leader s

අජිත් කුමාරසිරි සංගීතවේදියාගේ ගායන තාක්ෂණයේ ස්වරමානය, ඔහුගේ සවිඥානික භාවිතයක් ලෙස කියවා ගතහොත් ස්ථීරව ම එය, තාරතාව නොතකන සංස්කෘතික සමාජය පිළිබඳ සවිඥානික දේශපාලන මැදිහත්වීමකි.

පොදුවේ ගත් කල අජිත් කුමාරසිරිගේ සමස්ත ගීතාවලිය ම දරුණු දේශපාලන ප්‍රකාශනයන් ය.

ඔහුගේ ගීත අතරින් මගේ හැමදාම "නම්බර් වන්" ගීතය පෙනුණේ පාර්ලිමේන්තුවේ වහලයෙනි.

"පාර්ලිමේන්තුව ඇතුළට හඳ පායනවා
හඳ එළියට පිස්සු හැදිලා
බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලෝ හඳට යන්න හදනවා"



අජිත් කුමාරසිරි හා ඔහුගේ සංගීත සනුහරය ඉකුත් දකුණේ මහජන නැගිටීමේ දී ඊට අතිශය සක්‍රීය දායකත්වයක් දැක්වූ සංස්කෘතික දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකි.

m46ඡායා : Shehan Gunasekara
අජිත් කුමාරසිරි මීට දශකයකට පමණ ඉහත - මගේ මතකයට අනුව - නිර්මාණය කළ "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" ලෙසින් ඇරඹෙන ගීතය ගෙවුණු සතියක හමාරක කාලයක් පුරා ම හිතේ හොල්මන් කරමින් තිබේ. මේ ලියවිල්ලට පදනම වැටුණේ මෙකී හොල්මන් කිරිල්ල යි. එහි වචන මෙයාකාර ය.

"ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ

කොඩිය අරන් මම බැහැල ගියා
ඇය ඔටුනු පැලඳ නගරයට ගියා
සිංහල අවුරුදු දවසේ

පබාවතිය මගෙ යන්න ගියා
කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ

කොළඹ කට්ටියක් අරන් ගියා
ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා
සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා
වැඩි ම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ
.....
ඔබෙ දෙතොල් විකුණන්න
ඔය දෙතන් විකුණන්න
ඔය තැල්ල විකුණන්න
මෘදු ඇඟිලි විකුණන්න
ඇහි දෙබැම විකුණන්න
හසරැල්ල විකුණන්න
ඔබෙ බල්ලා විකුණන්න
ඔබෙ පූසා විකුණන්න
ඔය දෑස විකුණන්න
ඔබ ඔබ ම විකිණෙන්න
.....

මුළු රට ම සනසන්න
මුළු රට ම නළවන්න
මුළු ගත ම විකුණන්න
මුළු හිත ම මට දෙන්න"


මෙම රමණීය සංගීතමය හොල්මන්කාරකම මත සිටින මට ඇතැම් සංසිද්ධීන් පසුබිමින් හේතුවක් ඇතුව ද, හේතුවක් නැතුව ද අජිත් කුමාරසිරිගේ කටහඬ ඇසෙයි.

දේශපාලන සුරංගනා කතා රචක නිර්මාල් රංජිත් දේවසිරි "දේශපාලන ජයග්‍රහණයක් : ආචාර ධාර්මික පරාජයක්" ලෙස පවසන අලුත් ම කතන්දරයේ කොළඹ පුරපතිනි මෙහෙයුමේ අවිධිමත් රූපාවලි පසුබිමින් පවා මෙසේ අජිත් කුමාරසිරිගේ 'සිංහල අවුරුදු' ගීතය ඇසෙන්නට වූ නමුත්, ඊට හේතුව සහසුද්දයෙන් ම එම සංසිද්ධියට අදාළ දෙයක් නොවේ.

කලකට පසු  "ග්‍රීස් ගහ" යළිත් මෙනෙහි වන්නට හේතු භූත වූයේ ගැමුණු වන්නිනායකගේ 'මතක පද" හා එක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා "ග්‍රීස් ගහ" තමන්ගේ මතක පදයක් ලෙස තෝරා ගෙන තිබීම යි. පුබුදු සමග සිදු කළ එම "මතක පද" මගහැර නො යා යුතු වැඩසටහනකි.

පුබුදුගේ කලා සාහිත්‍යය විචාර මැදිහත් වීම බොහෝ විට පාර්ශවීය නොවන තැනක පවත්වා ගන්නට ඔහු වග බලා ගනි යි. දේශපාලන මිතුරුකම් පසමිතුරුකම් ඔහුගේ විචාර මැදිහත්වීම්වලට අදාළ නැත. ඔහු කලාව සාහිත්‍යය ගැන පමණක් නොව ජීවිතය, ආදරය ලිංගිකත්වය වැනි  දාර්ශනික කලාපයන්ට පවා එළඹෙන්නේ විවෘත ආමන්ත්‍රණයකිනි; ගැඹුරකිනි. එවන්  පුබුදු "ග්‍රීස් ගහ" ගැන කතා කරන්නේ හුදු ආදරය පිළිබඳ එළඹුමකිනි. යමක් සඟවා ගෙන අන් යමකින් පහ‍ර දීමක් වැනි ය. සැබැවින් ම නම් "ග්‍රීස් ගහ" දේශපාලන විරහ ගීතයකි. ඉදින් එබැවින් ජවිපෙ-පෙරටු වෙන්වීම දේශපාලනිකව ම කියවා ගැනීම වැදගත් ය.

Fk5WW3fXgAAhVA5

 

"අපි මොකක් නිසා ද අපි දේශපාලනයට ආවේ? දැන් අපි කරමින් ඉන්නේ ඒක ද?" යන පරස්පරය, පුබුදු  පවසන අන්දමට, විශේෂයෙන් ම මතුව ඇත්තේ, 2010 සරත් ෆොන්සේකා ජනාධිපති කිරීමට ජවිපෙ  ඇතැම් නායකයන් ගත් තීන්දු අනුවය. ජවිපෙ - පෙරටු ඛණ්ඩනය නිශ්චිතව ම සිදුවන්නේ ඉන් පසුව වුවත් මෙකී පරස්පරයන්ගේ මූලයන් මහින්ද රාජපක්ෂට සහාය දීමට ගත් තීන්දුව තුළ පවා තිබූ බව ඔහු පවස යි.

ජවිපෙන් වෙන් වී ගත කළ කාලය පුරා ම මිනිසුන් ඇසූ ප්‍රශ්නයක් ලෙස පුබුදු ජයගොඩ සහෝදරයා හුවා දක්වන "ඕගොල්ලොයි ජවිපෙ අතර තියෙන වෙනස මොකක්ද?" යන ප්‍රශ්නය ජවිපෙ ආණ්ඩු බලය අත්පත් කර ගත් පසුව කිසිවෙකුත් නො අසන බව ඔහු තව දුරටත් පවස යි. ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ "විජයග්‍රාහී" දා කතාවේදී "රණ විරුවන්" හළා දැමීමේ "වැදගත්" භාෂාත්මක තීන්දුවෙන් පසු පැවති දේශපාලනය රූපවාහිනි සංවාදවල දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් ඒ පිළිබඳ නිශ්චිත ස්ථාවරයක් ගැනීමට නොහැකිව ඇඹරුණ අන්දම විසින් පුබුදු හුවා දක්වන පෙර කී "නො අසන ප්‍රශ්නය" නිශ්චිත ප්‍රශ්නයක් කොට ඔවුන් ඉදිරියේ තැබිය හැකි ය.

JVP

 

තවමත් රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය අරභයා ඉතිහාසයේ ගත් තීරණ නිසා කෙතරම් වෙන්ව සිටිය ද, ඒකාබද්ධව රැක්ක යුතු දේශපාලන රහස් තිබෙනා බවකි. අජිත් කුමාරසිරිගේ "ග්‍රීස් ගහ" හුදු ග්‍රාමීය ප්‍රේම පලහිලව්වක් නොවන දේශපාලන අර්ථයක් ගැබ් ගත් බරපතළ ගීතයක් වන්නේ ඒ රහස් රකින දේශපාලන ප්‍රේමයක අර්ථයෙනි.

මෙකී මතක පදයට එළඹෙන්නට පෙර මතක පද නිමැවුම්කාර ගැමුණු විසින් ජාතික ප්‍රශ්නය අරභයා ඇසෙන වැදගත් දේශපාලන ප්‍රශ්නයකි.  

ඊට පිළිතුරු වශයෙන් පුබුදු පවසන අන්දමට උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඔවුන් "ටිකක් අසීරු පියවරක්" ගෙන ඇත. ස්වයංපාලන ඒකක පිහිටුවාලීමත්, පාර්ලිමේන්තුවේ ද්වි මණ්ඩල ක්‍රමයක් ඇති කිරීමත් මෙම අතිශය අසීරු පියවර නොහොත් යෝජනා අතර මූලික වෙයි.

 "අපි ඒ ප්‍රශ්නය සීරියස් අරන් තියෙනවා. සංයුක්ත ප්‍රශ්නත් සීරියස් අරන් තියෙනවා." ඔහු සීරියස් ලෙස පවසයි.

 

lalith kumar
ඔහු කියන අන්දමට ඔවුන් ජීවිත තර්ජන නොතකා උතුරේ අතුරුදහන් වූවන්, ඝාතනය වුවන්, දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වැඩ කර තිබේ. ඒ වැඩ කිරීමට අදාළ උදාහරණයක් ලෙස ගන්නේ අවිස්සාවේල්ලේ දෙමළ වතු කම්කරු පවුලක තරුණයෙකු වන ලලිත් කුමාර් වීරරාජු සහෝදරයා ය. පක්ෂයේ පූර්ණ කාලීන කේඩරයේ සාමාජිකයකු වූ ලලිත් සහෝදරයා, ජවිපෙ "බර අවි" මැදිහත්වීමෙන් තිරස්චීන ලෙස සංහාරය කෙරුණු උතුර බලා දකුණේ සිට යාත්‍රා කෙරුණු පළමු නෞකාවේ ම උතුරට ගිය අන්දම පහදයි.

පුබුදු පවසන්නේ මෙසේ මතක පද අතර අවුලන්නේ පදාස ගණන් අතර දමන කතන්දරයකි.  ඒවා "මතක පද" අතර දිගහැරෙන සුන්දර  කතා තුළින් මගහැර යන්නට පිළිවන. ඒත් අවිඥානයේ මුද්‍රාව බවට පත්වන ආත්මීයත්වය කෙරෙන් ඒවා සඟවාලන්නට නො හැකි ය.  

 

අජිත් කුමාරසිරිගේ "ග්‍රීස් ගහ" යනු පුබුදු ජයගොඩගේ ආත්මීයත්වයේ ප්‍රකාශනයක් නො වන්නේ ද? මෙකී ගීතය අවුරුදු උත්සවයක ග්‍රීස් ගහේ කොඩිය ඩැහැගත්, තෑග්ග ලෙස "සවරින් සබන් බාර්" එකක් සහ "අසෝකා" වීදුරු හයක් ඇසිරූ පෙට්ටියක් ලද ගමේ පීඩිත පෙම්වතා, තෑගි බෝග ගොඩක් ලැබී, කොළඹට යන්නට පාර පවා විවර වූ ස්වකීය පෙම්වතී අරභයා ගයන හද පාරවනසුලු ප්‍රේම ගීතයක් නො වේ.  

මෙහි ඇත්තේ රහස් සඟවා ගත් ප්‍රේමය විසින් ආත්මීයත්වය ලෙස ඝනීකෘත කරන ලද ඔහුගේ දේශපාලන අවිඥානය යි. සමාජ යථාර්ථය වන්නේ විකිණෙන එක නම්, එසේ විකුණුනත්, ආදරය තමා වෙනුවෙන් ඉතුරු කර තබන ලෙස පෙම්වතා කරන ඉල්ලීම දේශපාලනය පටන් ගන්නා තැන ලෙස පුබුදු සංකල්පගත කරයි.

නමුත් මෙම ගීතය මෙකී ග්‍රාමීය ප්‍රේමය තුළ නොව පෙරටුගාමින්ගේ දේශපාලන භාවිතය තුළ තේරුම් ගන්නා ලෙස මම ඔබට යෝජනා කරමි.  

ජවිපෙ-පෙරටු ප්‍රේමය එක්ව රකින අතීතයක් ඇත. එය ඉතිහාසයක් නොවේ. අතීතයකි. එය පුද්ගලික අතීතයක් නොවී දේශපාලන ඉතිහාසයක් වන්නට නම්, එකී රහස්‍ය භාවිතයන් ගැන ස්වයං විවේචනාත්මකව මැදිහත් වන්නට තරම් දේශපාලන පෞරුෂයක් තිබ්බ යුතු ය. එය ග්‍රීස් ගහේ නැග කොඩිය අතට ගෙන, සාවරින් බාර් සබන් ගා නානවාට  වඩා බරපතළ දේශපාලන ස්ථාවරයෙකි.

 

සමස්ත සමාජයට මේ පුනරුදයේ අවුරුදු කුමාරී ප්‍රවාහය තේරුම් ගත හැකි වන්නේ එවිට ය. මාලිමාවේ දේශපාලන විභවය කොතනින් පැන නැගෙන්නේ දැයි විග්‍රහ කර ගැනීමට නම් අතීත පුද්ගලික මනෝමූල ප්‍රේම සම්බන්ධතා අතැර, එක්ව කරගැසූ පාප විග්‍රහ කර ගත හැකි තරමේ දේශපාලනික මැදිහත්වීමක් බවට එය පත් කර ගත යුතු ය. නැවේ ඇරිය ලලිත් සහෝදරයා මෙන් ම, උතුරු දකුණු පාලම් වෙනුවෙන් ඔහු කොක්ක ගැසූ හිටපු කොටි සටන්කාර කූගන් සහෝදරයා සඟවාලූ තැන හොයා ගන්නට හැකි වන්නේ එසේ කළහොත් පමණි.


WhatsApp Image 2025 06 20 at 1.55.36 PM(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer

http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-man
http://monsoonmn.wordpress.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්