම් සහ නළුවන් පුහුණු කිරීම පිළිබඳ සුවිශේෂ ක්‍රමවේදයක් බිහිකිරීම නිසා ය. ඔහු විසින් ලෝකධර්මී රංග ක්‍රමයක සීමා විසිවන සියවසේ මුල් දශකයේ දී ම නිරීක්ෂණය කරන ලදි . ඒ බව පහත සඳහන් ස්ටැනිස්ලව්ස්කි ගේ ප්‍රකාශනයෙන් ප්‍රත්‍යක්ෂ වේ.
ස්ටැනිස්ලව්ස්කි මෙසේ ප්‍රකාශ කරයි.
"අපගේ නාට්‍ය කලාව තවත් ඉදිරියට යා නොහැකි මාර්ගාන්තයකට පැමිණ ඇතැයි මට දැඩි ලෙස දැනෙන්නට වි ය. අලුත් මාවත් නො තිබිණි. පැරණි මාවත් ශීඝ්‍රයෙන් විනාශ වී යමින් තිබිණි."
My life in Art: ස්ටැනිස්ලව්ස්කි
දේශීය රංග කලාවේ විකල්ප ධාරා නිර්මාතෘ
දේශීය රංග කලාව තුළට විකල්ප ධාරාවේ ප්‍රධානතම රංගාකෘතිය බිහිවන්නේ මෙවන් සමයක ය. එහි නිර්මාතෘවරයා " ආචාර්ය ගාමිණී හත්තොටුවගම සූරීන් ය.

1938 නොවැම්බර් මස 29වන දා ගාල්ලේ දී උපන් "හත්තොටුවගමගේ ගාමීණී කල්‍යාණදර්ශ ද සිල්වා භාවිත කළේ "ගාමිණී හත්තොටුවගම " යන නමයි. කලා ක්ෂේත්‍රයේ මිතුරන් ආදරයට ඔහු අමතනු ලැබූයේ GK යන නාමයෙනි.
ඔහු, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශිල්ප හදාරා, පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත්තේ ය. 1950 දශකය පුරාවට ම ඔහු පේරාදෙණි විශ්ව විද්‍යාාලයේ නිෂ්පාදනය කළ ඉංශ්‍රීසි නාට්‍යවලට රංගනයෙන් දායක වූ අතර, 1959 දී චෙකෝව්ෆ්ගේ "The Proposal" නාට්‍ය සිංහලට පරිවර්තනට කර නිෂ්පාදනය කරමින් එහි රංගනයට ද, සහභාගි විය.
ඔහු, ක්ලොඩෙට් ජයවර්ධන සහ ලක්ෂ්මි ඩි. සිල්වා නිෂ්පාදනය කළ, " ඇගමෙම්නොන් " නාට්‍යයේ ඇගමෙම්නොන් ලෙස අද්විතීය රංගනයක් ඉදිරිපත් කළ අතර එය ද ප්‍රේක්ෂක, විචාරක ප්‍රසාදයට පත් විය.
කවුරුත් ආදරයට ඔහු අමතනු ලැබූයේ "හතා යනුවෙනි.
පැසසුමට ලක් වූ ''රංග කැබලි''
හත්තොටුවගම, 1961 දී කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර, එහි දී ඔහු රංගකලාව ගැන විවිධ පර්යේෂණ කටයුතුවල නිරත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු නාට්‍ය වැඩමුළුවක් පවත්වාගෙන ගියේ ය. 1973 දී ඔහු එහි ශිෂ්‍යයින් සමග එක්ව "රංග කැබලි සහ සංගීත සොච්චමක්" නමින් හඳුන්වනු ලැබූ පර්යේෂණාත්මක රංගනයක් ඉදිරිපත් කළ අතර එය ද බොහෝ පැසසුමට ලක් විය.
මෙරට වීදි නාට්‍ය කලාවේ ආරම්භය

ඒ වන විට "ධම්ම ජාගොඩ" ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාව කේන්ද්‍ර කොට ගෙන " රංග ශිල්ප ශාලිකා" නමින් නාට්‍ය වැඩ මුළුවක් පවත්වා ගෙන යයි. ධම්ම ජාගොඩගේ ඇරයුමෙන් හත්තොටුවගම එහි ගුරුවරයකු ලෙස සේවයට අවතීර්ණ වෙයි. මෙම වැඩමුළුවෙ ශිෂ්‍යයින් වූ: පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා, හේමසිරී අබේවර්ධන, නිමල් චන්ද්‍රසිරී, වික්‍රම සෙනවිරත්න, ගාමිණී හෙට්ටිආරච්චි, රූපසිංහ කංකානම්ගේ, පියරත්න අධිකාරි, හීනටිගල ප්‍රෙමදාස, ජයන්ත ගුණතිලක, එම්.එස්.පෙරේරා, නිහාල් රණසිංහ, ලින්ටන් සේමගේ, කුමාරි මොරවක, සැනට් දික්කුඹුර, ශීලා පතිරණ, ලලිතා ගුරුගේ, චිත්‍රා කුමාරි සහ ෂෙල්ටන් කැකුණාවල යන පිරිස සමග අනුරාධපුරයේ පොසොන් පොහොය දා එනම් 1974 ජුනි මස 06 වැනිදා: ''බෝසත් දැක්ම'', ''රජදැක්ම'' සහ ''මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද.?'' යන නාට්‍ය ත්‍රිත්වය රඟදක්වා මෙරට වීදි නාට්‍ය කලාව ආරම්භ කළ බව සත්‍යයකි; එය මෙරට " වීදි නාට්‍ය " නමින් කළ පළමු කල එළි බැසීම යි.
වීදිනාට්‍ය කලාවේ පියා බවට පත්වීමේ නිමිත්ත

"වීදි රැජින" ලෙස විරුදාවලිය ලද "දීපානි සිල්වා" පළමු දර්ශනයට සහභාගි නොවූ අතර, ඇය වීදි නාට්‍ය කණ්ඩායමට එක් වූයේ පසුදා රංගගත වූ දෙවැනි දර්ශනය සඳහා ය. හත්තොටුවගම රංග ශිල්ප ශාලිකාවේ ළමුන් සමග මෙම චාරිකාවට සහභාගි වූයේ, ඔවුන් භාරව එම චාරිකාවට ගුරුවරයකු ලෙස සහභාගි වන්නට කෙනකු නොමැති වූ බැවිනි. ඔහු සමග මෙම ගමනට හේග් කරුණාරත්න ද එක් විය. නමුත් දෛවෝපගතව එතුමා මෙරට වීදිනාට්‍ය කලාවේ පියා බවට පත්වීමට, එහි නිර්මාතෘ බවට පත් වීමට එම ගමන හේතු කාරක විය.
කොණ්ඩය බැඳි ශේක්ෂ්පියර්

හත්තොටුවගම, රිච්මන්ඩ් විද්‍යාලයේ උගන්වන අවධියේ දී ම විලියම් ශේක්ෂ්පියර් පිළිබඳව විවිධ පර්යේෂණාත්මක අධ්‍යයනයන්හී නිරත වූ අතර එවක නිර්මාණය කළ ශේක්ෂ්පියර් පිළිබඳ රංගනයක දී විලියම් ශේක්ෂ්පියර් සරමක් සහ කෝට් කබායක් හැඳ කුඩා කොණ්ඩයක් බැඳ, කුඩයක් ද අතැතිව පොතේගුරෙක් ලෙස පැමිණි ආකාරය එම දර්ශනය නැරඹූ මේ වන විට වැඩිහිටියන් වූ ගුරුවරු සහ අසල්වාසීන් ප්‍රකාශ කරනු මා අසා ඇත.
සාමූහික අභිරූපණ රංග කලාවේ ඇරඹුම
ධම්ම ජාගොඩ 1972 දී ධම්ම ජාගොඩ නිර්මාණය කළ: "මළවුන් නැගිටියි" සහ 1973 දී නිර්මාණය කළ "මොස්කව් ගිනි ගනී" යන පර්යේෂණාත්මක නාට්‍ය ද්වය ද, ගාමිණී හත්තොටුවගම 1974 දී නිර්මාණය කළ "අකීකරු පුත්‍රයා" සහ "ජේසු ජෙරුසෙලමට පැමිණේ" යන නාට්‍ය දෙක ද, ඊට කදිම නිදසුන් ය.
"ඔටුන්නක බර" තහනම්...
බර්ටොල්ට් බ්රෙෂ්ට්බ්රෙෂ්ට්ගේ "ආණ්ඩු කිරීමේ වැදගත්කම" නම් වූ පද්‍ය පංතිය පාදක කොට ගෙන හෙතෙම "ඔටුන්නක බර" නමින් මහත් ආන්දෝලනයකට තුඩු දුන් නාටකයක් නිර්මාණය කරයි. පසුව මෙම නාටකය වාරණයට ලක් වේ. එයට හේතුව මෙම නාටකය මගින් එකල සිටි පාලකයින් විවේචනයට ලක්වීම යි.
"නිසි රිසි" සහ ''මාර කුමාර''
කුමාර හෙට්ටිආරච්චි හත්තොටුවගම Ceylon Daily News පුවත්පතට නාට්‍ය කලාව සහ සිනමාව පිළිබඳ විචාර ලිපි සම්පාදනය කළේ ය; ඒ නිසාම ඔහු 1967 දී චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයේ සභාපති ලෙස නිතරඟයෙන් පත්වී ය. තව ද, හෙතෙම "නිසි රිසි" නමින් සඟරාවක් සංස්කරණය කළේ ය. එහි කලාප 10කට ආසන්න ප්‍රමාණයක් පළ වූ අතර ඔහු එහි, කුමාර හෙට්ටිආරච්චි කවියා ගේ "ධර්මද්වීපය " නැමැති පද්‍ය පංතිය විචාරය කරමින් ලියූ "මාර කුමාර" යන ලිපිය මහත් ආන්දෝලනයකට පාත්‍ර වි ය.
"මනමේ නාට්‍ය සහ මධ්‍යම පාන්තික සංස්කෘතිය " යන ලිපිය තුළින් ඔහු මනමේ නාටකය මගින් සුළු ධනේශ්වර දෘෂ්ටිවාදයන් ඔසවා තබන බව ඉතා අපූරුවට සනාථ කරයි.
හත්තොටුවගම මහනුවර දී කළ දේශනයක් ඇසුරෙන් සකස් කරන ලද "නාට්‍ය රචනයේ සහ නිෂ්පාදනයේ ගැටලු" යන ලිපිය ද, නිසි රිසි හි පළ වේ. එමගින් නාට්‍ය නිර්මාණකරණය සමග බැඳුණු වැදගත් ගැටලු රැසක් විග්‍රහ කරයි.
1961 දී සිංහබාහු නාටකය පිළිබඳ "Critque and Comparison Maname and Sinhabahu" යනුවෙන් ලියූ ලිපිය Ceylon Daily News හී පළ වේ. එය මනමේ සහ සිංහබාහු නාට්‍ය පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයක් සහ විචාරයක් යනුවෙන් මේ ලියුම්කරු සිංහලට පරිවර්තනය කර ඇත. එය නිසි රිසි හී පළ වේ.
1967 දී " Sinhala Theatre Between Two Plagues" (වසංගත දෙකක් අතර සිර වූ සිංහල නාට්‍ය කලාව) නමින් ලිපියක් සම්පාදනය කරයි. මෙම ලිපියෙන් හෙතෙම නාට්‍යධර්මී රංග ශෛල්‍යානුගත නාටකවල සහ ලෝකධර්මී රංග ශෛල්‍යානුගත (සංවාද ) නාටකවල දුබලතා විග්‍රහ කරයි. එය ද සිංහලට පරිවර්තනය වී අත්පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් වි ය.
හෙතෙම "Poetry Peradeniya" නැමැති සඟරාවකට ද කාව්‍ය රචනා කළේ ය. 1977 දී Ceylon Daily News පුවත්පතට "Sinhala Theatre Some Home Truth" (සිංහල නාට්‍ය කලාව පිළිබඳ කණගාටුදායක සත්‍ය තොරතුරු මිටක්) යනුවෙන් රචනා කළ ලිපියෙන් ද මනමේ සහ සිංහබාහු පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

අභිනය සමරු කලාපයට " Unresolved Contradiction Pradoxical Discourses and Alternative Stratergies in the Post - Colonial Sinhala Theatre " නමින් දීර්ඝ ලිපියක් සපය යි.එහි අර්ථය "පශ්චාත් ( යටත්) විජිත රංග කලාව තුළ නො විසඳුණු ප්‍රතිවිරෝධතා සහ විරෝධාභාසාත්මක කතිකා" නම් වේ. එම ලිපියේ හෙතෙම 1956 මනමේ සිට 1998 දක්වා නාට්‍ය කලාව පිළිබඳ සාකච්චා කරයි.
නාට්‍ය විචාරයෙන් සිනමා විචාරයට
1997 - සිනමා ස්වර්ණ ජයන්ති සමරු කලාපයට හෙතෙම ''පනස් වසරක සිංහල සිනමාව'' යනුවෙන්, 1940 - 1990 දක්වා සිංහල සිනමාවේ සංදිස්ථානයන් පිළිබඳ අපූරු විග්‍රහයක් ඉදිරිපත් කරයි. හත්තොටුවගම " Seagull Theatre Quarterly " සඟරාවට " බිරෙන්දාස් ෂර්මා සමග කළ සම්මුඛ සාකච්ඡාව තුළින් එහි අන්තර්ගත කරුණු අලළා "You can't have brilliant theatre and bad politics" යන ශීර්ෂය යටතේ ලිපියක් සැකසේ.
එනම් "විශිෂ්ට රංග කලාවක් සමග නරක දේශපාලනයක් එකට තිබිය නො හැකි ය" යන කරුණට අදාළව ඔහුගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම නිර්මාණය වීමට හේතු භූත වූ සමාජ - දේශපාලන කරුණු පිළිබඳ කතා කරයි.
විවෘත වීදිනාට්‍ය කණ්ඩායමට ඔහු නිර්මාණය කළ නාට්‍ය
1. බෝසත් දැක්ම,
2. රජදැක්ම,
3. මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද?,
4. රූකඩයෝ,
5. අපිත් හඳුනාගත්තු රටක් ඔබත් හඳුනාගන්න,
6. ඔංචිල්ලාව,
7. උන්ට ආහාර අපට පෙති - (ලෝක ආහාර සම්මේලනය),
8. කුණු බක්කි ජාවාරම,
9. පිං පෙට්ටිය,
10. ආක්‍රමණය,
11. විවෘත වෙළඳ පොළ,
13. වෙසක් දැක්ම,
14. ජේසු දැක්ම,
15. විශ්වවිද්‍යාල දැක්ම,
16. ලෝකෙම බර,
17. ග්‍රැමා නැව නැවත පැමිණෙයි,
18. උතුමාණන් නැවත පැමිණෙයි,
19. අපාය,
20. රන් කුකුලෝ,
21. පරවියෙක් දැක්ක කල්,
22. පර්ෂියන් කුරුල්ලා අපිට එපා,
23. නුරුස්සන හඬ,
24. බීජ දැක්ම,
25. රටේ දැක්ම,
26. වෙන්දේසිය,
27. එළඳ,
28. මෝරනවා,
29. වනමේ,
30. ඔබ දුටුවා,
31. නීතියේ කන්‍යාව,
32. පිනට ගල් ගැසීම,
33. කමීසය,
34. මළට මල,
35. බැටලුවන් නිහඬ වීම,
36. පිබිදීම,
37. ලිස්සන ගහ,
38 . අම්මට - උන්දැට,
39. මැරවර - මෙහෙවර,
40. ඔෆීස් වයරින්,
41. සයනයිඩ්,
42. ක්‍රයි ෆ්‍රීඩම්,
43. වතුර බෙදා ගැනීම,
44. සන්ධි - විසන්ධි,
45. ඩෙඩ් මොබයිල්,
46. සුනාමි,
47. අයිතිවාසිකම් සහ
48. අපරාදේ,
මේ අතුරෙන් බොහෝ නාටක වැඩමුළු තුළ නිෂ්පාදනය වූ නාටක වන අතර බොහෝ නාටක වරක් හෝ දෙවරක් පමණක් ප්‍රදර්ශනය කළ නාටක ද වේ. විවෘත වීදිනාට්‍ය කණ්ඩායම නිතර රඟදැක් වූ නාටක අතර: රූකඩයෝ, රජදැක්ම, වෙසක් දැක්ම, පෝලිම, වෙන්දේසිය, උතුමාණන් නැවත පැමිනේ, නුරුස්සන හඬක්, මැරවර මෙහෙවර, ඔබ දුටුවා, ඩෙඩ් මොබයිල්, සයනයිඩ් යන නාටක වේ.
පරාක්‍රම නිරිඇල්ලපරාක්රම නිරිඇල්ල, එච්.ඒ.පෙරේරා, නිමල් චන්ද්‍රසිරී, දීපානි සිල්වා, ප්‍රසන්නජිත් අබේසූරිය, මුදූ රංජිත් ද සිල්වා, මංජුල පතිරාජ, නිහාල් සුරංජිත්, හේමරත්න මුණසිංහ, ප්‍රභා සඳසීලි, මල්ලිකා චානිදනී, චන්දන ලියනගේ, රෝහණදේව පෙරේරා, රෙඩ්ලි සිල්වා, ලින්ටන් සේමගේ, කුමාර තිරිමාදුර, රින්ස්ලි වීරරත්න, ගාමිණී හෙට්ටිආරච්චි, වික්‍රම සෙනෙවිරත්න, සැනට් දික්කුඹුර, ප්‍රදීප් ජයතිලක, හංසමාලා ජානකී
අවසන් ප්‍රසිද්ධ දේශනය
හත්තොටුවගම විසින් ඇන්ටන් චෙකෝව්ෆ්ගේ Misery කෙටි කතාව ඇසුරෙන් රචනා කර නිෂ්පාදනය කළ "නුරුස්සන හඬ" නාට්‍ය මෙරට වැඩිම වාර ගණනක් රඟදැක්වූ චෙකෝව්ෆ් නාටකයයි. බෙුෂ්ට්ගේ "Mister K" නමැති උපමා කතාවෙන් නිර්මාණය කළ " මැරවර මෙහෙවර " ද ඉතාමත්ම විශිෂ්ට කෘතියකි.

(සටහන | මුදු රංජිත් ද සිල්වා)
ප්‍රවීණ නාට්‍යවේදී
උපුටා ගැනීම Mudhu Ranjith De Silva facebook පිටුවෙන්

"අපගේ නාට්‍ය කලාව තවත් ඉදිරියට යා නොහැකි මාර්ගාන්තයකට පැමිණ ඇතැයි මට දැඩි ලෙස දැනෙන්නට වි ය. අලුත් මාවත් නො තිබිණි. පැරණි මාවත් ශීඝ්‍රයෙන් විනාශ වී යමින් තිබිණි."




